වේහාසකුටි ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි “උපරිවෙහාසකුටියා” මතුතෙලෙහි පුවරු නොඅතුරනලද දෙමහල් කිළියක හෝ තෙමහල් කිළියක හෝ “මඤ්චං සහසා අභිනිසීදති” ඇඳ වේගයෙන් අභිභවනය කොට, යටපත් කොට හුන්නේය. මෙය සප්තමර්‍ත්‍ථයෙහි ද්විතීයා වචනයි. ඇඳෙහි හුන්නේය යන අර්‍ත්‍ථයි. අභි යන මෙය පද ශොභනය පිණිස වූ උපසර්‍ග මාත්‍රයෙක්මය. “නිප්පතිත්‍වා” වැටී. නික්ම හෝය. ඒ ඇඳෙහි මතුවෙහි ඇණයකුදු නොගසන ලද්දීය. එහෙයින් නික්මුනේ “විස්සරමකාසි” විරූපවූ බැගෑ හඬක් කෙළේය.
“වෙහාසකුටි නාම මජ්ඣිමස්ස පුරිසස්ස අසීසඝට්ටා” යම් කිළියක් තොමෝ පමණින් මද්ධ්‍යම පුරුෂක්හුගේ හිස සියල්ලට යටින් සිටි තලාන් හා නොගැටේද, යන මෙයින් මෙහි අදහස් කළ අහස්කිළිය දක්වන ලද්දී වේ. අහස්කිළි ලකුණු දක්වන ලද්දේ නොවේ. යම්කිසි මතු නොවැසූ තලය ඇති තෙමහල් කිළිය හෝ තෙමහල් ඈ කිළිය හෝ අහස් කිළියයි කියනු ලැබේ. මේ ශික්‍ෂාපදයෙහි වනාහි තලාන්හි හිස නොවදින කිළිය අදහස් කරන ලදී. අභිනිසීදනාදීන් අතුරෙහි පෙර කියු නයින්ම ප්‍රයොගවශයෙන් ආපත්තිභෙදය දතයුතුය.
“අවෙහාසකුටියා” බිම කරනලද පන්සල් ආදීන් කෙරෙහි ඇවැත් නොවේ. එහි අන්හට පීඩා කරන්නට නොහැක්කේය. “සීසඝට්ටාය” යම් කිළියක් තොමෝ හිස ගැටීම් ඇත්තීද, එහිදු ඇවැත් නොවේ. එහි යටපහයෙහි නොනැමුනහු විසින් හැසිරෙන්නට නොහැක්කේද, එහෙයින් නොහැසිරෙන තැන් බැවින් අන්හට පෙළීමක් නොවන්නේය. “හෙට්ඨා අපරිභොගං හොති” යම් කිළියක යට දැවසමූහාදීන් ලූ බැවින් පරිභොගයට නොයාද, එහිද ඇවැත් නොවේ. “පදරසඤ්චිතං හොති” යම් කිළියක මතුතලය දැවපුවරුවෙන් හෝ ඝනව අතුළේ වේද, සුණු ආදියෙන් පිරියම් කරන ලද්දේ හෝ වේද, එහිද ඇවැත් නොවේ. “පටාණි දින්නා හොති” ඇඳපුටුවල පාසිළුහි ඇණ ගසන ලද්දීවේද, යමක හුන්කල්හිත් නොවැටෙත්ද එබඳු ඇදපුටුවල හිඳින මහණහුටද ඇවැත් නොවේ. “තස්මිං ඨිතො” පාසිළු විද ඇණ නොගැසූ ඇඳක හෝ පුටුවක හෝ සිටියේ මතු බිත්තියෙහි ගැසූ නාදත් ආදියෙහි එල්ලූ සිවුරක් හෝ අන් කිසිවක් හෝ ගණී හෝ අනිකක් එල්වා හෝ එසේ කරන මහණහුටද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. කයින්ද කායචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
අටවන වෙහාසකුටි ශික්‍ෂාපදයයි.
මහල්ලක විහාර ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි “යාව ද්වාරකොසා” මෙහි ද්වාරකොස නම්, දොරබාවට වටින් කවුළුවෙහි පුළුල පමණවූ අවකාශයයි. මහාපච්චරියෙහි වනාහි දොරබාව පටන් එක්රියන් හමාරෙකැයි කියන ලදී. කුරුන්‍දියෙහි වනාහි දොර දෙපස කවුළුව පමණයයි කියනලදී. මහාර්‍ත්‍ථකථාවෙහි කවුළුව නම් එක්රියන් හමාරෙක්ද වේ. දෙරියනෙක්ද වේ, දෙරියන් හමාරෙක්ද වේය’යි කියන ලදි. ඒ කියන ලද්ද මැනැවි. ඒ සඳහාම භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දොරබාවගේ වටිනා අත්පසිනැ’යි මේ උත්කෘෂ්ටනිර්‍දෙශය කරන ලදි. “අග්ගලට්ඨපනාය” දොරකවුළු සහිත අක්දෙරිය තැබීම පිණිස. කවුළු සහිත අක්දෙරිය නොසැලෙනු පිණිසයය යන අර්‍ත්‍ථයි. “ද්වාරට්ඨපනාය” මේ පදභාජනයද මේ අර්‍ත්‍ථය සඳහාම වදාරනලදී. මේ වනාහි මෙහි අදහසය: කවුළුව වනාහි ලුහුව පෙරළෙන්නේය. අරිනකල්හි බිත්තිය පෙළන්නේය. වසන කල්හි අක්දෙරිය පෙළන්නේය. ඒ හැපීමෙන් පෙළීමෙන් බිත්තිය දෙදරන්නීය. එයින් මැටි සැලී යයි. සැලීමෙන් බුරුල් හෝ වේ. වැටීම හෝ වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය’යි වදාළ සේක. එහි කිසිසේත් ‘මේ නම් කටයුතුය’යි මාතෘකාවෙහි නොම වදාරන ලදී. පදභාජනයෙහි නොවදාරන ලදී. අර්‍ත්‍ථොත්පත්තියෙහි වනාහි “පුනප්පුනං ඡන්‍දාපෙසි හුනප්පුනං ලිම්පාපෙසි”යි අධිකාර වශයෙන් දොරබාව දක්වා අගුල් කණුව නැවතීම පිණිස නැවැත නැවැත ලෙපය කටයුත්තේය. ලෙපය කරවිය යුත්තේය’යි මෙසේ අර්‍ත්‍ථය දතයුත්තේය.
පදභාජනයෙහි “පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා හත්‍ථපාසා” යමක් වදාරන ලදද, එහි යම් විහාරයක මැද දොර වේද, මතු කොටසෙහි උස් බිත්තිය වේද, ඒ විහාරයෙහි තුන් දිසාවන්හි හාත්පසින් අත්පසින් උපචාරය වේ. කුඩා විහාරයෙක දෙදිසාවන්හි උපචාරය වේ. එහිද යම් කවුළුවක් හරිනු ලබන්නේ බිත්තිය පෙළාද, ඒ බිත්තිය හාත්පසින් කවුළුවෙහි පුළුල් පමණින් උපචාර රහිත හෙයින් නොපිරිපුන් උපචාර ඇත්තී වන්නීය. උත්කෘෂ්ටපරිච්ඡෙදයෙන් වනාහි තෙදිසාවන්හි හාත්පසින් අත්පසන් දොර නිසල කරනු පිණිස ලෙපය අනුදන්නා ලදී. ඉදින් දොර යට කොටසෙහි ලෙපයට අවකාශයෙක් ඇත්තේද, එයද ආලෙප කිරීම වටියි. “ආලොකසන්‍ධිපරික්කම්මාය” යන මෙහි ආලොකසන්‍ධි යනු ජනෙල්කවුළු කියනු ලැබෙත්. ඒ ජනෙල් කවුළු හරින කාලයෙහි වියතක් පමණද, එයට වැඩිවුද බිතුපෙදෙස පහරත් මෙහි උපචාරය වනාහි සියලු දිසාවන්හි ලැබේ. එහෙයින් සියලු දිසාවන්හි කවුළුවෙහි පුළුල් පමණවූ අවකාශය ජනෙල් කවුළු පිරියම් පිණිස ආලෙප කටයුත්තේ හෝය. ආලෙප කරවිය යුත්තේ හෝයි, මෙහි මේ අදහස වේ.