උජ්ඣාපන ශික්ෂාපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “දබ්බං මල්ලපුත්තං භික්ඛු උජ්ඣාපෙන්ති” ‘ඡන්දය දබ්බො මල්ලපුත්තො’ යනාදිය කියන්නෝ ඒ ආයුෂ්මත්හට ඒ භික්ෂූන් ලවා අවමන් කරවත්. අවඥාවෙන් බලවත්. ලාමක වසයෙන් හෝ සිතවත් යන අර්ත්ථයි. මෙහි ලක්ෂණය ශබ්දශාස්ත්රානුසාරයෙන් දතයුතුය. ‘ඔජ්ඣාපෙන්ති’යි ද පාඨයෙක් වේ. මේ අර්ත්ථමය. “ඡන්දාය” ඡන්දයෙන්. පක්ෂපාතයෙන් තමතමන්ගේ සන්දිට්ඨ සම්භත්ත මිත්රයන්ට ප්රණීත ප්රණීතයන් පනවා යන අදහස වේ. “ඛීයන්ති” ‘ඡන්දාය දබ්බො මල්ලපුත්තො’ යනාදිය කියමින් ප්රකාශ කෙරෙත්.
“උජ්ඣාපනකෙ ඛීයනකෙ පාචිත්තියං” මෙහි යම් වචනයකින් ලාමක කොට සිතවත්ද, ඒ ‘උජ්ඣාපනක’ නම. යම් වචනයකින් නුගුණ කියත්ද, ඒ ‘ඛීයනක’ නම. ඒ ලාමක කොට සිතවීමද, නුගුණ කීමද නිමිති කොට, ‘පාචිත්තියං’ වස්තු දෙකනිමිති කොට පාචිත්තිය දෙකක් වදාරන ලදී.
“උජ්ඣාපනකං නාම උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං සෙනාසනපඤ්ඤාපකං වා -පෙ- අප්පමත්තතවිස්සජ්ජකං වා” යන මේ පද “මඞ්කුං කත්තුකාමො” යන මේ හා සම්බන්ධ වේ. “අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො” යන මොවුන්ගේ වසයෙන් “උපසම්පන්නං” යනාදි තන්හි “උපසම්පන්නස්ස”යි විභක්ති විපර්ය්යාසය කටයුතුය. “උජ්ඣාපෙති වා ඛීයති වා ආපත්ති පාචිත්තියස්ස” යන මෙහි යම්හෙයකින් ‘ඛීයනකං නාම’යි මාතෘකාපදය උදුරාද, ‘උජ්ඣාපනකං නාම’ යන මේ පදය පිළිබද වදාළ විභඞ්ගයම කියයුත්තේ වේ. අඤ්ඤවාදකශික්ෂාපදයෙහි මෙන් අනික් වෙහෙසක් නැත්තේය. එහෙයින් එය වෙන්කොට නොඋදුරා විභාග නොකොටම නිගමනයම එක්ව කරන ලද්දේයයි දතයුතුය. “ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යනාදිතන්හි ඒ උපසම්පන්නයක්හට යම් සම්මුතිකර්මයක් කරන ලදද, ඉදින් ඒ සම්මුති කර්මය ධර්මකර්ම වේද, ඒ මහණතෙමේද, එහි ධර්මකර්මැයි හැඟීම් ඇත්තේ ලාමක කොට සිතවීමද නුගුණ පහළ කිරීමද කෙරේනම්, නැවැත මොහුට ඒ ලාමකකොට සිතවීම නිමිතිකොටද නුගුණ පහළ කිරීමද නිමිතිකොටද පාචිත්තියාපත්තිය වන්නීයයි. මේ නයින් අර්ත්ථ දතයුතුය.
“අනුපසම්පන්නං උජ්ඣාපෙති වා ඛීයති වා” යන මෙහි සඞ්ඝයා විසින් සම්මත කරන ලද උපසම්පන්නයක්හට අනික් අනුපසම්පන්නයකු ලවා ලාමකකොට සිතවවයි. අවමන් කරවයි. ඒ අනුපසම්පන්නයාගේ හෝ සමීපයෙහි ඒ උපසම්පන්නයාගේ නුගුණ ප්රකාශ කෙරේ යන අර්ත්ථයි. “උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං” කර්මවාක්යයෙන් සම්මත නොකරනලද හුදෙක් ‘තම මේ භාරයයි සඞ්ඝයා විසින් නගන ලද භාරය ඇති මහණුන්ගේ පහසු විහරණය පිණිස තමන්ම ඒ භාරය උසුලන යම් තැනෙක හෝ මහණහු දෙතුන් නමක් වෙසෙත්ද, එහි හෝ එබඳු කර්ම කරන්නා වූ යන අදහස වේ. “අනුපසම්පන්නං සඞ්ඝෙන සම්මතං වා අසම්මතං වා” යන මෙහි අනුපසම්පන්නයක්හට තෙරසසම්මුති දීම කිසිසේත් නොවටියි. එහෙත් උපසපන් කාලයෙහි ලද සම්මුති ඇත්තේ පසුව අනුපසම්පන්නභාවයෙහි සිටියේද, ඒ සඳහා ‘සඞ්ඝෙන සම්මතං වා’ යනු වදාළ සේක. යම් ව්යක්ත ශ්රාමණෙරයක්හට හුදෙක් සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දා වූ හෝ මහණක්හු විසින් ‘තෝ මේ කර්මය කරව’යි භාර කරන ලද්දේ ද, එබඳු හෙරණහු සඳහා ‘අසම්මතං වා’යි වදාරන ලදී. මෙහි සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදි. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි, වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෘතීය උජ්ඣාපන ශික්ෂාපදයයි.
පඨමසේනාසන ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි “හෙමන්තිකෙ කාලෙ” හෙමන්ත කාලයෙහි. හිම වැටෙන කාලයෙහි “කායං ඔතාපෙන්තා” ඇඳපුටු ආදියෙහි හුන්නාහු ලහිරු රැසින් කය තවන්නාහු. “කාලෙ ආරොචිතෙ” කැඳබත් ඈ අතුරෙහි යම්කිසිවක් පිණිස කල් දැන්වූ කල්හි. “ඔවට්ඨං හොති” හිම වැස්සෙන් තෙමුනේ තෙත් වූයේ වේ.
“අවස්සික සඞ්කෙතෙ” වැසි ලකුණු නැති, වැසි නැත්තාවූ. වස්සානමාසැයි මෙසේ නොපැනවූ හිමවැටෙන සිවු මසය, ග්රීෂ්මසහිත සිවුමසය යන අට මස්හිය යන අර්ත්ථයි. “මණ්ඩපෙවා” අතු මඩුවෙහි හෝ පුවරුමඩුවෙහි හෝ. “රුක්ඛමූලෙ” යම් කිසි ගසක් යට. “යත්ථ කාකා වා කුලලා දා න ඌහදන්ති” යම් තැනක නිත්යාවාසහෙතුවෙන් කැදලි කොට වසන්නාවූ මේ කවුඩන් හා උකුස්සෝ හෝ ඉන් අන්ය පක්ෂීහු හෝ ඒ සෙනසුන මල නොගවසත්ද, එබඳු රුක්මුලෙහි යට කියූ අටමස්හි තබන්නට අනුදනිමි. එහෙයින් යම් තැනක ගොදුරෙහි යෙදුනු පක්ෂීහු විඩා හැර යෙත්ද, ඒ රුක්මුල සෙනසුන තැබීම නිවැරදිය. යම් තැනක නිත්යවාසහෙතුවෙන් කැදලි කොට වසත්ද, ඒ රුක්මුල නොතැබිය යුතුය. ‘අට්ඨමාසෙ’යි කියූ බැවින් යම් ජනපදයන්හි වැසිකල නොවසීද, ඒ ජනපදයන්හිද වැසිසාර මස්හි ද සෙනසුන් තැබීම වරද සහිතමය. ‘අවස්සිකසඞ්කෙතෙ’ කියූ බැවින් යම් හෙමන්ත සෘතුවෙක්හි වැසි වසීද, ඒ හෙමන්ත සෘතුවෙහිද එලමහනෙ’හි සෙනසුන් තැබීම නොසුදුසුය. ග්රීෂ්ම සෘතුවෙහි වනාහි හැමතැන පහවූ වලා ඇති අහස පිරිසිදු වේද, මෙබඳු කාලයෙහි කිසියම් කරුණකින් වුවද එලිමහනෙහි ඇඳපුටු තැබීමෙහි වරදෙක් නැත්තේය.
අබ්හොකාසික භික්ෂූන් විසින්ද වත දැනගත යුතුය. ඒ අබ්හොකාසිකයාගේම පෞද්ගලික ඇඳක් වේද, එහිම සැතපිය යුතුය. සඞ්ඝිකයක් ගන්නහු විසින් වේවැලින් හෝ වැහැරියෙන් හෝ වියූ ඇදක් ගතයුතුය. එබදු ඇදක් නැති කල්හි පැරණි ඇඳක් ගතයුතුය. එබන්දකුදු නැති කල්හි අලුත වියූ ඇඳක් හෝ මෙට්ට සහිත ඇඳක් හෝ ගතයුතුය. ගෙණ ‘මම උත්කර්ෂවෘක්ෂමූලික වෙමි, උත්කර්ෂ අභ්යවකාශික වෙමි, සිවුරු කිළියක්ද නොකොට නොකල්හි එලිමහනෙහි හෝ රුක්මුලෙහි හෝ සෙනසුනක් නොපනවා නිදීම නොවටියි. ඉදින් සිවු ගුණවූද සිවුරෙන් කළ කිළිය නොතෙමෙන්නක් කොට රකින්නට නොහැක්කේද හද්දාවැසි ආදීහු වෙත්ද, එකල්හි මහණහු තමා කායානුගතික බැවින් වටියි.