පාචිත්තිය අටුවාව
භික්‍ෂුවිභඞ්ග වර්‍ණනාව
පාචිත්තිය කාණ්ඩය
මුසාවාද වර්‍ගය
මුසාවාද ශික්‍ෂාපද වර්ණනාව
යෙසං නවහි වග්ගෙහි - සඞ්ගහො සුප්පතිට්ඨිතො,
ඛුද්දකානං අයන්‍දානි - තෙසං භවති වණ්ණනා
යම් කෙනකුන්ගේ සඞ්ග්‍රහය තෙමේ වර්‍ග නවයකින් මොනවට පිහිටියේ ද, බහු ශබ්දපර්‍ය්‍යායවූ ඒ ඛුද්දකයන්ගේ දැන් මේ වර්‍ණනා තොමෝ වන්නීය.
එහි මුසාවාද වර්‍ගයාගේ පළමුකොට ප්‍රථමශික්‍ෂාපදයෙහි “හත්‍ථකො” යනු ඒ තෙරුන්ගේ නාමයයි. ශාක්‍යයන්ගේ පුත්‍රනුයි සක්‍යපුත්ත නම්වේ. බුද්ධකාලයෙහි වනාහි ශාක්‍යකුලයෙන් අසූදහසක් පුරුෂයෝ පැවිදි වූහ. ඔවුන් අතුරෙහි ඒ ස්ථවිර තෙමේ එක්තරා එකෙක් වේ. “වාදක්‍ඛිත්තො” වාද කරන්නෙමු’යි මෙසේ පරිවිතර්‍කනය කරන ලද වාදයෙන් යුක්තව පරවාදීන් වෙතට හරින ලද්දේය. පක්‍ඛිත්තො, පහිතො, පෙසිතො යනුද එම අර්‍ත්‍ථයි. වාදයෙහිලා සිය සිතින් හෝ හරින ලද්දේය. යම් යම් තැනක වාදයෙක් වේද ඒ ඒ තැනම දක්නා ලැබේනුයි “වාදක්‍ඛිත්ත” නම. “අවජානිත්‍වා පටිජානාති” තමන්ගේ වාදයෙහි කිසි දොසක් සලකමින් ‘මේ මාගේ වාදයෙක් නොවේ’යි වසා නැවත කියමින් නිදොස් බව සලකා මාගේම මේ වාදයයි නැවත ප්‍රතිඥා කරයි. “පටිජානිත්‍වා අවජානාති” කිසියම් වචනයෙක්හි අනුසස් සලකමින් ‘මේ මාගේ වාදයයි ප්‍රකාශකොට නැවත එහි දොස් සලකා ‘මේ මාගේ වාදයෙක් නොවේ’යි වසාලයි. “අඤ්ඤෙනඤ්ඤං පටිචරති” අනික් කරුණකින් අනික් කරුණක් වසයි. යටපත් කෙරෙයි. ‘රූපය අනිත්‍යය, දැනගතයුතු හෙයිනැ’යි කියා නැවත ‘ජාතිධර්‍ම හෙයිනැ’යි කියයි. කුරුන්‍දියෙහි වනාහි එක් වාදයක් වැසීමට හෙතුවූ අන් බොහෝ කරුණු කියා’යි කියන ලද්දේය. එහි මේ අදහසය: යම් ඒ පිළිදැන්මක්, වැසීමක් වේද, ඒ ප්‍රතිජානන අවජානන වැසීම පිණිස ‘කවරෙක් කීයේද, කුමක් කීයේද, කොතැන්හිදී කීයේදැ’යි යම් ආදීවූ බොහෝ කරුණු කියායි. නැවැත මහාර්‍ත්‍ථකථාවෙහි අවජානනය කොට ප්‍රතිජානනය කරන්නේ, ප්‍රතිජානනය කොට අවජානනය කරන්නේ මෙසේද අන් කරුණකින් අන් කරුණක් වසායි කියන ලද්දේය. “සම්පජානමුසා භාසති” මැනවින් දන්නේ බොරු කියයි. “සඞ්කෙතං කත්‍වා විසංවාදෙති” පෙරබත් ආදීන් අතුරෙහි අසුවල් කාලයෙහි අසුවල් පෙදෙසෙහි දී වාදය වේයයි සලකුණු කොට, සලකුණෙන් පෙර හෝ පසුව හෝ ගොස් ‘පින්වත්නි’ බලවු, තීර්ථකයෝ නොආහ, පැරදන ලදහ’යි යයි.
“සම්පජානමුසාවාදෙ” පූර්‍වභාගයෙහිද දැන වචනක්‍ෂණයෙහිද දන්නහුට බොරුකීම නිමිතිකොට.
“විසංවාදන පුරෙක්‍ඛාරස්ස” බොරු කියමි’යි යන සිත් පෙරදැරි කොට කියන්නහුගේ “වාචා” මිත්‍ථ්‍යාවචනයට ඇතුළත් වචනයෙන් උපදවන චෙතනා තොමෝය. “ගිරා” ඒ චේතනාවෙන් උපදවන ලද ශබ්දය දක්වයි. “ව්‍යප්පථො” වචනපථය. වාක්තොමෝම, දෘෂ්ට්‍යනුගතියට පැමිණෙන්නා වූ අන්‍යයන්ටද මාර්‍ගය බැවින් ව්‍යාප්පථ’යි කියනු ලැබේ. “වචීභෙදො” වචීසංඥිත වචනයෙහි බිදීම. ප්‍රභෙදගත වාක් තොමෝම මෙසේ කියනු ලැබේ. “වාචසිකාවිඤ්ඤත්ති” වාග්චිඤප්තියයි. මෙසේ ප්‍රථමපදයෙන් ශුද්ධචෙතනාවද මද්ධ්‍යයෙහි වූ තෙපදයෙන් එයින් නැගුණු ශබ්දසහිත චෙතනාවද කෙළවරවූ එකෙක් විඥප්තිය සහිත වූ චේතනාවද කියන ලදැයි දතයුතුය. “අනරියවොහාරා” අනාර්‍ය්‍ය වූ බාල පෘථග්ජනයන්ගේ ව්‍යවහාරයෝය.
මෙසේ සම්පජානමුසාවාදය දක්වා, දැන් අවසන කියූ සම්පජානමුසාවාදසඞ්ඛ්‍යාත වූ අනාර්‍ය්‍ය ව්‍යවහාරයන්ගේ ලක්‍ෂණ දක්වන සේක් “අදිට්ඨං දිට්ඨං මෙ” යනාදිය වදාළ සේක. එහි “අදිට්ඨං දිට්ඨං මෙ” මා විසින් නොදක්නා ලද්දක් දක්නා ලදැයි මෙසේ කියන්නහුගේ වචනය. එය ඉපදවූ චේතනාව හෝ එක් අනාර්‍ය්‍ය ව්‍යවහාරයෙකැයි මේ නයින් අර්‍ත්‍ථය දතයුතුය. තවද මෙහි ඇස ඇසුරු කළ විඥානයෙන් නොගත් අරමුණ අදිට්ඨ නම. කන ඇසුරු කළ විඥානයෙන් නොගන්නා ලද්ද අසුත නම. ඝාන ජීව්හා කාය විඥානදීන්ගේ වසයෙන් දැන ත්‍රිවිධ ඉන්‍ද්‍රියන් විසින් එකට බැඳුනක් මෙන් කොට පැමිණ නොගන්නා ලද්ද අමුත නම. පඤ්චෙන්‍ද්‍රියයන් හැර ශුද්ධවිඥානයෙන්ම නොගන්නා ලද්ද අවිඤ්ඤාත’යි දතයුතුය. පෙළෙහි වනාහි ‘නොදක්නා ලද්ද නම් ඇසින් නොදක්නා ලද්දේය’යි මෙසේ ඖදාරිකනයින්ම දෙශනා තොමෝ කරන ලදය. දක්නාලද ආදීන් අතුරෙහිද තමන් විසින්ද අන්හු විසින්ද දක්නා ලද්ද, දක්නා ලද්දේමය. සුත, මුත, විඤ්ඤානයෝද මෙසේය. මේ එක් ක්‍රමයෙක් වේ. අන්‍යක්‍රමයෙක්ද ඇත්තේය. තමන් විසින් දක්නාලද යමක් වේද, එය දක්නා ලද්දේමය. සුතාදීන් කෙරෙහිද, මෙම නයවේ. යමක් අන්හු විසින් දක්නා ලද්දේද, එය තමන් ඇසූ තැන සිටියි. මුතාදීහුද මෙසේය.
දැන් ඒ අනාර්‍ය්‍ය ව්‍යවහාරයන්ගේ වසයෙන් ඇවැත නගා දක්වන සේක් “තීහි ආකාරෙහි” යනාදිය වදාළ සේක. එහි අර්‍ත්‍ථය තෙමේ ‘තුන් අයුරකින් ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනෙමි’යි දැන බොරු කියන මහණහුට ඇවැත පාරාජිකා’යි මේ ආදි වසයෙන් චතුර්‍ත්‍ථපාරාජිකා පාලි වර්‍ණනාවෙහි කියූ නයින්ම දතයුතුය. හුදෙක්ම ඒ චතුර්‍ත්‍ථ පාරාජිකපාලි වර්‍ණනාවෙහි ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනෙමි’යි ආතන්හි මේ ශික්‍ෂාපදපාලියෙහි ‘මා විසින් නොදක්නා ලද්දේ දක්නා ලද්දේය කියා නම්, එහි චතුර්‍ත්‍ථපාරාජික පාලිවර්‍ණනාවෙහි ‘ඇවැත පාරාජිකා’යි කියූ තන්හි මේ ශික්‍ෂාපදයෙහි ඇවැත පාචිත්තිය’යි මෙසේ වස්තුමාත්‍රයෙහි හා ආපත්තිමාත්‍රයෙහිද විශේෂය වේ. සෙස්ස එකලක්‍ෂණමය.
“තීහාකාරෙහි දිට්ඨෙ වෙමතිකො” යනාදීන්ගේ අර්‍ත්‍ථයද “දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො දිට්ඨෙ වෙමතිකො’යි මේ ආදි දුට්ඨදොසපාලිවර්‍ණනාවෙහි කියූ නයින් දතයුතුය. පෙළ පමණක්ම මේ ශික්‍ෂාපදයෙහි වෙනසයි. අර්‍ත්‍ථයෙහි වනාහි ස්වකීය ථෙරවාදයෙහි කිසි වෙනස් බවෙක් නැත්තේය.
“සහසා භණති” නොවිමසා හෝ නොසලකා හෝ වේගයෙන් දක්නා ලද්දේ ද, ‘මා විසින් නොදක්නා ලද්දේය’යි කියයි. “අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණති” මුළා බැවින් ජඩ බැවින් පැකිළෙමින් චීවර’යි කිය යුත්තෙහි චීර’යි මේ ආදිය කියයි. යමෙක් වනාහි හෙරණකු විසින් ‘කිමෙක්ද, ස්වාමීනි’ මාගේ උපාද්ධ්‍යායයන් වහන්සේ දුටුවහුදැ’යි විචාරණා ලද්දේ සෙල්ලම් කරමින් ‘ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ දැවගුළක් යොදාගෙන එහි නැග ගියේ වන්නේය’යි කියා හෝ, කැනහිල් හඬක් අසා “ස්වාමීනි, මේ හඬ කවරකුගේදැ’යි විචාරණ ලද්දේ ‘ඔබගේ මව යානයකින් යන කල්හි මඩෙහි එරුණු ගැළ ගොඩට ගන්නවුන්ගේ මේ හඬය’යි හෝ මෙසේ නොම කෙළීම් වසයෙන්, නොරැවීම් වසයෙන් කියාද “සො ආපජ්ජති” හෙතෙමේ ඇවතට පැමිණේමය. අන්‍යවූ පුරාණකථාවක් මෙහි වේ. එක් මහණෙක් ගමෙහි තෙල් ටිකක් ලැබ විහාරයට ආයේ හෙරණක්හට ‘තෝ අද කොතැන ගියෙහිද, ගම එක්තෙල් ඇත්තෙක් වූයේ’යි හෝ පැසෙහි තැබූ පූකැබැල්ලක් දැක ‘අද ගමෙහි පැසිවලින් පූ එළවූහයි හෝ කියාද මෙය මුසාවාදයෙක්ම වේ. සෙස්ස ප්‍රකටමය.