දුබ්භික්ඛකථා
‘තෙන ඛො පන සමයෙන වෙරඤ්ජා දුබ්භික්‍‍‍ඛා හොති’ යම්කලක වෙරඤ්ජ බ්‍රාහ්මණයා විසින් වෙරඤ්ජාව ඇසුරුකොට වස්විසීමට භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරන ලද්දාහුද, ඒ කාලයෙහි වෙරඤ්ජාව දුකසේ ලැබිය යුතු භික්‍ෂා ඇත්තේ වේ. ‘දුබ්භික්‍ඛා’ දුර්‍ලභ භික්‍ෂා ඇත්තේය. යම්තැනක මිනිස්සු සැදැහැ නැත්තාහු නොපහන්වූවාහු වෙත්ද, එහි මැනවින් වැඩුනු ගොයම් ඇති කල්හිද, හැල්, උඳු, මුං ආදියෙහි අගය නැතිව ගියකල්හිද ඒ දුකසේ ලැබියයුතුබව වන්නේය. වෙරඤ්ජාවෙහි වනාහි යම්හෙයකින් එසේ නොවූයේද, එහෙත්, දුස්සස්‍ය බැවින් හටගත් ජාතක දොසයෙන් එසේ වූයේය. එහෙයින් ඒ අරුත් දක්වන සේක් ‘ද්වීහිතිකා’ යනාදිය කීහ.
එහි ‘ද්වීහිතිකා’ දෙපරිද්දෙකින් පැවති ක්‍රියාඇත්තීය. ඊහිතනම් ක්‍රියාය. දෙපරිද්දෙකින් පැවති චිත්ත ක්‍රියාව චිත්තඊහා නමි. ‘මෙහි පිඬු සිඟායන්නමෝ කිසිවක් ලබන්නෙමුදෝ නොලබන්නෙමුදෝ ජීවත්වන්නට හැක්කෙමුදෝ නොහැක්කෙමුදෝ යනු මෙහි අදහසය, නොහොත් ‘ද්විහිතකා’ යනු දුකසේ කළයුතු ජීවිකාය. ඊහිතං, ඊහා, ඉරීයනං, වත්තනං, ජීවිතං යනාදි පදයෝ එකාර්‍ත්‍ථවත් වෙති. එහෙයින් දුකින් ජීවත්වීම මෙහි පවතීනුයි ‘ද්වීහිතිකා’යි මේ මෙහි පදාර්‍ත්‍ථය වේ. සුදු මිනී ඇට මෙහි වේනුයි ‘සෙතට්ඨිකා’ නමි. දවසක් මුළුල්ලෙහිදු ඉල්වා කිසිවක් නොලැබ මළාවූ දිළිඳු මිනිසුන්ගේ නයිහතු පැහැති ඇටවලින් ඒ ඒ තැන ගැවසී ගත්තේය’යි කියන ලද්දේ වේ. ‘සෙතට්ඨිකායි’ද පාඨයක් වේ. එහි අර්‍ත්‍ථය මෙසේය:- ශේවත රෝගය මෙහි වේනුයි සෙතට්ටිකා නමි. අට්ටි යනු ආතුරභාවයයි. ව්‍යාධියයි. රෝගයයි. එහිද, ගොයම් ගැබ්ගන්නා කාලයෙහි ශ්වෙත රෝගයෙන් නැසුනාවූම සිඳීගිය කිරි ඇති සහල් ඇට නොහටගත් ඉතා සුදු වූ හැල්කරල් හෝ යවතිරිඟු කරල් නික්මෙන්නේද, එහෙයින් සෙතට්ඨිකායි කියනු ලැබේ.
වපුරණ කාලයෙහි මැනවින් සකස්කොටද වපුළ ගොයම් එහි වෙරඤ්ජාවෙහි ඉරටුම සැපයේනුයි ‘සළාකාවුත්තා’ නමි. සලාකාවෙන් හෝ එහි ජීවිතය පවත්වත්නුයි ‘සලාකාවුත්තා’ය. කුමක් කියන ලද්දේදයත්:- එහි වනාහි, ධාන්‍ය විකුණන්නවුන්ගේ සමීපයට ධාන්‍ය මිලදී ගන්නවුන් ගිය කල්හි දුර්‍වල මනුෂ්‍යයන් මැඬ බලවත් මනුෂ්‍යයෝම ධාන්‍ය මිලදී ගෙනියත්. දුර්‍වල මනුෂ්‍යයෝ ධාන්‍ය නොලබන්නාහු මහහඬ නගත්. ධාන්‍ය විකුණන්නෝ සියල්ලන්ට සඞ්ග්‍රහ කරන්නෙමු’යි ධාන්‍ය මනින තැන ධාන්‍ය මනින්නෙකු හිඳුවා එක්පසෙක කහවණු සොයාබලා ගන්නෙකුද හිඳුවාලූහ. ධාන්‍ය ගන්නට එන්නාහු ධාන්‍යයෙන් ප්‍රයෝජන ඇත්තාහු පළමුකොට කහවණු අයකරන්නහුගේ සමීපයට යන්නාහ. ඔහු මිනිසුන් ආ පිළිවෙළින් මුදල් ගෙන ‘මෙනම් ඇත්තහුට මෙතෙක් දියයුතුය’යි සලාක ලියා දෙන්නේය. ඔවුහු එය ගෙන ධාන්‍ය මනින්නහුගේ සමීපයට ගොස් දුන් පිළිවෙළින් ධාන්‍ය ගන්නාහ. මෙසේ සලාකාවෙන් එහි දිවි පවත්වත්නුයිද සලාකාවුත්තායි කියන ලද්දේය.
‘න සුකරා උඤ්ජෙන පග්ගහෙන යාපෙතුං’ පාත්‍රය ගෙන යම් පිඬුසිඟා යෑමෙක්වේද, ඒ සිඟාගත් පාත්‍රයෙන් යැපීම පහසු නොවේ. පාත්‍රය ගෙන ආර්‍ය්‍යයෝ යම් පිඬුසිඟා යෑමක් කරත්ද, භික්‍ෂා චර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, ඒ සිඟීමෙන් යැපෙන්නට සුවසේ නොහැකියයි කියන ලද්දේ වේ. එකල්හි වනාහි එහි ගම් සතඅටක පිඬුපිණිස හැසිරද, එක්දවසකට යැපෙන පමණකුත් සිඟාගැනීමට නොහැකිවෙත්. එක් දවසකට යැපෙන පමණකුත් නොලබත්.
‘තෙන ඛො පන සමයෙන උත්තරාපථකා අස්සවාණිජා -පෙ- අස්සොසි ඛො භගවා උදුක්‍ඛලසද්දං තෙන’, යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජාව ඇසුරුකොට වස්විසීමට එළැඹි සේක්ද, ඒ කාලයෙහි උත්තරාපථවාසීහු උත්තරාපථයෙන් ආබැවින් හෝ මෙසේලත් ව්‍යවහාර ඇති අස්වෙළෙන්දෝ උත්තරාපථයෙහි අසුන් උපදින පෙදෙසෙහි අසුන් පන්සියයක් ගෙන ද්විගුණ, ත්‍රිගුණ වශයෙන් ලාබ බලාපොරොත්තු වෙමින් අන්පෙදෙස් කරායන්නාහු, තමන්ගේ විකිණියයුතු භාණ්ඩ වූ ඒ පන්සියයක් පමණ වූ අසුන්ද ගෙන වැසි කාලයෙහි විසීමට වෙරඤ්ජාවට පැමිණියාහුවෙත්. කුමක්හෙයින්ද යත්: ඒ ප්‍රදේශයෙහි වැසිසාරමස මගට බසින්නට නොහැක්කාහුද එහෙයිනි. පැමිණෙන්නෝද නුවරින් පිටත දියෙන් යට නොවන තැනක තමන්ට විසීමට ගෙවල් හා අසුන්ට අස්හල්ද කරවා වැටෙන් වටකළහ. ඔවුන්ගේ ඒ වාසස්ථාන අස්සමණ්ඩලිකායි ප්‍රසිද්ධ විය. එහෙයින් ‘තෙහි අස්සමණ්ඩලිකාසු භික්‍‍‍ඛූනං පත්‍ථපත්‍ථපුලකං පඤ්ඤත්තං හොති’ යනු කීහ. ‘පත්‍ථපත්‍ථපුලකං’ එක් එක් මහණක්හට නැළියක් නැළියක් පමණ යවසහල්. පත්‍ථනම්, නැළියක් පමණ වේ. එය එක් පුරුෂයකුහට යැපීමට පමණ වේ. ‘දෙදෙනෙකුන්හට මේ සහල් නැළියේ බත පමණ නොවේයි මේ කියන ලද්දේමය. ‘පත්‍ථොදනො නාලමයං දුවින්නං’යි. පුලකනම්, කුඩු දහයියා රහිතකොට සෝදාගත් යවසහල්යි කියනු ලැබේ. ඉදින් කුඩු දහයියා සහිතවේනම් පණුවෝ විදින්නාහ. කල්පැවැත්මට නොසුදුසුය. එහෙයින් ඒ වෙළෙන්දෝ යවසහල් කල්පැවැත්මට සුදුසුකොටගෙන මගට බසිත්. යම්තැනකදී අසුන්ට බත්වන්නේය.