භික්ඛුණිඛන්ධක වර්ණනාව
මහාපජාපතිගොතමීවත්ථුකථා
භික්ඛුණීඛන්ධකයෙහි - “අලං තෙ ගොතමී මා තෙ රුචවි” කුමක් හෙයින් ප්රතික්ෂෙප කරණ සේක්ද, සියලු බුදුවරයන්ටම සිවු පිරිසක් නොවේද යත්: එකාන්තයෙන් වේ. වෙහෙසට පැමිණ නොයෙක්වර යාඥා කළකල්හි ප්රව්රජ්යාව අනුදන්නා ලදද, ‘මේ ප්රව්රජ්යාව අප විසින් දුකින් ලදය’යි මැනැවින් රකින්නාහුයයි ගරුකොට අනුදන්නා කැමැතිසේක් ප්රතික්ෂෙප කරණසේක. අෂ්ට ගරුධර්මකථාව මහාවිභඞ්ගයෙහිම කියනලදී.
“කුම්භත්ථෙනකෙහි” කළයෙහි පහනක් දල්වා ඒ ආලෝකයෙන් අනුන්ගේ ගෙයි බඩු සොයා සොරකම්කොට ගන්නා සොරුන් විසින්.
“සෙතට්ඨිකා නාම රොගජාති” එක් පණුවෙක් නළමැද වූ ගොයම්කඳ විදියි. පණුවකු විසින් විදිනලද බැවින් නික්මුනාවූද හැල්කරල කිරිගන්ට නොහැක්කේය.
“මඤ්ජෙට්ඨිකා නාම රොගජාති” උක්දඬු තුළ රතුබවය. “මහතො තළාකස්ස පටිගච්චෙව ආලිං” මෙයින් වනාහි මේ කරුණ දක්වාලන්නේය. මහත් තටාකයක්හුගේ නියර නොබැදිකල්හිද මද දියක් සිටිනේමය. පළමුකොටම නියර බැඳි කල්හි වනාහි නියර නොබැදීම නිසා යම්දියක් නොසිටින්නේද, ඒ දියත් සිටින්නේය. එපරිද්දෙන්ම වස්තුව නොඋපන් කල්හි පළමුකොටම නොඉක්මවීම පිණිස යම්මේ ගරු ධර්මයෝ පණවන ලද්දාහුද, ඒ ගරුධර්ම නොපැණ වූ කල්හිද මාගම පැවිදි වූ බැවින් සද්ධර්මය අවුරුදු පන්සියයක් පවත්නේය. පළමුකොට පැණවූ බැවින් තවත් අවුරුදු පන්සියයක් පවත්නේයයි මෙසේ පළමු කියූ අවුරුදු දහසම පවත්නේය. අවුරුදු දහස යන මෙයි සිවු පිළිසැඹියා පත් රහතුන්වහන්සේගේ වසයෙන් වදාරණ ලද්දේය. එයින් මත්තෙහිද ශුෂ්කවිදර්ශක ක්ෂීණාස්රවයන්ගේ වසයෙන් අවුරුදු දහසක්, අනාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, සකෘදාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, ස්රොතාපන්නයන්ගේ වසයෙන් අවුරුදු දහසක්’යි මෙසේ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි ප්රතිවෙධ සද්ධර්මය පවත්නේය. පර්ය්යාප්ති ධර්මයද ඒ පන්දහස මුළුල්ලෙහිමය. පර්ය්යාප්තිය නැතිවිට ප්රතිවෙධය නැත. පර්ය්යාප්තිය ඇති කල්හි ප්රතිවෙධය නොවන්නේ නොවේ. ලිඞ්ගය වනාහි ප්රතිපත්තිය අතුරුදහන්වූ කල්හිද බොහෝ කල් පවත්නේය.
භික්ඛුනීඋපසම්පදානුජානනකථා
“අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුණියෝ උපසම්පාදෙතුං” මේ අනුදැනීමෙන් භික්ෂූහු, පන්සියයක් ශාක්යස්ත්රීන් මහා ප්රජාපතියගේ සද්ධිවිහාරිණියන් කොට උපසම්පදා කළහ. මෙසේ ඒ සියල්ලෝම එක් පක්ෂයෙක්හි උපසම්පන්න නම් වූහ. “යෙ ඛො ත්වං ගොතමී” තොමෝ රහත්බවට පැමිණියාය.
“කම්මං න කරීයති” තර්ජනීයාදීවූ සත්වැදෑරුම් කර්මය නොකරණු ලැබේ. “ඛමාපෙන්ති” නැවැත මෙබන්දක් නොකරන්නෙමු’යි කමාකරවත්.
“අනුජානාමි භික්ඛවෙ භික්ඛූහි භික්ඛුණීනං කම්මං රොපෙත්වා භික්ඛුණීනං නීය්යාදෙතුං” මෙහි තර්ජනීයාදි කර්ම අතුරෙහි ‘මේ නම් කර්මය මේ මෙහෙණට කටයුතුය’යි මෙසේ කර්මාරොපණය කොට ‘දැන් ඒ කර්මය තෙපිම කරවු’යි මහණුන් විසින් මෙහෙණන්ට පාවාදිය යුතුය. අනිකක් පිහිටවූ කල්හි අනිකක් කෙරෙත්ද, “තජ්ජනීයකම්මාරහස්ස නියස්සකම්මං කරොන්ති” යන මෙහි කියූනයින් කරවිය යුතුබවට පැමිණෙත්.
“කද්දමොදකෙන” මෙහි හුදෙක් මඩවතුරෙන් පමණක් නොවේ. වෙසෙසින් පහන් දිය, රදන් මඩ ආදීන් අතුරෙහිද, යම් කිසිවකින් මෙහෙණක්හුගේ සිරුරට ඉසින මහණහුට දුක්කටයම වේ. “අවන්දියො සො භික්ඛවෙ භික්ඛු භික්ඛුනීසඞ්ඝෙන කාතබ්බො” මෙහෙණන් වසන වෙහෙරෙහි රැස්ව “අසුකො නාම ආය්යො භික්ඛුණීනං අපසාදියං දස්සෙති එතස්ස අය්යස්ස අවන්දියකරණං රුච්චති”යි මෙසේ තෙවරක් ඇස්විය යුතුය. මෙපමණකින් අවන්දිය කර්මය කරණ ලද්දේ වේ. එතැන් පටන් හෙරණකු දැක යම්සේ නොවඳිත්ද එපරිද්දෙන්ම අවන්දිය කර්මකරණලද මහණකු දැකද මෙහෙණන් විසින් නොවැඳිය යුතුය. අවන්දිය කර්මය කරණලද මැනැවින් පවත්නා ඒ මහණහු විසින් මෙහෙණන් වසන වෙහෙරට නොගොස් විහාරයෙහිම සඞ්ඝයා වෙතට හෝ එක් පුද්ගලයකු වෙතට හෝ එළැඹැ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘භික්ෂුණීසඞ්ඝ තෙමේ මට කමා කෙරේවා’යි කමා කරවිය යුතුය. ඒ මහණහු විසින් මෙහෙණන්ගේ සමීපයට ගොස් ‘මේ මහණතෙමේ තොප කමා කරවන්නේයයි කියයුතුය. එතැන් පටන් ඒ මහණ තෙමේ වැඳිය යුත්තේය. මේ මෙහි සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි කර්මවිභඞ්ගයෙහි කියන්නෙමු.
“ඔභාසන්ති” අසද්ධර්මයෙක් කියත්. “භික්ඛුණිහි සද්ධිං සම්පයොජෙන්ති” මෙහෙණන් සමග පුරුෂයන් අසද්ධර්මයෙන් යොදත්. අවදිය කරණය කියන ලද නයමය. “ආවරණං” මහණුන්ට අනාචාරය දැක්වූ මෙහෙණන්හට වෙහෙරට වැදීම වැළකීමය. “ඔවාදං ඨපෙතුං” මෙහි මෙහෙණන්ගේ විහාරයට ගොස් නොතැබිය යුතුය. අවවාදය පිණිස පැමිණි මෙහෙණෝ ‘අසුවල් මෙහෙණ ඇවැත් සහිතය. ඇයට අවවාදය තබමි. ඇය සමග පොහොය නොකරවු’යි කියයුත්තාහ. “කායවිවරණාදීසු” කායවිවරණාදියෙහිද දඬුවම කියනලදනයමය.