වත්තක්‍ඛන්‍ධක වර්‍ණනාව
ආගන්තුකවත්තකථා
වත්තක්‍ඛන්‍ධකයෙහි - “ඉදානි ආරාමං පවිසිස්සාමි” යන මෙයින් උපචාර සීමාසමීපය දක්වන්නේය. එහෙයින් උපචාර සීමාවට පැමිණ වහන්මිදීම් ආදී සියල්ල කටයුතුය. “ගහෙත්‍වා” වහන්දඬුවෙන් ගෙණ “පටික්කමන්ති” රැස්වෙත්. “විස්සජ්ජෙතබ්බං” පැතිරියයුතුය. “ගොචරො පුච්ඡිතබ්බො” ගොදුරුගම ලඟද, නොහොත් දුරෙහිද, උදෑසනම පිඬු පිණිස හැසිරිය යුතුද, නොහොත් දාවල්හිදැ’යි මෙසේ භික්‍ෂාචාරය ආගන්තුක භික්‍ෂූන් විසින් විචාළ යුතුය. “අගොචර” නම් මිසදිටුවන්ගේ හෝ ගමය. පිරිසිඳීගිය භික්‍ෂා ඇති ගම හෝය. යම්තැනෙක එකක්හට හෝ දෙදෙනකුන්ට හෝ භික්‍ෂා ඇති ගම හෝය. යම්තැනෙක එකක්හට හෝ දෙදෙනකුන්ට හෝ භික්‍ෂා දෙනුලැබේද, හෙද විචාළ යුතුය. “පානීයං පුච්ඡිතබ්බං” කිම, මේ පොකුණෙහි පැන්ම පානය කෙරෙත්ද, ස්නානය කිරීම් ආදීවූ පරිභොගයන් කෙරෙත්දැ’යි විචාළයුතුය. මෙසේ බොන පැන්ද පිරිබෝපැන්ද විචාළයුතුය. කිසිතන්හි චණ්ඩමෘගයෝ හෝ අමනුෂ්‍යයෝ හෝ වෙත්. එහෙයින් ‘කවර කලෙක පිවිසිය යුතුද, කවරකලෙක නික්මිය යුතුදැ’යි විචාළයුතුය.
“බහිට්ඨිතෙන” නික්මෙන්නාවූ සර්‍පයාට හෝ අමනුෂ්‍යයාහට හෝ මගදී සිටියහු විසින් බැලිය යුතුය. “සචෙ උස්සහති සොධෙතබ්බො” ඉදින් හැක්කේනම් සියලු විහාරය ශුද්ධ කටයුතුය. නොහැකියහු විසින් තමන් වසනතැන දැගුම් කටයුතුය. සියල්ල ශුද්ධ කිරීමට හැකියහුට දක්වනලද විහාරසොධනවතෙහි විනිශ්චය මහාක්‍ඛන්‍ධකයෙහි කියූනයින්ම දතයුතුය.
ආවාසිකවත්තකථා
ආවාසිකවතෙහි - “ආසනං පඤ්ඤාපෙතබ්බං” යනාදීවූ නම් සියල්ල වෘද්ධතරයකු ආකල්හි චීවරකර්‍ම හෝ නවකර්‍ම හෝ බහා තබා කටයුතුය. සෑමිදුල හමදින්නහු විසින් මුස්න තබා ඒ වැඩිමහලු ආගන්තුකයාහට වත්කරන්නට ඇරඹිය යුතුය. ආගන්තුක තෙමේ පණ්ඩිතවූයේ නම් ‘සෑමිදුල හමදුව’යි කියන්නේය. ගිලන් බෙහෙත් කරන්නහු විසින් ඉදින් ආතුර තෙමේ දැඩිගිලනෙක් නොවේනම් බෙහෙත්ම නොකොට ආගන්තුක වතම කටයුතුය. මහගිලන්හට ආගන්තුකවත නොකොට බෙහෙත්ම කටයුතුය. ආගන්තුක තෙමේ පණ්ඩිත වූයේ නම් ‘බෙහෙත් කරව’යි කියන්නේය. පැනින් විචාරණ ආවාසිකයා විසින් ඉදින් වරක්ගෙණ ආ සියලු පැන් පානය කෙරේනම් ‘නැවැත ගෙණ එම්දැ’යි විචාළයුතුමය. විජනිපතින් පවන්සැළිය යුතුය. පවන්සලන්නහු විසින් වරක් පාපීඨෙහි පවන්සලා වරක් මැදට වරක් හිසට පවන් සැලිය යුතුය. ‘කම්නැත, වේවා’යි කියනලද්දහු විසින් ඉතා මඳ පවන් සැලිය යුතුය. ‘නැවැත පමණැ’යි කියනලද්දහු විසින් එයටත් වඩා මදකොට පවන් සැලියයුතුය. නැවත ‘පමණැ’යි කියනලද්දහු විසින් එයටත් වඩා මඳකොට පවන් සැලිය යුතුය. තෙවනවරක් කියන ලද්දහු විසින් විජනිපත තැබිය යුතුය. මේ ආගන්තුකයාගේ පාදයෝද සේදිය යුතුය. සෝදා තමන්ගේ තෙල් තිබේ නම් ඒ තෙල්ගෑ යුතුය. තමාගේ තෙල් නැත්නම් ඔහු සතු තෙල් ගෑයුතුය. වහන් පිසදැමීම තමාට කැමැති පරිදි කටයුතුය. එහෙයින්ම මෙහි “සචෙ උස්සහති”යි කියන ලද්දේමය. එහෙයින් වහන් නොපිසදමන්නහුටද ඇවැත් නොවේ. ‘කොතැන්හි මට සෙනසුන ලැබේදැ’යි විචාරණ ලද්දහු විසින් සෙනසුන පැණවිය යුතුය. ‘ඔබවහන්සේට මේ සෙනසුන ලැබේය’යි මෙසේ කියයුතුය යන අර්‍ත්‍ථයි. රජස් යනතුරු පොළා අවුකවනලද බුමුතුරුණු එළන්නට වටීමය.
නවකයා පිළිබඳ වතෙහි - “පානීයං ආචික්‍ඛිතබ්බං” ‘මේ පැන් ගෙන පානය කරව’යි කියයුතුය. පරිභොග කටයුතු පැන්හිද මේනයම වේ. සෙස්ස පළමු කියනලද්ද හා සමානමය. මහාවිහාරය සමාන මහාවා සයෙහිද තමන් වෙතට පැමිණි ආගන්තුකයාහට වත්නොකොට සිටිය නොහැකිය. වත්නොකරන්නට නොලැබේ.
ගමිකවත්තකථා
ගමිකවතෙහි - “දාරුභණ්ඩං” සෙනාසනක්‍ඛන්‍ධකයෙහි කියනලද ඇඳපුටු ආදියය. “මත්තිකාභණ්ඩං” මැටිමුවා බඩුද රඳන් බඳුන් ඈ සියල්ල එහි කියනලද ප්‍රභෙද ඇත්තේමය. ඒ සියල්ල ගිනිහල්ගෙයි හෝ රැකෙන අන්තැනක හෝ ගමික මහණහු විසින් තැන්පත් කොට තබා යායුතුය. නොතෙමෙන පර්‍වතය ඉදිරියට නෙරායෑමෙන් වූ ගුහාවක හෝ තැබිය යුතුය. “සෙනාසනං ආපුච්ඡිතබ්බං” යන මෙහි ගල් පිටෙක හෝ ගල්කණුවල හෝ කළ සෙනසුනක්වේද, යම්තැනෙක යම් සෙනසුනකට වේයෝ නොනැගෙත්ද, ඒ සෙනසුන නොවිචාරණ ගමිකමහණහුටද ඇවැත් නොවේ. “චතුසු පාසාණකෙසු” යනාදිය වේයන් උපදින තැන පර්‍ණශාලාදි සෙනසුනෙහි කටයුතු ආකාර දැක්වීම පිණිස වදාරණ ලද්දේය. මෙහි ගමික මහණහු විසින් විචාරා යන්නට මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් නැත්තේද, ගල් සතරෙහි ඇද තබා ඊමතුපිට ඇදපුටුද තබා මතුයෙහි නොතෙමෙන ලෙසක්කොට දැවබඩු ආදිය තැන්පත්කොට තබා දොරවසා යායුතුය යනු අදහසය. “අප්පෙවනාම අඞ්ගානිපි සෙසෙය්‍යුං” යන මෙය එළිමහනෙහි තබන ලද්දෙහි ආනිසංසය වේ. තෙමෙන ගෙයි තණ හා මැටිපිඬු මතුයෙහි වැටෙන කල්හි ඇඳපුටුවල අවයවද නැසේ.
අනුමොදනවත්තකථා
අනුමොදන වස්තුවෙහි - “ඉද්ධං අහොසි” සමෘද්ධ වූයේය. “චතුහි පඤ්චහි” සඞ්ඝ ස්ථවිරයන් අනුමොදනා කිරීම පිණිස භක්තාග්‍රයෙහි හුන්කල්හි පහත පිළිවෙළින් සතර නමක් හිඳියයුතුය. අනුතෙරුන් හුන්කල්හි මහතෙරුන්ද පහත තුන් නමක්ද හිඳියයුතුය. අනුමොදනාව පිණිස පස්වන තෙරුන් හුන්කල්හි ඊට ඉහල සතර නමක් හිඳියයුතුය. සඞ්ඝ ස්ථවිරයන් විසින් පහත් ලදරු මහණෙක් ආරාධනා කරණලද්දේ ද එකල්හි සඞ්ඝ ස්ථවිරයන් පටන් සතර නමක් හිඳිය යුතුමය. ඉදින් අනුමොදක භික්‍ෂුතෙමේ “ස්වාමීනි” වඩිනු මැනැවි, බලපොරොත්තු වියයුතු කිසක් නැත්තේය’යි කියානම් යෑම වටියි. මහතෙරුන් විසින් ‘ඇවැත’ යමුදැ’යි විචාළ කල්හි යවු’යි කියානම් මෙසේද වටියි. ‘ගමින් පිටත බලාපොරොත්තු වන්නෙමු’යි ආභොග කොටද ගමින් පිටතට ගොස් තමන්ගේ නිශ්ශ්‍රිතකයන්ට ‘තෙපි ඔහුගේ ඊම බලාපොරොත්තු වහු’යි කියාද යෑම සුදුසුය. ඉදින් මිනිස්සු තමන් සිතට රුචිවූ එක්මහණකු ලවා අනුමෝදනා කරවත්නම් අනුමොදනා කරණ ඒ මහණහුට ඇවැත් නොවේ. මහතෙරහට භාරනොවේ. බොහෝ දෙන රැස්වූ කල්හි දහම් දෙසීමැයි කියන උපනිසින්නක කථාවෙහිම මිනිසුන් කියවන කල්හි මහාස්ථවිර තෙමේ විචාළයුතුය. මහතෙරහු විසින්ද අනුමොදනා පිණිස ආරාධනා කරණලදුයේම බලාපොරොත්තු විය යුත්තේය. මේ මෙහි ලක්‍ෂණයයි. “වච්චිතො” හටගත් වර්‍චස් ඇත්තේ වර්‍චයන් පෙළුනේය යන අර්‍ත්‍ථයි.