දුතිය සේනාසන ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය සෙනාසන ශික්‍ෂාපදයෙහි “භිසිං” ඇඳ බිස්සක් හෝය පුටු බිස්සක් හෝය. චිමිලිකාදීහු ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූ ආකාර ඇත්තාහුම වෙති. “නිසීදනං” දා සහිත නිසීදනය දතයුතුය. “පච්චත්‍ථරණං” පොරෝනා රෙද්ද හා මහාකොඳු පලසයයි අර්‍ත්‍ථකථාවන්හි මෙපමණෙක්ම කියනලදී. “තිණසත්‍ථාරො” යම් කිසි තෘණයකින් කරනලද ඇතිරියය. පර්‍ණසන්‍ථාරයෙහිද මේ නය වේ. “පරික්‍ඛෙපං අතික්කමන්තස්ස” මෙහි සඞ්ඝික විහාරයෙහි භිසි ආදියක් පනවා තමා නොඋදුරා හෝ අනිකකු ලවා නොඋදුරවා හෝ නොවිචාරා පළමු පය ඉක්මවන මහණහුට දුක්කටය වේ. දෙවන පය ඉක්මීම නිමිති කොට පාචිත්තිය වේ. වට නොකළ සෙනසුනෙහි උපචාරය නම් කෙළවර තුබූ සෙනසුනෙන් ලෙඩ්ඩුපාත දෙකෙකි.
“අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය” මෙහි මහණකු ඇති කල්හි මහණතෙමේ විචාළ යුතුය. ඒ මහණකු නැති කල්හි සාමණෙරයෙක් විචාළ යුතුය. සාමණෙරයකු නැති කල්හි ආරාමිකයෙක් විචාළ යුතුය. ආරාමිකයකුද නැති කල්හි යමකු විසින් විහාරය කරවන ලද්දේ ද, ඒ විහාරස්වාමි තෙමේ හෝ ඔහුගේ කුලයෙහි යම්කිසි නෑයෙක් හෝ විචාළ යුතුය. ඔහුද නැතිකල්හි ගල් සතරක් මතුවෙහි ඇඳ තබා ඒ ඇඳෙහි සෙසු ඇඳ පුටු නංවා මතුවෙහි බිසි ආදීවූ දස වැදෑරුම් ශය්‍යාවන් රැස්කොට දැවබඩු හා මැටිබඩු තැන්පත්කොට දොරජනෙල් පියා ගමිකවත පුරා යා යුතුය. ඉදින් සෙනසුන තෙමේ නම් සෙවිලි කිරීම පිණිස තණ හෝ උළු හෝ ගෙනෙන ලද්දේ නම් සෙවිලි කිරීමට හැකිවේනම් සෙවිලි කළ යුතුය. නොහැක්කේ නම් නොතෙමෙන යම් අවකාශයෙක් වේ නම් එහි ඇඳපුටු ආදිය තබා යායුතුය. සියලු තැන තෙමේ නම් හැකිවන්නහු විසින් ගම තුල උපාසකයන්ගේ ගෙයි තැබිය යුතුය. ඒ උපාසකයෝද ‘ස්වාමීනි’ සඞ්ඝිකය නම් බරය. අග්නිදාහාදීන්ට බියවෙමු’යි නොපිළිගණිත්ද, එළිමහනෙහිද ගල් මතුවෙහි ඇද තබා සෙස්ස පෙර කියූ නයින් තබා තණවලින් හා කොළවලින් වසා එහි යම් අවයව මාත්‍රයක් නමුදු ඉතිරිවේද එය එහි පැමිණි අන් මහණුන්ට උපකාර වන්නේයයි යෑම වටියි.
“විහාරස්ස උපචාරෙ” යනාදි තන්හි විහාරොපචාරය නම් එක් එක් විහාරයෙහි පවුර ඇතුළ පිරිවෙණය. “උපට්ඨානසාලා” පිරිවෙන් බොජුන්හල. “මණ්ඩපො” පිරිවෙන් මඩුව. “රුක්‍ඛමූලං” පිරිවෙන් රුක්මුල. මේ නය වනාහි කුරුන්‍දාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. තවද “විහාරො” යනු ඇතුළුගැබ හෝ අන්‍යවූ සියල්ල වැසුනු ගුප්තසෙනාසනය හෝයි දතයුතුය. “විහාරස්ස උපචාරෙ” ඒ විහාරයෙහි පිටත ලංවූ අවකාශයෙහිය. “උපට්ඨානසාලාය වා” බොජුන් හලෙහි හෝ. “මණ්ඩපෙවා” නොපිරිසිඳින ලද්දා වූ හෝ පිරිසිඳින ලද්දා වූ හෝ බොහෝ දෙන රැස්වන මඩුවෙහි. රුක්මුලෙහි විශෙෂ වශයෙන් කියයුත්තෙක් නැත්තේයි කියනලදී. “ආපත්ති දුක්කටස්ස” කියූ ආකාරවූම දසවැදෑරුම් ශය්‍යාව ඇතුළුගැබ් ආදියෙහි ගුප්තස්ථානයෙක්හි පනවා තබා යන මහණහුට යම්හෙයකින් ශය්‍යාවත් සෙනාසනයත් වේයන් විසින් නසනු ලැබේ, තුඹස් රැසක්ම වේද, එහෙයින් පාචිත්තිය වදාරන ලදී. පිටත වනාහි උපස්ථාන ශාලාදියෙහි පනවා යන මහණහුට ශය්‍යාව පමණක්ම ස්ථානය අගුප්ත බැවින් නස්නේද, සෙනසුන නොනස්නේද, එහෙයින් මෙහි දුක්කටය වදාරන ලදී. “මඤ්චං වා පීඨං වා” යන මෙහි යම්හෙයකින් ඇඳපුටු වහා වේයන් විසින් කන්නට නොහැක්කේද, එහෙයින් ඒ ඇඳපුටු විහාරයෙහිද අතුරා යන මහණහුට දුක්කටය වදාරන ලදී. විහාරොපචාරයෙහි විහාර චාරිකාවෙහි ඇවිදින්නෝද, ඒ සෙනසුන දැක තැන්පත් කරන්නාහුය.
“උද්ධරිත්‍වා ගච්ඡති” යන මෙහි උදුරා තබා යන්නහු විසින් සියලු ඇඳපුටු කවුළුවෙන් බැහැර කොට එක්කොට සිවුරලන හුණෙහි එල්වා යායුතුය. පසුව අවුත් වසන මහණහු විසින්ද, නැවත ඇඳපුටු පනවා එහි නිදා හිද යන්නහු එසේම කළ යුතුය. බිත්තියෙන් ඇතුළත ශය්‍යාව බිත්තියෙන් පිටත පනවා වසන්නහු විසින් යන කල්හි ගත් තැනම තැන්පත් කළයුතුය. පහය මත්තෙන් බහා පහය යට වසන මහණහටද මෙම නයවේ. රාත්‍රිස්ථාන දිවා ස්ථානයන්හි ඇඳපුටු පනවා යන කල්හි නැවැත ගත්තැනම තැබිය යුතුය.
“ආපුච්ඡිත්‍වා ගච්ඡති” යන මෙහි මේ ආපුච්ඡා කටයුතු ආපුච්ඡා නොකටයුතු විනිශ්චයයි. ඒතාක් බිම යම් දිග්සාලාවක් හෝ පන්සලක් හෝ වේද, රුක්ටැඹෙක්හි කළ යම් ගෙයක් හෝ වේයන් නගින තැනක් වේද, එතැනින් යන්නහු විසින් ඒතාක් ආපුච්ඡා කොටම යායුතුය. එද කිහිප දවසක් පිළිදැගුම් නොකරන කල්හි තුඹස්හුම නැගී සිටිත්ද, එහෙයිනි. ගල්පිට හෝ ගල්ටැම්හි හෝ කරනලද යම් සෙනසුනක්, පර්‍වතගුහාවක් හෝ වේද, සුණු පිළියම් කළ සෙනසුනක් හෝ වේද, යම් තැනක වේයන් නගිනු ඇතැයි සැකයෙක් නැත්තේද, එයින් බැහැර යන මහණහුට ආපුච්ඡා කොටද ආපුච්ඡා නොකොටද යෑම වටියි. ආපුච්ඡා නම් වතයි. ඉදින් එබදු සෙනසුනෙහිද එක් පසෙකින් වේයෝ නගිත්ද, ආපුච්ඡා කොටම යායුතුය. යම් ආගන්තුක මහණෙක් සඞ්ඝික සෙනසුනක් ගෙණ වසන මහණහුට අනුව පවතිනුයේ තමන්ට සෙනසුන නොගෙණ වෙසේද, යම්තාක් හෙතෙමේ නොගනීද, ඒතාක් ඒ සෙනසුන පළමු මහණහුටම පළිබොධය වේ. යම්කලෙක ඒ මහණ තෙමේ සෙනසුන ගෙණ තමන්ගේ ඓශ්චර්‍ය්‍යයෙන් වෙසේද, එතැන් පටන් ආගන්තුක මහණහුටම පළිබොධය වේ. ඉදින් දෙදෙනම බෙදා ගණිත්ද දෙදෙනාහටම පළිබොධය වේ. මහාපච්චරියෙහි වනාහි කියනලදී. ඉදින් දෙතුන් දෙන එකතුව පනවත්ද යන කල්හි සියල්ලන් විසින් ආපුච්ඡා කටයුතුය. ඔවුන් අතුරෙහි පළමුකොට යනුයේ ‘පැසුළු මහණතෙමේ පොෂණය කරන්නේය’යි කල්පනාකොට යේ නම් වටියි. පශ්චිමයාගේ කල්පනාවෙන් මිදීමක් නැත්තේය. බොහෝ මහණෝ එකකු යවා අතුරුවත්ද, යන කල්හි සියල්ලන් විසින්ම ආපුච්ඡා කටයුතුය. එකකු යවා හෝ විචාළ යුතුය. අන් තැනකින් ඇඳපුටු ආදිය ගෙණ අවුත් අන් තැනක වැසද, යන කල්හි එහිම ගෙන යායුතුය. අන් තැනකින් ගෙණ අවුත් වසන කල්හි අන් ඉතා මහලු මහණෙක් ඒද, පිටමං නොකොට යුතුය. “ස්වාමීනි’ මා විසින් අනික් ආවාසයකින් ගෙන එන ලද්දේය. ප්‍රකෘතිමත් කළ මැනවැ’යි කිය යුතුය. ඔහු විසින් ‘මෙසේ කරන්නෙමි’යි පිළිගත් කල්හි අනික් මහණහුට යෑම වටියි. මෙසේ අනික් තැනක ගෙණ ගොස්ද සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කරන මහණහුට ඇසුනේ හෝ දිරුයේ හෝ සොරුන් විසින් හෝ ගන්නා ලද්දේ වේද, නය නොවේ පෞද්ගලික පරිභොගයෙන් පරිභොග කරන්නහුට වනාහි නය වේ. අන් මහණක්හුගේ ඇඳපුටු වනාහි සඞ්ඝිකපරිභොගයෙන් හෝ පෞද්ගලික පරිභොගයෙන් හෝ පරිභොග කරන්නහුට නැසුනේ නයවේමය.