දෙවන සඞ්ගීති කථා
ද්විතීය සඞ්ගීතිය පිළිබඳ කරුණු දැනීම පිණිස මේ පිළිවෙළ දතයුතුය:
යම් කලක වනාහි සද්ධර්මය සඞ්ගායනා කොට සියලු තන්හි ඒ සද්ධර්මය බබුලුවා මුළුමනින් ගෙවා දැමූ කාමාදි ආස්රව ඇති ප්රඥා ලෝකයෙන් ආලෝකවත් වූ ආලය රහිත වූ මහාකාශ්යපාදී වූ පන්සියයක් මහාස්ථවිරයන් වහන්සේලා දිවි කෙළවර තෙක් සිට සිඳීගිය තෙල් ඇති පහන් මෙන් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියාහුය.
මෙසේ ක්රමයෙන් රෑදාවල ඉක්මයන කල්හි භාග්යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු සියයක් ඉක්මයත්ම විසල්පුර වැසි වජ්ජිපුත්රක භික්ෂූහු, විසල් පුරයෙහි ‘කප්පති සිඞ්ගිලොණ කප්පො, කප්පති ද්වඞ්ගුලකප්පො, කප්පති ගාමන්තරකප්පො, කප්පති ආවාසකප්පො, කප්පති අනුමතිකප්පො, කප්පති ආචිණ්ණකප්පො, කප්පති අමථිතකප්පො, කප්පති ජලොගිපාතුං, කප්පති අදසකං නිසීදනං, කප්පති ජාතරූපරජතං’ යන මේ දශවස්තූන් කැපයයි දක්වාලූහ. වැදැරට වැසි ඒ භික්ෂූන්ට සුසුනාග පුත්ර වූ කාලාශෝක රජතෙමේ පක්ෂ වූයේය.
එකල්හිවනාහි කාකණ්ඩක පුත්ර වූ ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ වැදැරට චාරිකාවෙහි හැසිරෙණ සේක් ‘විසල්පුර වැසි වජ්ජිපුත්රක භික්ෂූන් විසල් පුරයෙහි දශවස්තූන් ප්රකාශ කරති’යි ඇසූහ. ඒ අසා ‘යම්බඳු වූ මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට වන විපත අසා පසුබට වන්නෙම් නම් එය මට සුදුසු නොවේ, එබැවින් මම අධර්මවාදීන්ට නිග්රහකොට ධර්මය දක්වාලමි’යි සිතා විශාලා මහනගරයට වැඩම කළහ. කාකණ්ඩක පුත්ර වූ ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ එහි විශාලා මහනගරයෙහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක.
එකල්හි විසල්පුර වැසි වජ්ජිපුත්රක භික්ෂූහු එ දවස පොහොයෙහි රන්තලියක් දියෙන් පුරවා භික්ෂු සඞ්ඝයා මැද තබා එහි පැමිණි විසල්පුර වැසි උපාසකයන්ට, ‘උපාසකයෙනි! සඞ්ඝයා හට කහවණු, අඩකහවණු, කහවණුපාද, මසුද දෙවු, සඞ්ඝයා හට පිරිකරින් කටයුතු ඇත්තේ වන්නේය’යි කියන්නට වූහ. සත්තසතිකක්ඛන්ධකයෙහි ආ සියල්ල මෙහි කියයුතුය. මේ විනය සඞ්ගීතියෙහි අඩුවැඩි නොවූ සත්සියයක් භික්ෂූහු වූවාහුද, එහෙයින් ද්විතීය සඞ්ගීතිය සත්තසතිකායි කියනු ලැබේ.
මේ සඞ්ඝ සන්නිපාතයෙහි ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ විසින් උත්සාහවත් කරන ලද දොළොස් ලක්ෂයක් භික්ෂූහු රැස් වූහ. ඒ භික්ෂූන් මැද ආයුෂ්මත් රෙවත මහාස්ථවිරයන් වහන්සේ විසින් විචාරණ ලද විනය විසඳන්නා වූ සබ්බකාමී මහස්ථවිරයන් වහන්සේ විසින් ඒ දශවස්තූහු විනිශ්චය කරන ලද්දාහු අධිකරණය සන්සිඳුවන ලද්දේය. ඉක්බිති ඒ මහස්ථවිරයන් වහන්සේලා නැවත ධර්මයත් විනයයත් සඞ්ගායනා කරන්නෙමුයි තෙවළාදර වූ පැමිණි පිළිසැඹියා ඇති සත්සියයක් භික්ෂූන් තෝරාගෙන විශාලා මහනගරයෙහි වාලුකාරාමයෙහි රැස්ව හිඳ මහාකාශ්යප මහාස්ථවිරයන් වහන්සේ විසින් සඞ්ගායනා කළ පරිද්දෙන්ම සියලු සසුන්මල සෝදා හැර, නැවත පිටක වසයෙන් නිකාය වසයෙන් සියලු ධර්මයද විනයයද සඞ්ගායනා කළහ. මේ සඞ්ගායනාව අටමසකින්කොට නිමවන ලදී. යම් සඞ්ගීතියක් ලොකයෙහි:
‘සත් සියයක් මහරහතුන් වහන්සේ විසින් කරන ලදද, එහෙයින් සත්තසතිකායිද, පෙරකළ සඞ්ගීතිය ගෙන, දුතියා’යිද කියනු ලැබේද
ඒ මේ ප්රසිද්ධ වූ ද්විතීය සඞ්ගීතිය යම් මහා තෙරකෙනකුන් විසින් සඞ්ගායනා කරන ලදද, ඒ සඞ්ගීතිකාරක මහාස්ථවිරයන් වහන්සේ අතුරෙහි ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූ තථාගතයන් වහන්සේ දුටුවිරූ සබ්බකාමී මහා ස්ථවිර, සාළහ මහා ස්ථවිර, රෙවත මහාස්ථවිර, ඛුජ්ජසොභිත මහා ස්ථවිර, යස මහා ස්ථවිර, සාණ සම්භුත මහා ස්ථවිර යන මේ මහා ස්ථවිරයන් වහන්සේ ප්රසිද්ධයහ.
සුමන මහාස්ථවිර, වාසභගාමි මහාස්ථවිර මහාස්ථවිරයන් වහන්සේලා දෙනම අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වෙති. තථාගතයන් වහන්සේ පෙර දක්නා ලද්දෝ යයි දතයුත්තාහ.
යම් මහා තෙර කෙනෙකුන් විසින් ද්විතීය සඞ්ග්රහය සඞ්ගායනා කරන ලද්දේද, ඒ සියලුදෙනා වහන්සේම බහා තැබූ ස්කන්ධ භාරය ඇත්තාහුය. සිවුමගින් කළයුතු වූ සොඩශවිධ කෘත්යය ඇත්තාහුය. ආස්රව රහිතයහ.
මේ ද්විතීය සඞ්ගීතියයි.
මෙසේ මේ ද්විතීය සඞ්ගීතිය සඞ්ගායනාකොට, ඒ මහා ස්ථවිරයන් වහන්සේලා ‘අනාගතයෙහිද ශාසනයට මෙබඳු උවදුරු වන්නේදැ’යි බලා වදාරන්නාහු, ‘මෙයින් අවුරුදු සියයකට පසුව අටළොස්වන අවුරුද්දෙහි පැළලුප් නුවර ධර්මාශොක නම් රජෙක් ඉපිද, සියලු දඹදිව රාජ්යය කරවන්නේය, හෙතෙම බුදුසසුනෙහි පැහැද මහත් ලාභසත්කාර පවත්වන්නේය, ඒ හේතුවෙන් තීර්ථකයෝ ලාභසත්කාර පතන්නෝ, සසුනෙහි පැවිදිව තමතමන්ගේ දෘෂ්ටීන් දක්වන්නාහුය, මෙසේ සසුනෙහි මහත් අර්බුද උපදින්නේය’ යන මෙය දැන වදාළාහුය. එකල්හි උන්වහන්සේලාට ‘කිම, අපි මේ අර්බුදය උපන්කල්හි හමු වන්නමෝද, හමු නො වන්නමෝදැ’යි මේ අදහස උපන්නේය. ඉක්බිති සියල්ලෝ එකල්හි තමන් නොහමුවන බව දැන කවරෙක් ඒ අධිකරණය සන්සිඳුවාලන්නට සමර්ත්ථ වන්නේදැයි සියලු මනුෂ්ය ලෝකයත් ෂඩ්විධ කාමාවචර දෙවලොකයත් බලන්නාහු, දෙලොවම එයට සමර්ත්ථ වූ කිසිවෙකු නොදැක, බ්රහ්ම ලොකයෙහි මදආයු ඇතිව මතු බඹලොවක ඉපදීමට වැඩූ ධ්යාන ඇතිව සිටි තිස්ස නම් මහබඹහු දුටහ. දැක ‘ඉදින් අපි මිනිස්ලොව ඉපදීමට, මොහුට උත්සාහය උපදවන්නෙමු නම්, ඒකාන්තයෙන් මෙතෙමේ මොග්ගලි බ්රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගන්නේය, එයින් පසු මන්ත්රයන්ගෙන් පොළොඹවන ලදුයේ, ගෙන් නික්ම පැවිදි වන්නේය, හෙතෙමේ මෙසේ පැවිදිව සියලු බුදුවදන් උගෙන, ලැබූ පිළිසැඹියා ඇත්තේ, තීර්ථකයන් මැඩ ඒ අධිකරණය විනිශ්චයකොට සසුන නගාසිටුවන්නේය’යි මේ අදහස වූයේය.
අනතුරුව උන්වහන්සේලා බඹ ලොවට වැඩ තිස්ස නම් මහාබ්රහ්මයා හට ‘මෙයින් අවුරුදු සියයකට මත්තෙහි අටළොස්වන අවුරුද්දෙහි ශාසනයෙහි මහත් අර්බුදයක් උපදින්නේය, අපිද සියලු මනුෂ්ය ලොකයත් ෂඩ්විධ කාමාවචර දෙවලොකයත් පරීක්ෂාකර බලන්නමෝ, ශාසනය නගාසිටුවන්නට සමර්ත්ථ වූ කිසිවෙකු නොදැක බඹලොව පරීක්ෂාකර බලන්නමෝ, පින්වත්හු දුටුවෙමු, සත්පුරුෂය! මැනව, එහෙයින් මිනිස්ලොව ඉපද දශබලධාරී භාග්යවතුන් වහන්සේගේ සසුන නගාසිටුවනු මැනවි, එයට අපට පොරොන්දුවක් දෙව’යි කියා සිටියාහ.