පඨමජ්ඣානකථා
දැන් මේ ප්‍රතිපදාවෙන් ලැබූ ප්‍රථමද්ධ්‍යානය මුල්කොට විද්‍යාත්‍රය කෙළවරකොට ඇති විශේෂය දක්වනසේක් ‘සො ඛො අහං’ යනාදිය වදාළසේක. එහි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යනාදීන්ගේ අර්‍ත්‍ථ මෙසේ දතයුතුය. තවද එහි ‘කාම කවරේදයත්: ඡන්‍දය, කාමය, රාගය කාමය, ඡන්‍ද රාගය කාමය, සඞ්කප්පය කාමය, රාගය කාමය, සඞ්කප්ප රාගය කාමය’යි යන මේ කෙලස් කාම නම් වේ. එහි ‘අකුශලධර්‍ම කවරේද යත් කාමච්ඡන්‍දය -පෙ- විචිකිච්ඡාය’ යන මොවුහු අකුශල ධර්‍මයෝ’යි කියනු ලැබෙත්. මෙසේ මේ කාමයන්ගෙන්ද මේ අකුශල ධර්‍මයන්ගෙන්ද වෙන්වූයේ අතිශයින් වෙන්වූයේ වේද එහෙයින් ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යනු කියනු ලැබේ. මේ ආදි ක්‍රමයෙන් විභඞ්ගයෙහිම අර්‍ත්‍ථය වදාරණ ලද්දේය. එසේවුවද අර්‍ත්‍ථකථානය හැර මෙහි අර්‍ත්‍ථය මැනවින් ප්‍රකට නොවේ. එහෙයින් අර්‍ත්‍ථකථානයින්ම එය ප්‍රකාශ කරන්නෙමු.
කෙසේදයත්: ‘විවිච්චෙව කාමෙහි’ කාමයන්ගෙන් වෙන්ව කාමයන් හැර පහකිරීම් වශයෙන් බැහැරකොට මෙහි යම් ඒ එවකාරයෙක් යෙදී සිටියේද ඒ එවකාරය නියමාර්‍ත්‍ථ ඇත්තේ යයි දතයුතුය. යම් හෙයකින් ඒ එවකාරය නියමාර්‍ත්‍ථ ඇත්තේද එහෙයින් ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වසන ඒ කාලයෙහි අවිද්‍යාමානවූද කාමච්ඡන්‍දා දී නීවරණ ධර්‍මයන්ගේ ඒ ප්‍රථමද්ධ්‍යානයට පටහැනි බවද කාමයන්ගේ ප්‍රහාණයෙන්ම මේ ප්‍රථමද්ධ්‍යානයේ අධිගමයද දක්වාලන්නේය. කෙසේදයත්: ‘විවිච්චෙව කාමෙහි’යි මෙසේ නියම කරනු ලබන කල්හි ‘ඒකාන්තයෙන් මේ ධ්‍යානයට කාමයෝ ප්‍රතිපක්‍ෂයහ. යම් යම් කාමයන් පවත්නා කල්හි අන්‍ධකාරය ඇතිකල්හි ප්‍රදීපය මෙන් මේ ධ්‍යානය නොපවතීද ගඟක මෙතෙර හැරීමෙන් එතෙරට පැමිණෙන්නා සේ ඔවුන්ගේ දුරුකිරීමෙන්ම මේ ධ්‍යානයාගේ අධිගමයවේද එහෙයින් නියම කෙරේයයි දතයුතුය.
එහි මෙසේ වන්නේය: කුමක්හෙයින් මේ එවකාරය උත්තර පදයෙහි නොයොදා පූර්‍වපදයෙහිම කියන ලද්දේද? අකුශල ධර්‍මයන්ගෙන් නොවෙන්ව ධ්‍යානයට පැමිණ ධ්‍යානය උපදවා කිම වාසය කරන්නේද? අවධාරණාර්‍ත්‍ථයෙහි වූ මේ එවකාරය පූර්‍ව පදයෙහිම යෙදෙන්නේ යයි මෙසේ නොදතයුතුය. මේ ධ්‍යානය කාමයන්ගේ නිශ්ශරණ බැවින්ම පූර්‍වපදයෙහිමලා මෙය වදාරණ ලද්දේය. කාමභවය ඉක්මවන බැවින්ද කාමරාගයට ප්‍රතිපක්‍ෂ බැවින්ද මේ ධ්‍යානය කාමරාගයන්ගේම නිශ්ශරණයයි, ‘කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්‍ඛම්මං’යි එය මෙසේ වදාළ සේක. යම් සේවනාහි ‘ඉධෙව භික්‍‍‍ඛවෙ සමණො, ඉධ දුතියො සමණො’ යන මෙහි එවකාරය උත්තර පදයෙහිදු එළවා කියනු ලැබේද, මෙහිද එවකාරය එළවා කියනු ලැබේයි මෙසේ කියයුතුය. මෙයින් කාමච්ඡන්‍දයෙන් අන්‍ය වූ නීවරණසඞ්ඛ්‍යාත අකුශල ධර්‍මයන්ගෙන්ද නොවෙන්ව ධ්‍යානයට පැමිණ වසන්නට නොහැක්කේද, එහෙයින් ‘විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි’යි මෙසේ දෙපදයෙහිම මේ එවකාරය දතයුතුය. දෙපදයෙහිද ‘විවිච්ච’ යන මේ සාධාරණ වචනයෙන් තදඞ්ග, වික්‍ඛම්භණ, සමුච්ඡෙද, නිස්සරණ, පටිප්පස්සද්ධි විවෙකයෝද කාය, චිත්ත, උපධි විවෙකයෝද යන සියලුම විවේකයෝ සඞ්ග්‍රහයට යන්නාහ. එසේ වුවද කාය විවේකයද චිත්ත විවේකයද වික්‍ඛම්භණ විවේකයද යන මේ විවේක තුනම මේ ධ්‍යාන කථාවෙහි දතයුතුය. ‘කාමෙහි’ යන මේ පදයෙන් වනාහි මහා නිර්‍දෙශයෙහි ‘කතමෙ වත්‍ථුකාම, මනාපියාරූපා’යි මේ ආදි ක්‍රමයෙන් යම් වස්තුකාම කෙනෙක් කියන ලද්දාහුද එහිම ධ්‍යාන විභඞ්ගයෙහිද ‘ඡන්‍දො කාමො’යි මේ ආදික්‍රමයෙන් යම් ක්ලේශකාම කෙනෙක් කියන ලද්දාහුද ඒ සියලු කාමයෝම සඞ්ග්‍රහය කරන ලද්දාහුමැයි දතයුතුය. මෙසේ ද්වීවිධ කාමයන්ගේ සංග්‍රහය ඇති කල්හි ‘විවිච්චෙව කාමෙහි’ යන මෙයින් වස්තු කාමයන්ගෙන්ද වෙන්වම යන අර්‍ත්‍ථය යෙදෙන්නේය. ඒ වස්තුකාම විවේකයෙන් කායවිවේකය කියන ලද්දේය.
‘විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ ක්ලේශ කාමයන් කෙරෙන් හෝ සියලු අකුශල ධර්‍මයන් කෙරෙන් වෙන්ව යන අර්‍ත්‍ථය යෙදෙන්නේය. එයින් චිත්ත විවේකය කියන ලද්දේ වේ. ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන දෙකොටසෙහි ‘විවිච්චෙව කාමෙහි’ යන මෙහි මුල්කොටසින් ගැනෙන කායවිවේකයෙන් වස්තුකාම විවේකය කියූබැවින්ම කාමසුඛ පරිත්‍යාගයද ‘විවිච්ව අකුසලෙහි ධම්මෙහි’ යන දෙවන කොටසින් ගැනෙන චිත්තවිවෙකයෙන් ක්ලේශ කාමයන්ගෙන් විවෙකය කියූබැවින් නෛෂ්ක්‍රම්‍ය සුඛ පරිග්‍රහයද ප්‍රකාශ කරන ලද්දේ වේ. මෙසේ වස්තුකාම ක්ලේශකාම විවෙක වචනයෙන්ම මේ දෙකොටස අතුරෙහි මුල්කොටසින් තෘෂ්ණාදි සඞ්ක්ලෙශ වස්තූන්ගේ ප්‍රහාණයද දෙවන කොටසින් සඞ්ක්ලෙශයන්ගේ ප්‍රහාණයද මුල්කොටසින් ලොලභාවය ඉපදීමට හේතුවූ වස්තු කාමයන්ගේ පරිත්‍යාගයද දෙවන කොටසින් අවිද්‍යා සඞ්ඛ්‍යාත බාලභාවයේ පරිත්‍යාගයද මුල්කොටසින් ප්‍රාණවධාදියෙන් වෙන්වීමෙන් ප්‍රයොග ශුද්ධියද දෙවන කොටසින් තෘෂ්ණාදි සඞ්ක්ලෙශයන්ගේ පාරිශුද්ධියෙන් අද්ධ්‍යාශය පෝෂණයද ප්‍රකාශ කරන ලද්දේ වේ යයි දතයුතුය. ‘කාමෙහි’ යනු විසින් මෙහි කියනලද කාමයන් අතුරෙහි වස්තුකාමපක්‍ෂයෙහි මේ ක්‍රමය වේ.
ක්ලෙශකාම පක්‍ෂයෙහි වනාහි ‘ඡන්‍ද’යිද ‘රාග’යිදැයි යන මේ ආදියෙන් නොයෙක් භේද ඇති කාමච්ඡන්‍දයම කාමයි අදහස් කරන ලද්දේය. ඒ කාමච්ඡන්‍දය ද අකුශලයන්හි ඇතුළත්වූයේද ‘තත්‍ථ කතමො කාමච්ඡන්‍දො’ යන ප්‍රශ්නයෙහිලා ‘කාමො’යි මේ ආදි ක්‍රමයෙන් විභඞ්ගයෙහි ධ්‍යානයට ප්‍රතිපක්‍ෂභාවයෙන් වෙන්ව කියන ලද්දේ වේ. ක්ලෙශකාම බැවින් හෝ පූර්‍ව පදයෙහිද අකුශලයන් කෙරෙහි ඇතුළත් බැවින් දෙවන පදයෙහිද කියන ලද්දේය. ඒ කාමය, තමා නොයෙක් භේද හෙයින් ‘කාමතො’යි නොවදාරා ‘කාමෙහි’යි වදාරන ලද්දේය. දිට්ඨමානාදී වූ අන්‍යධර්‍මයන්ගේ හා තත්සමප්‍රයුක්ත ස්පර්‍ශාදීන්ගේද අකුශලභාවය ඇතිකල්හිදු ‘තත්‍ථ කතමෙ අකුසලා ධම්මා’යි ප්‍රශ්න නගා කාමච්ඡන්‍දො යනාදි ක්‍රමයෙන් විභඞ්ගයෙහි මතු ධ්‍යානාඞ්ගයන්ට විරුද්ධ වූ නීවරණයන්ගේ ප්‍රත්‍යනීක ප්‍රතිපක්‍ෂභාවය දැක්වීමෙන් නීවරණයක්ම වදාරන ලද්දේය. නීවරණ වනාහි ධ්‍යනාඞ්ගයන්ට විරුද්ධ වෙති. ධ්‍යානාඞ්ගයෝම ඒ නීවරණයන්ට විරුද්ධ වෙති. නීවරණයක්ම විද්ධවංසනය කරනු ලබන්නේය. ඝාතනය කරනු ලැබේ යයි කියන ලද්දේ වේ. ‘සමාධිය කාමච්ඡන්‍දයට ප්‍රතිපක්‍ෂය. ප්‍රීතිය ව්‍යාපාදයට, විර්‍තකය ථිනමිද්ධයට, සුඛය උද්ධච්චකුක්කුච්චයට, විචාරය විවිකිච්ඡාවට ප්‍රතිපක්‍ෂය’යි පෙටකයෙහි යම්සේ කියන ලද්දේද -
එපරිද්දෙන් මෙහි ‘විවිච්චෙව කාමෙහි’ යන මෙයින් කාමච්ඡන්‍දයේ විෂ්කම්භණ විවෙකය වදාරණ ලද්දේය. ‘විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ මෙයින් පඤ්ච නීවරණයන්ගේම විෂ්කම්භණ විවෙකයත් වදාරණ ලද්දේ වේ. අගහිත ග්‍රහණයෙන් වනාහි මුල්පදයෙන් කාමච්ඡන්‍ද නීවරණයාගේද දෙවන පදයෙන් සෙසුනීවරණයන්ගේද එසේ මුල්පදයෙන් තුන්අකුසල් මුල අතුරෙහි පඤ්චකාම ගුණභෙදයට විෂය වූ ලෝභයාගේද දෙවන පදයෙන් ආඝාත වස්තුභෙදාදිය ගොදුරුකොට සිටි ද්වෙෂමොහයන්ගේද කාමොඝාදි ධර්‍මයන් අතුරෙහි මුල්පදයෙන් කාමොඝ, කාමයෝග, කාමාසව, කාමූපාදාන, අභිජ්ඣාකායගන්‍ථ, කාමරාග සංයොජනයන්ගේද දෙවන පදයෙන් සෙසු ඔඝ, යොග, ආසව, උපාදාන, ගන්‍ථ, සංයොජනයන්ගේද මුල්පදයෙන් තෘෂ්ණාවෙන් හා තත්සම්ප්‍රයුක්තකයන්ගේද දෙවන පදයෙන් අවිද්‍යාවගේ හා තත්සම්ප්‍රයුක්තකයන්ගේද තවද, මුල්පදයෙන් ලොභසම්ප්‍රයුක්ත අෂ්ට චිත්තොත්පාදයන්ගේ දෙවන පදයෙන් සෙසු චතුර්විධ අකුශලචිත්තොත්පාදයන්ගේද විෂ්කම්භණ විවේකය වදාරණ ලද්දේ වේය’යි දතයුතුය. මේ වනාහි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන මෙහි අර්‍ත්‍ථ ප්‍රකාශනය වේ.