අඤ්ඤවාදක ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි “අනාචාරං ආචරිත්‍වා” නොකොටයුතුකොට කායවාග්ද්වාරයන්හි ඇවැතට පැමිණැයි වදාරන ලද්දේ වේ. “අඤ්ඤෙනඤ්ඤං පටිචරති” අනික් වචනයකින් අනික් වචනයක් වසයි. යටපත් කරයි. දැන් ඒ ප්‍රතිච්ඡාදන විධිය දක්වන සේක්. “කො ආපන්නො” යනාදිය වදාළ සේක. එහි මේ වචන සම්බන්‍ධයයි. ඒ ඡන්නස්ථවිර තෙමේ කිසි ව්‍යතික්‍රමයක් දැක ‘ඇවැත’ ඇවැතට පැමිණියෙහිදැ’යි සඟ මැදදී ඇවතින් චොදනා කරනු ලබන්නේ ‘කවරෙක් පැමිණියේදැ’යි කියයි. ඉන්පසු ‘තෝ’යි කියන ලද්දෙහි, ‘මම කුමකට පැමිණියෙම්දැ’යි කියයි. නැවත ‘පාචිත්තියට හො දුක්කටයට හෝ, යි කියන ලද්දෙහි, වස්තුව විචාරන්නෙහි ‘මම කිනම් වස්තුවෙහි’යි කියන ලද්දෙහි, ‘මම කෙසේ පැමිණියෙම්ද, කුමක් කරන්නෙම් පැමිණියෙම්දැ’යි විචාරයි. එකල්හි ‘මෙනම් කරන්නෙහි පැමිණියෙහි’යි කියන ලද්දෙහි ‘කවරකුට කියහුදැ’යි කියයි. ඉන්පසු ‘ඔහුට කියමු’යි කියන ලද්දෙහි ‘කුමක් කියහුදැ’යි කියයි.
අනිකෙකුදු ඇත්තේය. මෙහි මේ පෙළින් මිදුනු අනික වචනයකින් අනික් වචනයක් වසාලන විධියයි මහණුන් විසින් තාගේ පසුම්බියෙහි කහවණුවෙක් දක්නා ලද්දේය. කුමක් හෙයින් මෙසේ නොසුදුස්සක් කෙරෙහිදැ’යි කියන ලද්දෙහි ‘ස්වාමීනි’ දක්නා ලද්දේ මැනැවැ, මෙය කහවණුවෙක් නොවේ. මේ ඊයම් ගුළියෙකැ’යි කියන්නේ හෝ ‘තෝ සුරා බොන්නේ දක්නා ලද්දෙහිය, කුමක් හෙයින් මෙසේ නොසුදුස්සක් කෙරෙහිදැ’යි කියන ලද්දෙහි, ‘ස්වාමීනි’ දක්නා ලද්දේ මැනැවැ, මේ සුරා නොවේ, බෙහෙත් පිණිස සපයන ලද අරිෂ්ටයෙකැ’යි කියන්නේ හෝ ‘තෝ ප්‍රතිච්ඡන්න ආසනයෙක්හි මාගමක සමග හුන්නෙහි දක්නා ලද්දෙහිය, කුමක්හෙයින් මෙසේ නොසුදුස්සක් කෙරෙහිදැ’යි කියන ලද්දෙහි ‘යමකු විසින් දක්නා ලද්දේ මනාකොට දක්නා ලද්දේය. මෙහි නුවණැති දෙවැන්නෙක් ඇත්තේය, කුමක් හෙයින් හෙතෙමේ නොදක්නා ලද්දේදැ’යි කියන්නේ හෝ ‘තා විසින් මෙබඳු වූ කිසිවක් දක්නා ලද්දේදැ’යි විචාරණ ලද්දෙහි, ‘නොඅසමි’යි කණ එළවන්නේ හෝ, ශ්‍රොත ද්වාරයෙහි විචාරන්නන්ට ඇස එළවන්නේ හෝ අනික් වචනයකින් අනික් වචනයක් වසාලන්නේයයි දතයුතුය.
“අඤ්ඤවාදකෙ විහෙසකෙ පාචිත්තියං” මෙහි අනිකක් කියානුයි ‘අඤ්ඤවාදක’ නමි. අනික් වචනයකින් අනික් වචනයක් වසන්නහුට මේ නමකි. වෙහෙසානුයි ‘විහෙසක’ නමි. නොබණින්නහුට මේ නමකි. ඒ අන්‍යවාදකය නිමිති කොටද නොබිණීම නිමිති කොටද “පාචිත්තියං”යි වස්තු දෙක නිමිති කොට පාචිත්තිය දෙකක් වදාරන ලදී. “අඤ්ඤවාදකං රොපෙතු” අන්‍යවාදකත්‍වය ආරොපණය කෙරේවා. ඥප්තිද්විතීය කර්‍මයෙන් පිහිටුවාවා යන අර්‍ත්‍ථයි. “විහෙසකං රොපෙතු” මෙහිද මෙම නයවේ.
“ආරොපිතෙ අඤ්ඤවාදකෙ” කර්‍මවාක්‍යයෙන් අන්‍යවාදකය ආරොපණය නොකළ කල්හි අන්‍යවාදකයෙහි පාචිත්තිය වේ. “ආරොපිතෙ විහෙසකෙ” යන මෙහිද මෙම නය වේ.
“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යනාදියෙහි යම් ඒ අන්‍යවාදකවිහෙසකාරොපණකර්‍මය කරන ලද්දේ ද, එය ධර්‍මකර්‍මය වේනම් ඒ මහණතෙමේ එහි ධර්‍මකර්‍ම යන හැඟීම් ඇත්තේ අන්‍යවාදකත්‍වය හා විහෙසකත්‍වය කෙරේද, එසේ ඇති කල්හි මේ මහණහුට ඒ අන්‍යවාදකත්‍වය නිමිති කොටද, විහෙසකත්‍වය නිමිති කොටද පාචිත්තියාපත්තිය වන්නීයයි යන මේ නයින් අර්‍ත්‍ථ දතයුත්තේය.
“අජානන්තො පුච්ඡති” ඇවැත හෝ ඇවතට පැමිණි බව හෝ නොදන්නේම ‘තෙපි කුමක් බෙණෙවුද, මම නොදනිමි’යි විචාරාද, එහි ඇවැත් නොවේ. “ගිලානො වා න කථෙති” යම් ව්‍යාධියක් කරණකොට කියන්නට නොහැක්කේද, මුඛයෙහි එබඳු ව්‍යාධියෙක් වේද, එකල්හි නොකියන්නහුට ඇවැත් නොවේ. “සඞ්ඝස්ස භණ්ඩනං වා” යනාදි තන්හි සඟමැදදී කියූ කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ දබරයෙක් හෝ -පෙ- විවාදයෙක් හෝ නොවන්නේද, ඒ භණ්ඩනාදිය නොවේවායි හඟිමින් නොකියාද එහිද ඇවැත් නොවේ යන මේ නයින් අර්‍ත්‍ථ දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදි. කිසි කලෙක ක්‍රියාසමුත්‍ථානිකය. කිසිකලෙක අක්‍රියසමුත්‍ථානිකය අනික් වචනයකින් අනික් වචනයක් වසාලන මහණහුට ක්‍රියාසමුත්‍ථාන වේ. තුෂ්ණීම්භාවයෙන් වෙහෙසන මහණහුට අක්‍රියාසමුත්‍ථාන වේ. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.