නික්කඩ්ඪන ශික්ෂාපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි “එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති” සිවුමහල් පස්මහල් ඇති යම් ප්රාසාදයෝ වෙත්ද, හයක් හතක් දොර කොට ඇති චතුස්සාලාවෝ වෙත්ද, එබඳු සඞ්ඝික සෙනාසනයන්හි අත් හේ ග්රීවය හෝ ගෙණ අතර නොතබමින් එක් ප්රයොගයකින් ඉක්මවාද එක්ම පාචිත්තියෙක් වේ. තබ තබා නොයෙක් ප්රයොගයෙන් ඉක්මවන මහණහුට දොර ගණනින් පාචිත්තියයෝ වෙත්. අතින් ආමර්ෂණය නොකොට නික්මෙවයි. කියා වචනයෙන් නික්මවන මහණහුටද මෙම නය වේ.
“අඤ්ඤං ආණාපෙති” යන මෙහි ‘මොහු නික්මව’යි ඇණවූ මාත්රයෙක්හි දුක්කටය වේ. ඉදින් ඇණවුම්ලද හෙතෙමේ වරක් අණවන ලදුයේ බොහෝ වූ ද්වාරයන් ඉක්මවාද, එක් පාචිත්තියක් වේ. මෙපමණ දොර නික්මවයි හෝ, මහදොර තෙක් නික්මවාලව’යි හෝ මෙසේ නියම කොට අණවන ලද්දේ වේද, දොර ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්.
“තස්ස පරික්ඛාරං” ඔහු සතු වූ පා සිවුරු පෙරහන් ඩබරා ඇඳපුටු බිසි කොට්ට ආදී භෙද ඇති යම් කිසි පිරිකරක් යටත් පිරිසෙයින් පඬුපතුරුද යම් මහණෙක් බැහැර කරා නම් හෝ බැහැර කරවා නම් හෝ ඒ මහණහුට වස්තු ගණනින් දුක්කට වෙත්. දැඩිකොට බැඳ තැබූ පරිෂ්කාරයන්හි වනාහි එක්ම ඇවැතක් වේයයි මහාපච්චරියෙහි කියනලදී.
“අඤ්ඤස්ස පුග්ගලිකෙ” මෙහිද විශ්වාසිකයන්ගේ පෞද්ගලික පරිෂ්කාරය තමන්ගේ පෞද්ගලිකය සමානම වේ. මේ ශික්ෂාපදයෙහි යම්සේද සියලු තන්හි එසේය. යම් තැනක වෙනසක් වන්නේද, එහි එය කියන්නෙමු.
“අලජ්ජිං නික්කඩ්ඪති වා” යනාදි තන්හි ඩබර කරන්නහු කලහ කරන්නහුම සියලු සඞ්ඝාරාමයෙන් පිටකරන්නට ලබන්නේය. හෙතෙමේ පක්ෂයක් ලබා සඞ්ඝයාද බිඳින්නේය. අලජ්ජී ආදීහු තමන්ගේ වාසස්ථානයෙන්ම පිටකළ යුතුය. සියලු සඞ්ඝාරාමයෙන් ඔවුන් නෙරපීම නොවටියි. ‘උම්මත්තකස්ස’ තමන් උමතුවූවහුට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සත්වන නික්කඩ්ඪන ශික්ෂාපදයයි
වේහාසකුටි ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි “උපරිවෙහාසකුටියා” මතුතෙලෙහි පුවරු නොඅතුරනලද දෙමහල් කිළියක හෝ තෙමහල් කිළියක හෝ “මඤ්චං සහසා අභිනිසීදති” ඇඳ වේගයෙන් අභිභවනය කොට, යටපත් කොට හුන්නේය. මෙය සප්තමර්ත්ථයෙහි ද්විතීයා වචනයි. ඇඳෙහි හුන්නේය යන අර්ත්ථයි. අභි යන මෙය පද ශොභනය පිණිස වූ උපසර්ග මාත්රයෙක්මය. “නිප්පතිත්වා” වැටී. නික්ම හෝය. ඒ ඇඳෙහි මතුවෙහි ඇණයකුදු නොගසන ලද්දීය. එහෙයින් නික්මුනේ “විස්සරමකාසි” විරූපවූ බැගෑ හඬක් කෙළේය.
“වෙහාසකුටි නාම මජ්ඣිමස්ස පුරිසස්ස අසීසඝට්ටා” යම් කිළියක් තොමෝ පමණින් මද්ධ්යම පුරුෂක්හුගේ හිස සියල්ලට යටින් සිටි තලාන් හා නොගැටේද, යන මෙයින් මෙහි අදහස් කළ අහස්කිළිය දක්වන ලද්දී වේ. අහස්කිළි ලකුණු දක්වන ලද්දේ නොවේ. යම්කිසි මතු නොවැසූ තලය ඇති තෙමහල් කිළිය හෝ තෙමහල් ඈ කිළිය හෝ අහස් කිළියයි කියනු ලැබේ. මේ ශික්ෂාපදයෙහි වනාහි තලාන්හි හිස නොවදින කිළිය අදහස් කරන ලදී. අභිනිසීදනාදීන් අතුරෙහි පෙර කියු නයින්ම ප්රයොගවශයෙන් ආපත්තිභෙදය දතයුතුය.
“අවෙහාසකුටියා” බිම කරනලද පන්සල් ආදීන් කෙරෙහි ඇවැත් නොවේ. එහි අන්හට පීඩා කරන්නට නොහැක්කේය. “සීසඝට්ටාය” යම් කිළියක් තොමෝ හිස ගැටීම් ඇත්තීද, එහිදු ඇවැත් නොවේ. එහි යටපහයෙහි නොනැමුනහු විසින් හැසිරෙන්නට නොහැක්කේද, එහෙයින් නොහැසිරෙන තැන් බැවින් අන්හට පෙළීමක් නොවන්නේය. “හෙට්ඨා අපරිභොගං හොති” යම් කිළියක යට දැවසමූහාදීන් ලූ බැවින් පරිභොගයට නොයාද, එහිද ඇවැත් නොවේ. “පදරසඤ්චිතං හොති” යම් කිළියක මතුතලය දැවපුවරුවෙන් හෝ ඝනව අතුළේ වේද, සුණු ආදියෙන් පිරියම් කරන ලද්දේ හෝ වේද, එහිද ඇවැත් නොවේ. “පටාණි දින්නා හොති” ඇඳපුටුවල පාසිළුහි ඇණ ගසන ලද්දීවේද, යමක හුන්කල්හිත් නොවැටෙත්ද එබඳු ඇදපුටුවල හිඳින මහණහුටද ඇවැත් නොවේ. “තස්මිං ඨිතො” පාසිළු විද ඇණ නොගැසූ ඇඳක හෝ පුටුවක හෝ සිටියේ මතු බිත්තියෙහි ගැසූ නාදත් ආදියෙහි එල්ලූ සිවුරක් හෝ අන් කිසිවක් හෝ ගණී හෝ අනිකක් එල්වා හෝ එසේ කරන මහණහුටද ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. එළකලොම සමුත්ථානිකය. කයින්ද කායචිත්තයෙන්ද උපදී. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.