තෘතීය සංඝාදිශේෂය වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - පරික්ඛෙපං අතික්කාමෙන්තියා මෙහි එක් පයක් ඉක්මවන්නියට ථුල්ලච්චය වේ. දෙවනපය ඉක්මවූ ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. “අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරං” මෙහි වැට කිරීමට සුදුසු තැන එක් පයකින් ඉක්මවා නම් ථුල්ලච්චය වේ. දෙවන පයින් ඉක්මවූ ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. තවද මෙහි එක්ගමකින් නික්මෙන්නියට ග්‍රාමාන්තර ප්‍රත්‍යයයෙන් ඇවැත් නොවේ. නික්ම අන්ගමකට යන්නියට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. එක් පයකින් අන්ගමක පරික්ෂෙපය හෝ උපචාරය හෝ ඉක්මවූ ඇසිල්ලෙහි ථුල්ලච්චය වේ. දෙවන පයින් ඉක්මෙවු ඇසිල්ලෙහි සඞ්ඝාදිසෙසය වේ. එයින් නික්ම නැවැත සිය ගමට පිවිසෙන්නියටද මෙම නයවේ. කඩ පවුරකින් හෝ වැටසිදුරකින් හෝ භික්ෂුණීන්ගේ විහාරභූමියට ඇතුල්වන්නට හැකිවේද, මෙසේ ඇතුල්වන්නී කැපබිමට පිවිසියා වේ. එහෙයින් වටියි. ඇත්පිට ආදියෙන් හෝ සෘද්ධියෙන් හෝ පිවිසේනම් වටීමය. මෙහි පයින් ගමනම අදහස් කරණලදී. එහෙයින්ම ‘පඨමං පාදං අනික්කාමෙන්තියා’ යනාදිය කීහ.
ගම් දෙකක් භික්ෂුණීන්ගේ විහාර හා සබැඳි වැට ඇත්තේ වේ. යම් ගමෙක භික්ෂුණී විහාරය වේද, එහි පිඩුපිණිස හැසිර නැවැත විහාරයට පිවිස වෙහෙර මැදින් අනික් ගමකට මග ඇත්තේද, යෑම වටියි. එගමින් ඒ මගින්ම හැරී ආයුතුය. ඉදින් ගම්දොරින් නික්ම එන්නීද, පෙරනයින්ම ආපත්තිභෙදය දතයුතුය. සියගමින් කිසියම් කාර්ය්යක් හෙතුකොට මෙහෙණන් සමග නික්මුනු මෙහෙණ නැවැත පිවිසෙන කල්හි ඇතෙක් හෝ මිදී ඒද ජන සම්බාධයෙක් හෝ වේද, එහිදී අන් මෙහෙණෝ වහා ගමට පිවිසෙත්ද, අන් මෙහෙණක් එනතුරු පිටතදොර සිටිය යුතුය. ඉදින් නොඑන්නීද, දෙවන මෙහෙණ තොමෝ ගියා නම් වේ. පිවිසීම වටියි.
පෙර මහගමෙක් වේද, ගමමැද මෙහෙණවරක් වේද, පසුව සතරදෙනෙක් එගම ලැබ වෙන් වෙන්ව වැටින් වටකොට බෙදාගෙණ බුදිත්ද, වෙහෙරින් එක් ගමකට යෑම වටියි. එගමින් අනික් ගමකට දොරකඩින් හෝ වැට සිදුරකින් හෝ පිවිසෙන්නට නොවටියි. නැවැත වෙහෙරටම හැරී ඒම වටියි. කුමක් හෙයින්ද, යත්:- වෙහෙරට ගම් සතර සාධාරණ බැවිනි.
“අන්තරවාසකො තෙමීයති” යම් නදියක තෙමඩුලු වැසීමෙක් වේද, එසේ හැඳගත්, වැසිකාලයෙහි තොටින් හෝ නොතොටින් හෝ බැස යම් කිසි තැනක එතෙර වන්නාවූ මෙහෙණගේ අඳනය එකඟුල් දෑඟුල් පමණ නමුදු තෙමේද, ඕය. සෙසු නදීලක්ෂණය. නදීනිමිත්ත කථාවෙහි ප්‍රකාශ වන්නේය. මෙබඳු නදියකට තොටින් හෝ නොතොටින් හෝ බැස එතෙරවන කාලයෙහි පළමුපය උදුරා ඉවුරෙහි තබන්නියට ථුල්ලච්චය වේ. දෙවනපිය ඉදිරීම නිමිතිකොට සඞ්ඝාදිසෙසය වේ. හෙයකින්යේද, ඇවැත් නොවේ. පයින් නදියට බැස එතෙරවන කාලයෙහි හෙයට නැග එතෙරවන්නියටද, ඇවැත් නොවේ. හෙයකින් ගොස් එතෙරවන කාලයෙහි පයින් යන්නියට ඇවැත් වේමය. යානනාවා ආකාස ගමන් ආදියෙහිද මේ නයමවේ. මෙතෙරින් ගඟින් එතෙර නොව අහසට පැන හෝ පරතෙරම පාගන්නියට ඇවැත් නොවේ. රඳන්කම් පිණිස ගොස් දර රැස්කිරීම් ආදි කටයුතුවලින් දෙතුන් මෙහෙණ කෙනෙක් දෙතෙරෙහි හැසිරෙත්ද, වටියි. ඉදින් මෙහි කිසි මෙහෙණක් කලහකොට අනික් තෙරටයේද, ඇවැත් වේ. මෙහෙණෝ දෙදෙනෙක් එකට එතෙර වෙත්ද, එක් මෙහෙණක් තොමෝ ගඟ මැදදී කලහකොට නැවැතී මෙතෙරටම එන්නීද ඇවැත් වේ. අන් මෙහෙණහට මෝතොමෝ ගියතැන සිටියා වේ. එහෙයින් පරතෙරට යන්නියටද ඇවැත් නොවේ. නෑමට හෝ බීමට හෝ බැසසිටි මෙහෙණතොමෝ ඒ ඉවුරටම පෙරළා එතෙරවේද, ඇවැත් නොවේ.