පළමු මහා සඞ්ගීති කථා
මේ ප්‍රථම සඞ්ගීතිය, පඤ්චසතික සඞ්ගීතික්‍ඛන්‍ධකයෙහි කියනලද නමුත් මෙහිද නිදානයෙහි පටුත්‍වය පිණිස මේ කියන පරිදි දතයුතුය. ධර්‍මචක්‍රප්‍රවර්‍තනය ආදිකොට සුභද්‍ර පරිබ්‍රාජකයාගේ හික්මවීම තෙක් කළ බුදුකිස ඇති ලෝකස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ල රජුන්ගේ උපවර්‍තන නම් ශාලවනොද්‍යානයෙහි යමකශාලයන් අතර පැණවූ පරිනිර්‍වාණ මඤ්චකයෙහි හොත්සේක්, වෙසක් පුන්පොහෝදා අලුයම අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම හේතුකොට, එතන්හි රැස්වූ සත් ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේ අතුරෙහි සඞ්ඝ ස්ථවිර වූ ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ - භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් සත් දවසක් ඉක්ම ගිය කල්හි, සුභද්‍ර නම් මහලු පැවිද්ද විසින් ‘ඇවැත්නි, කම් නැත, ශෝක නොකරවු, විලාප නොකියවු තොපට මේ කැපය, තොපට මේ නොකැපයයි අපි ඒ මහාසමණහුගෙන් උවදුරු ලද්දෝ වම්හ, අපි දැන් ඒ මහා සමණහුගෙන් මිදුනෝ වම්හ, අපි දැන් යමක් කැමති වන්නමෝ නම්, එය කරන්නෙමු, යමක් නොකැමති වන්නමෝ නම්, එය නොකරන්නෙමු’යි කියූ වචනය මෙනෙහි කරනුවෝ- ‘පාපී භික්‍ෂූහු, යම් කරුණක් හේතුකොට, ඉක්මගිය ශාස්තෲන් ඇති ධර්‍මවිනයකැයි හඟින්නෝ අලජ්ජීපක්‍ෂ ලැබ, නොබෝකලකින්ම සද්ධර්‍මය අතුරුදහන් කරන්නාහ’ යන මේ කාරණය වියහැකිය. යම්තාක් කල් මුළුල්ලෙහි ධර්‍මවිනය ලජ්ජී පුද්ගලයන් කෙරෙහි පවත්නේ නම්, ඒ තාක් ධර්‍මවිනය නොඉක්මගිය ශාස්තෲන් ඇත්තේමය,
ආනන්‍ද! තොපට මා විසින් යම් ධර්‍මයක් යම් විනයක් දේශනා කරන ලද්දේද, පණවන ලද්දේ ද, ඒ ධර්‍මවිනය, මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෲයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේමය.
යම් ලෙසකින් මේ ශාසනය බොහෝ කල් පැවැත්මට සුදුසුවූයේ, කල් පවතින්නක් වේද, එලෙසින් මම ධර්‍මයත් විනයත් සඞ්ගායනා කරන්නෙම් නම්, ඉතා මැනව,
යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින්,
මම කාශ්‍යප! ඔබ පරිභොගයෙන් දිරාගිය හණ වැහැරියෙන් කළ පාංසුකූල චීවරය දරන්නහු’යි වදාරා, චීවරයෙහි සාධාරණ පරිභොගයෙන්ද,
මහණෙනි! මම යම්තාක් කැමති වෙම්ද, ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව - ප්‍රථමද්ධ්‍යානයට එළඹ වෙසෙම්ද, මහණෙනි! කාශ්‍යපද යම්තාක් කැමතිවේද, ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව - ප්‍රථමද්ධ්‍යානයට එළඹ වෙසේයයි
මේ ආදි ක්‍රමයෙන් නවානුපූර්‍ව විහාර ෂඩභිඥාදි ප්‍රභෙද ඇති උත්තම මනුෂ්‍ය ධර්‍මයෙහි තමන්වහන්සේ හා සමතන්හි තැබීමෙන් මම අනුග්‍රහ කරන ලද්දෙම් වෙම්ද, එසේ අනුග්‍රහ කරන ලද මට ධර්‍මවිනය සඞ්ගායනාව හැර, අන් කිනම් මගකින් නය නැති බවක් වන්නේද, තමන්ගේ කවජඉසුරු දීමෙන් ස්වකීය කුලවංශය පිහිටුවන පුතුට රජක්හු මෙන්, භාග්‍යවතුන් වහන්සේ, මෙතෙමේ මාගේ සද්ධර්‍මවංශය පිහිටුවන්නේ යයි දැන, මේ අසාධාරණ අනුග්‍රහයෙන් මට අනුග්‍රහ කළසේක්වනැ’යි සිතන්නාහු, ධර්‍මවිනය සඞ්ගායනා කරනු පිණිස භික්‍ෂූන්ට උත්සාහ ඉපදවූහ.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මම එක්කලක පන්සියයක් පමණ මහාභික්‍ෂු සඞ්ඝයා සමග පාවා නුවරින් නික්ම කුසිනාරා නුවර දිග්මගට පිළිපන්නෙමි’යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ පඤ්චසතිකක්‍ඛන්‍ධකයෙහි ඈ සියලු සුභද්‍රකාණ්ඩය විස්තර විසින් දතයුතුය.
ඉක්බිති උන්වහන්සේ
‘අවැත්නි! ඉදිරියෙහි අධර්‍මය බබලන්නේය, ධර්‍මය යටපත් කරනු ලබන්නේය, අවිනය බබලන්නේය, විනය යටපත් කරනු ලබන්නේය, ඉදිරියෙහි අධර්‍මවාදීහු බලවත් වන්නාහුය, ධර්‍මවාදීහු දුර්‍වල වන්නාහුය, අවිනයවාදිහු බලවත් වන්නාහුය, විනයවාදීහු දුර්‍වල වන්නාහුය, එබැවින් අපි ධර්‍මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු’යි භික්‍ෂූන්ට දන්වා සිටියහ.
එකල්හි භික්‍ෂූහු ‘ස්වාමීනි! එසේනම්, මහාස්ථවිරයන් වහන්සේම සඞ්ගායනාවට සුදුසු භික්‍ෂූන් තෝරාගන්නා සේක්වා’යි අයැද සිටියහ. භික්‍ෂූන්ගෙන් ලද ආරාධනා ඇති මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, සකල නවාඞ්ගශාස්තෲ ශාසනපර්‍ය්‍යාපතිධර වූ නොයෙක් සියගණන් නොයෙක් දහස්ගණන් පෘථග්ජනස්‍රොතාපන්න සකෘදාගාමී අනාගාමී ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රව භික්‍ෂුන් හැරපියා බොහෝසෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්‍රයට නගන ලද ත්‍රිපිටක සකල පර්‍ය්‍යාපති ප්‍රභෙදධර වූ සිවුපිළිසැඹියා පත් මහානුභාව සම්පන්නවූ ත්‍රිවිද්‍යාදිභෙද ඇති ක්‍ෂීණාස්‍රව භික්‍ෂූන්ම එකකුඅඩු පන්සියයක් භික්‍ෂූන් තෝරාගත්හ. ‘අථඛො ආයස්මා මහාකස්සපො එකෙනූන පඤ්චඅරහන්තසතානි උච්චිනි’යි
යම් කෙනකුන් සඳහා මෙය සඞ්ගීතික්‍ඛන්‍ධකයෙහි කියන ලද්දේද, එහෙයිනි. කුමක් හෙයින් මහාස්ථවිරයන් වහන්සේ සඞ්ගායනාවට පැමිණීමට ඉඩ තබනු පිණිසය. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හා එක්වද, ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හැරපියාද ධර්‍ම සඞ්ගායනාව කරන්නට නොහැකිය. උන්වහන්සේ ශෛක්‍ෂ්‍යයහ. මතු මාර්‍ගත්‍රය පිළිබඳ කටයුතු අවසන් නොකළ බැවින් කෘත්‍ය සහිතයහ. එහෙයින් උන්වහන්සේ හා එක්ව නොකටහැකිය. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ නොහමුවෙහි පිළිගත් සූත්‍රගෙය්‍යාදී කිසිදු ධර්‍මයක් නැත්තේය. එහෙයින් උන්වහන්සේ හැරපියාද නොකටහැකිය. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ශෛක්‍ෂ්‍ය වූවාහුද, ධර්‍මසඞ්ගායනාවට බොහෝ උපකාර බැවින් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ විසින් ධර්‍මසඞ්ගායනාව පිණිස තෝරා ගතයුතුම වෙත්නම් එසේ තෝරා ගත යුතුව තිබියදී කුමක් හෙයින් තෝරා නොගන්නා ලද්දාහුද; යත්:- අන්හු නගන චෝදනා දුරුකරනු පිණිසය. මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කෙරෙහි දැඩි විස්වස් ඇතියහ. ඒ එසේමය. හිසෙහි කෙස් පැසී තිබියදීද, මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ‘මේ කුමරු පමණ නොදන්නේ’යි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කුමාරවාදයෙන් කතා කරති, මේ ආයුෂ්මත් තෙමේ ශාක්‍ය කුලයෙහි උපන්නේය, බුදුරජාණන් වහන්සේගේ සුලු පියහුගේ පුත්ය, සොහොයුරුය, එහිදී භික්‍ෂූහු, මා ඡන්‍දයෙන් අගතියට ගොස් කටයුතු කරන්නෙකු මෙනැ’යි හඟිමින් අශෛක්‍ෂ ප්‍රතිසම්හිදාප්‍රාපත බොහෝ භික්‍ෂූන් අත්හැර, බැහැරකොට, ශෛක්‍ෂප්‍රතිසම්භිදාප්‍රාප්ත ආනන්‍ද ස්ථවිරයන් තෝරා ගත්හයි චෝදනා නගතියි ඒ චෝදනා නැගීමට ඉඩ නොතබමින්, ‘ආනන්‍ද ස්ථවිරයන් හැර සඞ්ගායනාව කරනු. නොහැකිය’යි භික්‍ෂූන්ගේම අනුමතියෙන් ගනිමි’යි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ තෝරා නොගත්හ.