තෙවන සඞ්ගීති කථා
තිස්ස මහා බ්‍රහ්මතෙමේ, බඹලොවින් ච්‍යුතව මොග්ගලි බ්‍රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගත්තේය. සිග්ගව ස්ථවිරයන් වහන්සේද, ඔහු පිළිසිඳගත් තැන් පටන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි එ බමුණුගේ ගෙට පිඬු පිණිස ගියහ. එහෙත් එක් දවසකුදු කෙණෙස්සක් පමණ කැඳක් හෝ සැන්දක් පමණ පතක් නොලැබූහ. මෙසේ සත්අවුරුද්දක් ගෙවියෑමෙන් පසු එක් දවසක් ‘ස්වාමීනි! මෙතැන ඉක්මවා වඩිනු මැනව’යි යන මේ වචනමාත්‍රය ලැබූහ. එ දවසම බ්‍රාහ්මණ තෙමේද, පිටත ගොස් කිසි කාර්‍ය්‍යයක් කොට එනුයේ පෙරමගදී තෙරුන් දැක ‘පින්වත් පැවිද්ද; අපගේ ගෙට ගියහුදැ’යි ඇසීය. ‘එසේය, බ්‍රාහ්මණ! ගියෙමු’යි උන්වහන්සේ පිළිතුරු දුන්හ. නැවත ‘කිසිවක් ලදදැ’යි ඇසීය. ‘එසේය බ්‍රාහ්මණ ලැබීමු’යි කීහ. බ්‍රාහ්මණතෙමේ ගෙට ගොස්, ‘අර පැවිද්දහුට කිසිවක් දුන්නහුදැ’යි අසා කිසිවක් නොදුන්නෙමු’යි කීකල්හි, බ්‍රාහ්මණතෙමේ දෙවනදා ‘අද පැවිද්දට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි’යි ගෙදොරම හුන්නේය. සිග්ගව ස්ථවිරයන් වහන්සේ දෙවනදා බ්‍රාහ්මණයාගේ ගෙදොරට වැඩියහ. බ්‍රාහ්මණ තෙමේ උන්වහන්සේ දැක ‘ඔබවහන්සේ ඊයේ අපගේ ගෙයින් කිසිවක් නොලැබම ලැබුවෙමි’යි කීවාහුය. ඔබවහන්සේට මුසාවාදය වටීදැ’යි ඇසීය. ස්ථවිරයන් වහන්සේ ‘බ්‍රාහ්මණ! අපි තොපගේ ගෙයිදී සත් අවුරුද්දක් මුළුල්ලෙහි “මෙතැන ඉක්මවා වඩින්න” යන වචනමාත්‍රයකුදු නොලැබ ඊයේ “මෙතැන ඉක්මවා වඩින්න” යන වචනමාත්‍රය ලැබීමු, මේ ලත් ප්‍රතිසන්‍ථාරය නිසා මෙසේ කීම්හ’යි කීහ.
එකල්හි බමුණු තෙමේ ‘මොවුහු පිළිසඳර පමණකුත් ලැබ ලැබීමු’යි පවසන්නාහ, අන්කිසි කෑයුතු බිදියයුතු දැයක් ලත්කල්හි කුමක් හෙයින් නොපසසත්දැ’යි උන්වහන්සේ කෙරෙහි පැහැද තමන් පිණිස පිළියෙල කළ බතින් සැන්දක් පමණ බත්ද, එයට සෑහෙන පමණ ව්‍යඤ්ජනද දෙවා මේ භික්‍ෂාද හැමදා ඔබවහන්සේ ලබන්නහු’යි කීයේය. බ්‍රාහ්මණතෙමේ දෙවන දින පටන් ගෙට එළැඹෙන්නා වූ ස්ථවිරයන් වහන්සේගේ උපසමය දැක බොහෝ සෙයින් පැහැද හැමදා තමන්ගේ ගෙයි බත්කිස කරන්නට තෙරුන්ගෙන් ඉල්ලා සිටියේය. ස්ථවිරතෙමේ ඒ ඉල්ලීම ඉවසා දිනපතා එහි බත්කිසකොට වඩින සේක් මද මද විසින් ඔවුනට බුදුවදන් කියා යන්නේය. ඒ තරුණ තෙමේද, සොළොස් වස් ඇතියේම ත්‍රිවෙදයෙහි පරතෙරට ගියේය. බ්‍රහ්ම ලෝකයෙන් මිනිස්ලොවට උත්පත්ති වශයෙන් පැමිණි ශුද්ධ සත්ත්‍වයක්හුගේ අසුනෙක යහනෙක හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ අන් කිසිවෙක් නැත්තේය. හෙතෙමේ යම් දවසක සිය ගුරුගෙට යන්නේද එදවස තමාගේ ඇඳපුටු සුදුවතකින් වසා එල්වා තබන්නේය. ඒ අතර කාලයෙහි සිග්ගව ස්ථවිරයන් වහන්සේ ‘මාණවකයා පැවිදි කරන්නට මේ කාලයයි, එහෙත් බොහෝ දවසක සිට මෙහි එන මාගේ මොහු හා කිසිත් කතාවක් නැත, එහෙයින් දැන් මේ උපායෙන් පලඟ නිසා කතාවක් උපදින්නේය’යි සිතා ගෙට ගොස් ඒ ගෙයි තුබූ මාණවකයාගේ අසුන හැර අන්කිසිත් අසුනක් නොපෙනෙන සේ ඉටූහ. එවේලෙහි බමුණු ගෙදර සිටි ජනයා ගෙට පැමිණි තෙරුන් දැක උන්වහන්සේ වැඩහිඳින්නට දීමට අන්කිසි අසුනක් නොදැක මාණවකයාගේ පලඟ බා ඇතිරියක් අතුරා දුන්නේය. ස්ථවිරයන් වහන්සේ එහි වැඩහුන්හ. මාණවක තෙමේද එකෙණෙහි ගුරු ගෙයින් පෙරළා ආයේ තමන්ගේ පලඟෙහි හුන් තෙරුන් දැක කිපියේ නොසතුටුවූයේ ‘කවරෙක් මාගේ පලඟ මහණහුට පණවා දුන්නේදැ’යි ඇසීය.
ස්ථවිරයන් වහන්සේ බත්කිසකොට මාණවකයාගේ සැඩබව සන්සිඳී ගියකල්හි ‘මාණවක! නුඹ කිසියම් වෙදමන්ත්‍රයක් කිම දනිහිදැ’යි ඇසූහ. මානවක තෙමේ ‘පින්වත් පැවිද්ද, මා වෙදමන්ත්‍ර නොදනිතොත් මෙහි අන් කවරහු වෙදමන්ත්‍ර දන්නාහුදැ’යි කියා ‘ඔබවහන්සේ වෙදමන්ත්‍ර දන්නහුදැ’යි තෙරුන්ගෙන් ඇසීය. උන්වහන්සේ ‘අසව මාණවක! අසා දන්නට හැකිය’යි කීහ. එකල්හි මාණවකතෙමේ නිඝණ්ඩු කෙටුභ සහිත වූ අක්‍ෂර ප්‍රභෙද සහිත වූ ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවෙදයෙහි යම් යම් ග්‍රන්‍ථිස්ථාන වේද, ඒ ග්‍රන්‍ථිස්ථානයන්හි නයක්‍රමය තෙමේත් නොදත්තේද, ආචාර්‍ය්‍ය තෙමේත් නොමදුටුයේද, ඒ ඒ තන්හි ආ ග්‍රන්‍ථිස්ථාන තෙරුන්ගෙන් විචාළේය. ස්ථවිරයන් වහන්සේ පියවින්ම ත්‍රිවෙදයන්හි පරතෙරට ගියහ. දැන් වනාහි පිළිසැඹියාවන්ට පැමිණ සිටිති. එහෙයින් මුන්වහන්සේට ඒ ප්‍රශ්න විසඳීමෙහි බරක් නැත්තේය. එකෙණෙහිම ඒ ප්‍රශ්න විසඳා ‘මාණවක! තොප විසින් මාගෙන් ප්‍රශ්න බොහෝ ගණනක් අසන ලද්දේය, මමත් දැන් තාගෙන් එක් ප්‍රශ්නයක් විචාරමි, මට එය ප්‍රකාශ කරව’යි මාණවකයා හට කිහ. ‘පින්වත් පැවිද්ද! එය, ප්‍රකාශ කරන්නෙමි’යි කී කල්හි ස්ථවිරයන් වහන්සේ චිත්ත යමකයෙහි එන