අනුපඛජ්ජ ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි “පළිබුද්ධන්ති” ඉතා පළමුව ගොස් පාසිවුරුගෙණ අවුරා සිටිත්. “ථෙරෙ භික්‍ඛූ වුට්ඨාපෙන්ති” ඇවැත්නි’ අපට පැමිණේය’යි වස්ගණනින් ගෙණ ස්ථවිර භික්‍ෂූන් නැගිටුවත්. “අනුපඛජ්ජ සෙය්‍යං කප්පෙන්ති” ‘ස්වාමීනි’ ඔබවහන්සේට මඤ්චස්ථානයට පැමිණේ. සියලු විහාරය නොපැමිණේ. දැන් මෙතැන අපට පැමිණේයයි වැද ඇඳපුටු පනවා හිඳීමද කෙරෙත්. නිදීම ද කෙරෙත්. හැදෑරීමද කෙරෙත්.
“ජාන” ‘මෙතෙමේ නොනැගිටවිය යුතුය’යි දන්නේ. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ විභඞ්ගයෙහි “ඛුඩ්ඪො ජානාති” යනාදිය වදාරන ලද්දේය. වෘද්ධතෙමේ වනාහි තමන් වෘද්ධ බැවින් නොනැගිටවිය යුතුය. ගිලන් තෙමේ ගිලන් බැවින් නොනැගිටවිය යුතුය. සඞ්ඝ තෙමේ වනාහි භාණ්ඩාගාරික භික්‍ෂූහුගේ හෝ ධර්‍මකථික විනයධරාදීන්ගේ හෝ ගණවාචක ආචාර්‍ය්‍යයාගේ හෝ බොහෝ උපකාර ඇතිබවද ගුණ විශිෂ්ට බවද සලකමින් නිත්‍යවාසය පිණිස විහාරයක් සම්මත කොට දෙන්නේය. එහෙයින් යම් මහණක්හට සඞ්ඝයා විසින් දෙන ලද්දේ ද, හෙතෙමේද නොනැගිට වියයුතුය. මෙහිද එකාන්තයෙන් ගිලනහුටද සඞ්ඝතෙමේම සුදුසු සෙනසුනක් දෙන්නේය. ගිලන් තෙමේ වනාහි අපලොකනය කොට සඞ්ඝයා විසින් නොදුන් සෙනසුන් ඇත්තේද, නොපෙළිය යුත්තේය. අනුකම්පා කටයුතුයයි දක්වන්නට වෙන්ව කියන ලද්දේය.
“උපචාරෙ” යන මෙහි මඤ්චපීඨයන් පිළිබඳ මහල්ලක විහාරයෙහි වටින් එක්රියන් හමාරෙක් උපචාරය වේ. ඛුද්දක විහාරයෙහි යම් තැනකින් පොහොනේද එතැනින් එක්රියන් හමාරෙක් උපචාරය වේ. පා දොවා ඇතුල් වන්නහුගේද, මුත්‍ර කිරීම පිණිස නික්මෙන්නහුගේද දොර තබන ලද පා දෝනා ගලපටන්ද මුත්‍ර කරන ස්ථානය පටන්ද, යම්තාක් ඇඳපුටු වේද, ඒතාක් එක්රියන් හමාරක් පළල් වූ මාර්‍ගය උපචාර නම් වේ. එහි ඇඳක හෝ පුටුවක හෝ උපචාරයෙහි සිටියාවූ හෝ ඇතුල් වන්නාවූ හෝ නික්මෙන්නාවූ හෝ මහණහුගේ උපචාරයෙහි යම් මහණෙක් සමීපයට පිවිස ශයනය කරනු කැමැත්තේ දශවිධ ශය්‍යාවෙන් අතුරෙහි එක් ශය්‍යාවක් අතුරා හෝ අතුරවා හෝ දුක්කටාපත්තිය වේ.
“අභිනිසීදති වා අභිනිපජ්ජති වා” මෙහි හිඳීම් පමණකින් හෝ නිදීම් පමණකින් හෝ පාචිත්තිය වේ. ඉදින් දෙකම කෙරේ නම් පාචිත්තිය දෙකක් වේ. නැගිට නැගිට හිඳින්නහුට හෝ නිදන්නහුට හෝ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ.
“උපචාරං ඨපෙත්‍වා සෙය්‍යං සන්‍ථරති වා සන්‍ථරාපෙති වා” යන මෙහිද මෙයින් මතුවෙහිද “විහාරස්ස උපචාරෙ” යනාදි වූ දුක්කට වාරයෙහි ද යම්සේ මේ ශික්‍ෂාවෙහි හිඳිම් පමණෙක්හි නිදීම් පමණෙක්හි මෙදෙක කිරීමෙහි ප්‍රයොග භෙදයෙහි ද පාචිත්තිය ප්‍රභෙදය කියන ලද්දේ ද, එසේ දුක්කටාදිප්‍රභෙද’ය දතයුතුය. යම්හෙයකින් මෙබඳු වූ විසභාගපුද්ගලයකු සමග එක් වෙහෙරක හෝ එක් පිරිවෙණක හෝ විසීමෙන් අර්‍ත්‍ථයෙක් නැත්තේද, එහෙයින් හැම තැන්හිම මොහුගේ විසීම වළක්වන ලද්දේය. “අඤ්ඤස්ස පුග්ගලිකෙ” යන මෙහිද විශ්වාසිකයාගේ පෞද්ගලිකය තමන්ගේ පෞද්ගලිකය සමානම වේ. එහි ඇවැත් නොවේ.
“ආපදාසු” ඉදින් පිටත වසන්නහුගේ ජීවිතයට හා බ්‍රහ්මචර්‍ය්‍යට අනතුරු වේද, මෙබඳු ආපදාවන්හි යම මහණෙක් තෙමේ පිවිසේද ඒ මහණහුටද ඇවත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජිකසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සවැනිවූ අනුපඛජ්ජශික්‍ෂාපදයයි
නික්කඩ්ඪන ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි “එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති” සිවුමහල් පස්මහල් ඇති යම් ප්‍රාසාදයෝ වෙත්ද, හයක් හතක් දොර කොට ඇති චතුස්සාලාවෝ වෙත්ද, එබඳු සඞ්ඝික සෙනාසනයන්හි අත් හේ ග්‍රීවය හෝ ගෙණ අතර නොතබමින් එක් ප්‍රයොගයකින් ඉක්මවාද එක්ම පාචිත්තියෙක් වේ. තබ තබා නොයෙක් ප්‍රයොගයෙන් ඉක්මවන මහණහුට දොර ගණනින් පාචිත්තියයෝ වෙත්. අතින් ආමර්‍ෂණය නොකොට නික්මෙවයි. කියා වචනයෙන් නික්මවන මහණහුටද මෙම නය වේ.
“අඤ්ඤං ආණාපෙති” යන මෙහි ‘මොහු නික්මව’යි ඇණවූ මාත්‍රයෙක්හි දුක්කටය වේ. ඉදින් ඇණවුම්ලද හෙතෙමේ වරක් අණවන ලදුයේ බොහෝ වූ ද්වාරයන් ඉක්මවාද, එක් පාචිත්තියක් වේ. මෙපමණ දොර නික්මවයි හෝ, මහදොර තෙක් නික්මවාලව’යි හෝ මෙසේ නියම කොට අණවන ලද්දේ වේද, දොර ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්.
“තස්ස පරික්‍ඛාරං” ඔහු සතු වූ පා සිවුරු පෙරහන් ඩබරා ඇඳපුටු බිසි කොට්ට ආදී භෙද ඇති යම් කිසි පිරිකරක් යටත් පිරිසෙයින් පඬුපතුරුද යම් මහණෙක් බැහැර කරා නම් හෝ බැහැර කරවා නම් හෝ ඒ මහණහුට වස්තු ගණනින් දුක්කට වෙත්. දැඩිකොට බැඳ තැබූ පරිෂ්කාරයන්හි වනාහි එක්ම ඇවැතක් වේයයි මහාපච්චරියෙහි කියනලදී.