භික්ඛුනීඋපසම්පදානුජානනකථා
“අනුජානාමි භික්‍ඛවෙ භික්‍ඛූහි භික්‍ඛුණියෝ උපසම්පාදෙතුං” මේ අනුදැනීමෙන් භික්‍ෂූහු, පන්සියයක් ශාක්‍යස්ත්‍රීන් මහා ප්‍රජාපතියගේ සද්ධිවිහාරිණියන් කොට උපසම්පදා කළහ. මෙසේ ඒ සියල්ලෝම එක් පක්‍ෂයෙක්හි උපසම්පන්න නම් වූහ. “යෙ ඛො ත්‍වං ගොතමී” තොමෝ රහත්බවට පැමිණියාය.
“කම්මං න කරීයති” තර්‍ජනීයාදීවූ සත්වැදෑරුම් කර්‍මය නොකරණු ලැබේ. “ඛමාපෙන්ති” නැවැත මෙබන්දක් නොකරන්නෙමු’යි කමාකරවත්.
“අනුජානාමි භික්‍ඛවෙ භික්‍ඛූහි භික්‍ඛුණීනං කම්මං රොපෙත්‍වා භික්‍ඛුණීනං නීය්‍යාදෙතුං” මෙහි තර්‍ජනීයාදි කර්‍ම අතුරෙහි ‘මේ නම් කර්‍මය මේ මෙහෙණට කටයුතුය’යි මෙසේ කර්‍මාරොපණය කොට ‘දැන් ඒ කර්‍මය තෙපිම කරවු’යි මහණුන් විසින් මෙහෙණන්ට පාවාදිය යුතුය. අනිකක් පිහිටවූ කල්හි අනිකක් කෙරෙත්ද, “තජ්ජනීයකම්මාරහස්ස නියස්සකම්මං කරොන්ති” යන මෙහි කියූනයින් කරවිය යුතුබවට පැමිණෙත්.
“කද්දමොදකෙන” මෙහි හුදෙක් මඩවතුරෙන් පමණක් නොවේ. වෙසෙසින් පහන් දිය, රදන් මඩ ආදීන් අතුරෙහිද, යම් කිසිවකින් මෙහෙණක්හුගේ සිරුරට ඉසින මහණහුට දුක්කටයම වේ. “අවන්‍දියො සො භික්‍ඛවෙ භික්‍ඛු භික්‍ඛුනීසඞ්ඝෙන කාතබ්බො” මෙහෙණන් වසන වෙහෙරෙහි රැස්ව “අසුකො නාම ආය්‍යො භික්‍ඛුණීනං අපසාදියං දස්සෙති එතස්ස අය්‍යස්ස අවන්‍දියකරණං රුච්චති”යි මෙසේ තෙවරක් ඇස්විය යුතුය. මෙපමණකින් අවන්‍දිය කර්‍මය කරණ ලද්දේ වේ. එතැන් පටන් හෙරණකු දැක යම්සේ නොවඳිත්ද එපරිද්දෙන්ම අවන්‍දිය කර්‍මකරණලද මහණකු දැකද මෙහෙණන් විසින් නොවැඳිය යුතුය. අවන්‍දිය කර්‍මය කරණලද මැනැවින් පවත්නා ඒ මහණහු විසින් මෙහෙණන් වසන වෙහෙරට නොගොස් විහාරයෙහිම සඞ්ඝයා වෙතට හෝ එක් පුද්ගලයකු වෙතට හෝ එළැඹැ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘භික්‍ෂුණීසඞ්ඝ තෙමේ මට කමා කෙරේවා’යි කමා කරවිය යුතුය. ඒ මහණහු විසින් මෙහෙණන්ගේ සමීපයට ගොස් ‘මේ මහණතෙමේ තොප කමා කරවන්නේයයි කියයුතුය. එතැන් පටන් ඒ මහණ තෙමේ වැඳිය යුත්තේය. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි කර්‍මවිභඞ්ගයෙහි කියන්නෙමු.
“ඔභාසන්ති” අසද්ධර්‍මයෙක් කියත්. “භික්‍ඛුණිහි සද්ධිං සම්පයොජෙන්ති” මෙහෙණන් සමග පුරුෂයන් අසද්ධර්‍මයෙන් යොදත්. අවදිය කරණය කියන ලද නයමය. “ආවරණං” මහණුන්ට අනාචාරය දැක්වූ මෙහෙණන්හට වෙහෙරට වැදීම වැළකීමය. “ඔවාදං ඨපෙතුං” මෙහි මෙහෙණන්ගේ විහාරයට ගොස් නොතැබිය යුතුය. අවවාදය පිණිස පැමිණි මෙහෙණෝ ‘අසුවල් මෙහෙණ ඇවැත් සහිතය. ඇයට අවවාදය තබමි. ඇය සමග පොහොය නොකරවු’යි කියයුත්තාහ. “කායවිවරණාදීසු” කායවිවරණාදියෙහිද දඬුවම කියනලදනයමය.
“න භික්‍ඛවෙ භික්‍ඛුණියා ඔවාදො න ගන්තබ්බො” යනාදිය භික්‍ෂුණීවිභඞ්ග වර්‍ණනාවෙහි කියනලද නයමය.
“ඵාසුකෙ නමෙන්ති” ගිහි දැරියන් මෙන් තනපට ඇති පටියෙන් ඉළ ඇට නමත්. ඉළ ඇට නමනු පිණිස බඳිත්. “එකපරියාකතං” එක්වරක් වටකිරීම.
“විලිවෙන පට්ටෙන” තුනී බටපතුරෙන් කළ පටියෙන්. “දුස්සපට්ටෙන” සුදුවතින් කළ පටියෙන් “දුස්සවෙණියා” වස්ත්‍රයෙන් කළ වෙණියෙන්. “දුස්සවට්ටියා” වස්ත්‍රයෙන් කළ වැටියෙන්. චොළපට්ටාදීන් අතුරෙහි රෙද්දෙන් කළ කසාවත චොළයයි දතයුතුය.
“අට්ඨිල්ලෙන” ගෙරින්ගේ කෙණ්ඩා ඇටින් ඡඞ්ඝයි. කටිප්‍රදේශය කියනු ලැබේ. “හත්‍ථං කොට්ටාපෙන්ති” අතඅග කොටවා මොනරපත් ආදියෙන් විසිතුරු කරත්. “හත්‍ථකොච්ඡං” පිටිඅත. “පාදං” කෙණ්ඩ “පාදකොච්ඡං” පිටිපය.
මුඛලිම්පනාදිය කියනලද නයමය. “අඞ්ගරාගං කරොන්ති” ඇස් අඳුන් ගාන්නා වූ මෙහෙණෝ නෙත්කෙළවර පෙදෙසෙහි යටිකුරු කොට ඉරිගසත්. “විස්සෙකං” කම්මුල විසිතුරු සටහන් ඇති තිලක කරත්. “ඔලොකෙන්ති” ජනෙල් හැර වීථිය බලත්. “සාලොකෙ තිට්ඨන්ති” දොර හැර සිරුරින් අඩක් දක්වමින් සිටිති. “නච්චන්ති” නළුනැටීම කරත්. “චෙසිං වුට්ඨාපෙන්ති” වෙසඟනන් නගා තබත් “පානාගාරං ඨපෙන්ති” සුරා විකුණත්. “සූනං ඨපෙන්ති” මස් විකුණත්. “ආපණ” යනු නානාභාණ්ඩ පිළිබඳ නන්වැදෑරුම් වූ සල්පිල් තබත්. “දාසං උපට්ඨාපෙන්ති” දාසයකු ගෙණ ඔහු ලවා තම තමන්ට වතාවත් කරවත්. “හරිතකපක්කිකං පකිණන්ති” අරළුද ඵලවර්‍ගද විකුණත්. මිශ්‍රද්‍රව්‍ය ඇති සල්පිල් තබත්’යි කියන ලද්දේ වේ.
සබ්බනීලකාදිකථා කියනලද්දීමය.
“භික්‍ඛුණි චෙ භික්‍ඛවෙ කාලං කරොන්ති” යනාදිතන්හි මේ පාලිමුක්තක විනිශ්චයයි:- ඉදින් පස්සහ දැහැමියන් අතුරෙහි යම්කිසිවෙක් කලුරිය කරණුයේ ‘මාගේ ඇවෑමෙන් මාගේ පිරිකර උපාද්ධ්‍යායයාහට වේවා, ආචාර්‍ය්‍යයාහට වේවා, පියාට වේවා, අන්කිසිවක්හට හෝ වේවා’යි කියාද, ඔවුන්ට නොවේ. සඞ්ඝයාහටම වේ. පස්සහ දැහැමියන්හට තමන්ගේ මරණයෙන් පසු අන්හට අයත් වනසේ දීම සුදුසු නොවේ. ගිහින්ට වනාහි සුදුසු වේ. මහණෙක් තෙමේ මෙහෙණන්ගේ වෙහෙරෙහි කලුරිය කෙරේනම් ඔහුගේ පිරිකර මහණුන්හටම වේ. මෙහෙණක් තොමෝ මහණුන්ගේ වෙහෙරෙහි කලුරිය කෙරේනම් ඇයගේ පිරිකර මහණුන්හටම වේ.