මහාමොග්ගල්ලානස්සසීහනාදකථා
‘අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානා’ යනාදි තන්හි ‘ආයස්මා’ යන මෙය ප්‍රියවචනයි. මෙය ගරු ගුණ ඇත්තවුන් කෙරෙහි ජ්‍යෙෂ්ඨභාව කියාලන නාමයකි. ‘මහාමොග්ගල්ලානො’ ගුණමහත්‍වයෙන් මහත්වූයේද හේමය. ගොත්‍ර වශයෙන් මොග්ගල්ලාන’ නම්. ‘එතදවොච’ මෙය සැලකෙළේය. දැන් කියයුතු ‘එතරහි භන්තෙ’ යනාදි වචන දක්වාලන්නේය. කුමක්හෙයින් සැලකළේදයත්: මහා මෞද්ගල්‍යා යන මහාස්ථවිරයන් වහන්සේ වනාහි පැවිදිවීමෙන් සත්වනදා ශ්‍රාවක පාරමී ඥානයෙහි මුදුනට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ විසිනුදු මහත් සෘද්ධි ඇති බැවින් එතදග්‍රයෙහි තබන ලදහ. උන්වහන්සේ තමන්ගේ ඒ මහත් සෘද්ධිය ඇසුරුකොට ‘මේ වෙරඤ්ජාව දුකසේ ලැබියයුතු භික්‍ෂා ඇත්තේය, භික්‍ෂූහුද ක්ලාන්ත වෙති, මම පොළොව පෙරළා භික්‍ෂූන්ට පෘථිවි මණ්ඩය (බිම්මල්, හතු) වළඳවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි සිතූහ. නැවතත් උන්වහන්සේට ‘ඉදින් මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වසන්නෙම් භාග්‍යවතුන් වහන්සේට යාච්ඤා නොකොට අවසර නොලබා මෙසේ කරන්නෙම්නම්, මෙය මට සුදුසු නොවන්නේය, භාග්‍යවතුන් වහන්සේ සමග කරන ලද එකට එක කිරීමෙන් මෙන් වන්නේය’යි මේ අදහස උපන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යදිනු කැමතිව අවුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
‘හෙට්ඨිමං තලං සම්පන්නං’ පොළොවෙහි යටතෙලෙහි පෘථිවීමණ්ඩ පෘථිවිඕජා පෘථිවීපප්පට ඇත්තේද, ඒ සඳහා කියයි. එහි ‘සම්පන්නං’ යනු මිහිරිය. මධුරරස සම්පන්නය යන අර්‍ත්‍ථයි ‘තත්‍රස්ස රුක්‍ඛො සම්පන්නඵලො ච උප්පන්නඵලොච’ යන මෙහි යම්සේ මධුරඵල ඇත්තේය යන අර්‍ත්‍ථයවේද, එසේ මෙහිද ‘සම්පන්නං’ යනු මිහිරිය. මිහිරි රස ඇත්තේය යන අර්‍ත්‍ථය දතයුතුය. ‘සෙය්‍යථාපි ඛුද්දමධුං අනීලකං’ මේවනාහි පොළොව යටතෙලෙහි වූ පෘථිවි මණ්ඩයාගේ මිහිරිබවට උපමා දැක්වීම පිණිස කියන ලද්දේය. ‘ඛුද්දමධුං’ කුඩා මැස්සන් විසින් කළ මීවදය. ‘අනීලකං’ මැස්සන් රහිතය. පිළවුන් රහිතය. මැසිබිජු රහිතය. පිරිසිදුය. මේ මී සියලු මීවලට වඩා අග්‍රය. ශ්‍රේෂ්ඨය. මනා රස ඇත්තේය. ඔජොවත්ද වේ. ‘සෙය්‍යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං’ යනු එහෙයින් කීහ.
‘සාධාහං භන්තෙ’ මැනව, ස්වාමීනි! මම, සාධු යන මෙහි මෙය ආයාචන වචනයි. පොළොව පෙරළීම ආයාචනා කරන්නාවූ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ‘පරිවත්තෙය්‍යං’ උඩහුරු කරන්නෙමි, යටතලය මතුකරන්නෙමි, කුමහෙයින්දයත්: මෙසේ කළකල්හි භික්‍ෂූහු සුවසේ පප්පටකොජය පෘථිවි රසය වළඳන්නාහුය’යි මෙසේ සැලකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුදනු නොකැමැති සේක්ද, තෙරුන් ලවා සිංහනාද කරවන්නට ‘යෙ පන තෙ මොග්ගල්ලාන පඨවිනිස්සිතා පාණා තෙ කථං කරිස්සසි’ ‘පොළොව ඇසුරු කළ ගම්නියම්ගම්හි වූ යම් ප්‍රාණීහු වෙත්ද, පොළොව පෙරළන කල්හි අහසෙහි පිහිටා සිටින්නට නොහැකි වූ ඔවුන්ට කෙසේ කරන්නෙහිද? කොතැන තබන්නෙහිදැ’යි අසා වදාළ සේක. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ එතදග්‍රයෙහි තැබූ බවට අනුරූපකොට තමන්ගේ සෘද්ධ්‍යනුභාවය ප්‍රකාශ කරන්නාහු, ‘එකාහං භන්තෙ’ යනාදිය කීහ. ‘ස්වාමීනි! මම එක් අතක් මේ මහපොළොව සේ මවාපාන්නෙමි, පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්ද, ඒ ප්‍රාණීන් එක් අල්ලෙක සිටි ප්‍රාණීන් දෙවන අල්ලට මාරුකරන්නකු මෙන් මාරු කරන්නෙමි’ යනු එහි අර්‍ත්‍ථය වේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෞද්ගල්ල්‍යා යන ස්ථවිරයන් වහන්සේගේ ආයාචනය ප්‍රතික්‍ෂෙප කරනසේක් ‘අලං මොග්ගල්ලානං’ යනාදිය වදාළ සේක. එහි ‘අලං’ යනු ප්‍රතික්‍ෂේප වචනයි. ‘විපල්ලාසම්පි සත්තා පටිලහෙය්‍යුං’ සත්ත්‍වයෝ විපරීතග්‍රාහයට පැමිණෙන්නාහුය. කෙසේදයත්: ‘මේ පෘථිවියද නොහොත් මේ පෘථිවිය නොවේද? තවද, මේ අපගේ ගමද නොහොත් අන්‍යයන්ගේ ගමදැයි ගම්නියම්ගම්දනවු කෙත්, අරම් ආදියෙහිද මෙසේය. සෘද්ධිමත්හුගේ සෘද්ධි විෂය නොසිතිය හැකිය, එහෙයින් මේ විපර්‍ය්‍යාසය නොවේ. ‘මේ දුර්භික්‍ෂය වනාහි දැන් පමණක් වන්නේ නොවේ, අනාගතයෙහිද වන්නේය. එකල්හි භික්‍ෂූහු තා වැනිවූ සෘද්ධිමත් සබ්‍රහ්මචාරියෙකු කොතැනින් ලබන්නාහුද ඒ භික්‍ෂූහු, ස්‍රොතාපන්න, සකෘදාගාමී, අනාගාමී, ශුෂ්කවිදර්‍ශක, ධ්‍යානලාභී, ප්‍රතිසම්භිදාප්‍රාප්ත ක්‍ෂීණාස්‍රවයෝ වූවාහුද සෘද්ධිබල නැති බැවින් පිඬුපිණිස පරකුලයන් කරා එළැඹෙන්නාහයි මෙසේ විපර්‍ය්‍යාසය පිළිලබන්නාහුය. ‘බුද්ධ කාලයෙහි භික්‍ෂූහු ශික්‍ෂාපරිපූරකාරීහු වූහ, ඔවුහු ගුණ උපදවා දුර්භික්‍ෂ කාලයෙහි පොළොව පෙරළා පෘථිවී රසය වැළඳූහ, දැන් වනාහි, ශික්‍ෂාපරිපූරකාරීහු නැත්තාහ, ඇත්තාහුනම්, එසේම කරන්නාහුය, අපට පැසුනාවූ හෝ අමුවූ කිසිවක් කරන්නට නොදෙන්නාහුයි එහිදී මිනිසුන්ට මෙසේ අදහස් වන්නේය. මෙසේ ඒ මිනිස්සු ආර්‍ය්‍ය පුද්ගලයන් ඇති කල්හි ආර්‍ය්‍ය පුද්ගලයෝ නැත්තාහයි මේ විපර්‍ය්‍යාසය ලබන්නාහුය. විපර්‍ය්‍යාස වශයෙනුදු ආර්‍ය්‍යන්ට අභිමුඛයෙහි ගරහන්නාහු අනභිමුඛයෙහි ආක්‍රෝශ කරන්නාහු අපායට පැමිණෙන්නෝ වන්නාහ, එහෙයින් ‘මා තෙ රුච්චි පඨවිං පරිවත්තෙතුං’ ‘පොළොව පෙරළීම, තට අභිමත නොවේවා’යි වදාළ සේක.