අනුමොදනවත්තකථා
අනුමොදන වස්තුවෙහි - “ඉද්ධං අහොසි” සමෘද්ධ වූයේය. “චතුහි පඤ්චහි” සඞ්ඝ ස්ථවිරයන් අනුමොදනා කිරීම පිණිස භක්තාග්‍රයෙහි හුන්කල්හි පහත පිළිවෙළින් සතර නමක් හිඳියයුතුය. අනුතෙරුන් හුන්කල්හි මහතෙරුන්ද පහත තුන් නමක්ද හිඳියයුතුය. අනුමොදනාව පිණිස පස්වන තෙරුන් හුන්කල්හි ඊට ඉහල සතර නමක් හිඳියයුතුය. සඞ්ඝ ස්ථවිරයන් විසින් පහත් ලදරු මහණෙක් ආරාධනා කරණලද්දේ ද එකල්හි සඞ්ඝ ස්ථවිරයන් පටන් සතර නමක් හිඳිය යුතුමය. ඉදින් අනුමොදක භික්‍ෂුතෙමේ “ස්වාමීනි” වඩිනු මැනැවි, බලපොරොත්තු වියයුතු කිසක් නැත්තේය’යි කියානම් යෑම වටියි. මහතෙරුන් විසින් ‘ඇවැත’ යමුදැ’යි විචාළ කල්හි යවු’යි කියානම් මෙසේද වටියි. ‘ගමින් පිටත බලාපොරොත්තු වන්නෙමු’යි ආභොග කොටද ගමින් පිටතට ගොස් තමන්ගේ නිශ්ශ්‍රිතකයන්ට ‘තෙපි ඔහුගේ ඊම බලාපොරොත්තු වහු’යි කියාද යෑම සුදුසුය. ඉදින් මිනිස්සු තමන් සිතට රුචිවූ එක්මහණකු ලවා අනුමෝදනා කරවත්නම් අනුමොදනා කරණ ඒ මහණහුට ඇවැත් නොවේ. මහතෙරහට භාරනොවේ. බොහෝ දෙන රැස්වූ කල්හි දහම් දෙසීමැයි කියන උපනිසින්නක කථාවෙහිම මිනිසුන් කියවන කල්හි මහාස්ථවිර තෙමේ විචාළයුතුය. මහතෙරහු විසින්ද අනුමොදනා පිණිස ආරාධනා කරණලදුයේම බලාපොරොත්තු විය යුත්තේය. මේ මෙහි ලක්‍ෂණයයි. “වච්චිතො” හටගත් වර්‍චස් ඇත්තේ වර්‍චයන් පෙළුනේය යන අර්‍ත්‍ථයි.
භත්තග්ගවත්තකථා
භත්තග්ගවතෙහි ඇතුළුගම හෝ විහාරය හෝ වේවා, මිනිසුන් වළඳන තැනට යන්නහු විසින් සිවුර පොරොවා පටිය බඳින ලද්දේම වටීයයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. “න ථෙරෙ භික්‍ඛූ අනුපඛජ්ජ” ස්ථවිර භික්‍ෂූන් තදින් අල්වාගෙණ නොහිඳියයුතුය. ඉදින් මහතෙරහු හුන් ආසනය හා සමවූ ආසනයක් වේනම්, බොහෝ ආසන ඇති කල්හි ආසන එකක් දෙකක් හැර හිඳිය යුතුය. භික්‍ෂූන් ගැණ පැණවූ අසුන්හි නොහිඳ මහතෙරුන් ‘හිඳුව’යි කියනලද්දහු විසින් හිඳිය යුතුය. මහාස්ථවිර තෙමේ නොකියානම් ‘ස්වාමීනි’ මේ ආසනය උස්යයි කියයුතුය. ‘හිඳුව’යි කියූකල්හි හිඳියයුතුය. මෙසේ විචාළ කල්හිද නොකියාද, හිඳින්නහුට ඇවැත්නොවේ. මහතෙරුන්හටම ඇවැත් වේ. නවකතෙමේද, මෙබඳු අසුනෙහි නොවිචාරා හිඳිනුයේ ඇවැතට පැමිණේ. විචාළ කල්හි නොඅනුදන්නා මහාස්ථවිර තෙමේ ඇවතට පැමිණේ. “න සඞ්ඝාටිං ඔත්‍ථරිත්‍වා” සඞ්ඝාටිය යටකොට නොහිඳිය යුතුය.
“උභොහි භත්‍ථෙහි” පාත්‍ර සෝදන දිය සඳහා කියනලදී. දක්‍ෂිණෙදකය ඉදිරියෙහි ආධාරකයෙහි පාත්‍රය තබා ගතයුතුය. “සාධුකං” උදකශබ්දය නොකරන්නහු විසින්. දියහඬ නොනගවා පාත්‍රය සේදිය යුතුය යන අදහසය.
“සූපස්ස ඔකාසො” යම්සේ සූපයට අවකාශ ඇත්තේවේද, මෙසේ ප්‍රමාණ වශයෙන් ඔදනය ගතයුතුය, යන අර්‍ත්‍ථයි. “සමකං සම්පාදෙහි” හුදෙක් මෙය ගිතෙල් ආදියෙහි පමණක් සමව සම්පාදනය කරව’යි කියයුතු නොවේ. ඔදනයන්හිද සමව බෙදිය යුතුයයි කියයුතුය. ගිතෙල් ආදීන් අතුරෙහි යම් දෙයක් ටික වේද, ඒ ද්‍රව්‍යය සියල්ලන්ට සමව සම්පාදනය කරව’යි කියූ කල්හි මිනිසුන්ට එය වෙහෙසක් වේ. එහෙයින් එබඳු ටික දෙය වරක් හෝ දෙවරක් හෝ ගෙන සෙස්ස නොගතයුතුය.
“න තාව ථෙරෙන භුඤ්ජිතබ්බං” යන මෙය පිරිසිඳින ලද මහණුන් ඇති භක්තාග්‍රයෙහි යම් තැනෙක මිනිස්සු සියල්ලන්ට පමණුවා දෙනු කැමැත්තාහු වෙත්ද, ඒ සඳහා කියනලදී. යම් මහාබොජුන්හලක් වේද, යම් එක් පෙදෙසෙක වලඳත්ද, එක් පෙදෙසක පැන් දෙනු ලැබේද, එහි පහසු පරිදි වැලඳිය යුතුය.
“න තාව උදකං” මෙය අත්දෝනා දිය සඳහා කියනලදී. මෙහි සියලු මහණුන් වලඳා කෙළවර කරණතුරු මහතෙරහු විසින් අත්දෝනාදිය නොපිළිගත යුතුය යන අදහසය. අතර පවස් ඇතියකු විසින්ද බොටුවේ හිරවුනු ආමිස ඇතියකු විසින්ද පැන්බී අත් නොසේදිය යුතුය. ඉදින් මිනිස්සු ‘ස්වාමීනි’ පාත්‍රයද අත්ද දෝනා කළ මැනැවැ’යි කියත්ද, භික්‍ෂූහු හෝ පැන් ගණිවු’යි කියත්ද පැන් ගැනීම වරද නොවේ.
“නිවත්තන්තෙන” බොජුන්හලෙන් නැගිට හැසිරෙන්නාවූ සඞ්ඝයා විසින් මෙසේ හැසිරියයුතුයයි දක්වාලන්නේය. කිසේය, යත්:- “නවකෙහි” නවකයන් විසිනැයි සියල්ල දතයුතුය. ඉඩපහසු නැති ගෙවල මහතෙරුන්ට නික්මීමට අවකාශයක් නොවේද, එහෙයින් මෙසේ වදාරණලදී. මෙසේ හැසිරෙන්නාවූ නවකයන් විසින් ගෙදොර සිට තෙරුන් නික්මෙන කල්හි පිළිවෙළින් යායුතුය. ඉදින්, මහතෙරහු දුර හුන්නාහු වෙත්ද නවකයෝ ගෙයතුළ හුන්නාහු වෙත්ද, ථෙරාසනය පටන් පෙලටම නික්මිය යුතුය. කයින්කය නොගටන්නවුන් විසින් යම්සේ මිනිසුන්ට අතරින් යනු හැකිද එසේ තුනීවූ පෙලට යායුතුය.