10. චෙතිය සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - නිසීදනං = සම්කඩ අදහස් කරන ලදී. උදෙන චෙතියං = උදෙන නම් යක්ෂයාගේ චෛත්‍ය ස්ථානයෙහි කරන ලද විහාරය යයි කියනු ලැබේ. ගොතම ආදියෙහි ද මේ පිළිවෙළම වේ. භාවිතා = වර්ධනය කරන ලදී. බහුලීකථා = නැවත නැවත කරන ලදී. යානීකතා = යොතෙන් බැඳි යානයක් මෙන් කරන ලදී. වත්‍ථුකථා = ස්ථානය යන අර්ථයෙන් ස්ථානය මෙන් කරන ලදී. අනුට්ඨිතා = අධිෂ්ඨාන කරන ලද (හෝ ස්ථිර වාසයට පැමිණි) පරිචිතා = හැම අයුරින්ම රැස් කළ, වර්ධනය කළ සුසමාරද්ධා = මනාව ආරම්භ කරන ලදී.
මෙසේ අනියමින් කියා නැවත නියම ලෙස දක්වන්නේ තථාගතස්සඛො යන ආදිය කීය. මෙහිදී කප්පං යනු ආයුෂ කාලයයි. (හෙවත් ආයුෂ ප්‍රමාණයයි. ඒ කාලයෙහි මිනිසුන්හට යම් ආයු ප්‍රමාණයක් වී ද එය සම්පූර්ණ කරමින් වසන්නේ ය. කප්පාව සෙසංවා වාසය කරන ලද අවුරුදු සියය ඉක්මවා ගත කළ කාලය. එය සුළු හෝ වැඩි ප්‍රමාණයක් විය හැක. මහා සීව ස්ථවිර තෙමේ මෙසේ කීය. බුදුවරුන්ගේ වනාහී අනවශ්‍ය තැන්හි හඬ නැගීමක් නැත. බේළුව ගමෙහිදී උපන් මාරාන්තික වේදනාව දසමසක් යටපත් කළහ. මෙසේ නැවත නැවත ඒ සමවතට සමවැදී දසමස බැගින් යටපත් කරමින් මේ භද්‍ර කල්පයම වැඩ සිටිය හැකි වන්නේය.
කුමක් නිසා නො සිටියෝ ද යත්- උපාදාන හේතූන්ගෙන් හටගත් සිරුර කැඩීම් බැඳීම් (අබලන්වීම්) ආදියෙන් මැඩ පවත්වනු ලබයි. බුදුවරු වනාහී අබලන් වීමට නො පැමිණ අවසන් වයස් කොටසේදී, බහුජනතාව ප්‍රිය මනාප කාලයෙහිදීම පිරිනිවෙත්. බුද්ධානුගාමිකයන් වහන්සේලා ද, මහාශ්‍රවකයන් වහන්සේලා පිරිනිවි කල්හි තථාගතයන් වහන්සේ හුදෙකලා කණුවක් මෙන් පැවතිය යුතු වන්නාහ. බාල සාමණේරවරුන් පිරිවරා ගෙන සිටීමෙන් “අහෝ ! බුදුන්ගේ පිරිස (ක සැටි)” යයි පහත් කොට සලකනු ලැබීමට පත්විය හැක. එහෙයින් වැඩ නොසිටියහ. මෙසේ කියන ලද කල්හි ද උන්වහන්සේ ආයුකල්පයම වැඩ සිටීමට රුචි නොවන සේකැයි යන මේ කරුණ අටුවාවෙහි දැක්වේ.
යථා තං මාරෙන පරියුට්ඨිත චිත්තො = මෙහි “තං” යනු නිපාත මාත්‍රයකි. යම් සේ මාරයා විසින් මැඩ පවත්වන ලද, යටපත් ලද සිත් ඇති අන් කිසියම් පුහුදුන් අයෙක් නම් අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ ය. එසේම (මෙහි ඇත්තේ) අවබෝධ කර ගැනීමට නො හැකි වූයේය යන අදහසයි. යමකුගේ දොළසක්වන සියලුම විපර්යාසයන් හැම අයුරින්ම ප්‍රහීන නො වීද, මාරයා ඔහුගේ සිත යටපත් කර ගනියි. තෙරණුවන්ගේ ද ප්‍රහීන නොවූ විපල්ලාසයන් සතරක් වේ. එ බැවින් මාරයා උන්වහන්සේගේ සිත මැඩ පැවැත්වීය. සිත යටපත් කරන්නා වූ හේ තෙමේ කුමක් කරන්නේද යත් - භයානක අරමුණක් දක්වයි, ශබ්ද අරමුණක් හෝ අස්වයි. එහෙයින් සත්ත්වයෝ එය දැක හෝ අසා හෝ සිහිය අවුල් කරගෙන අයාගත් මුව ඇතිව සිටිත් ඔවුන්ගේ මුඛයෙන් ඇතුළට අත යවා හදවත මර්දනය කරයි. ඔව්හු විසංඥාවී සිටිත්. මේ (මාර) තෙමේ තෙරුන්ගේ මුඛයෙන් අත ඇතුළට යැවීමට හැකිවන්නේ ද යත් - බියකරු අරමුණු පවා දැක්වීය. එය දැක ස්ථවිර තෙමේ නිමිත්තෙහි අරමුණ නො ගත්තේය. එය දැන ගත්තාහු නමුදු භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් තුන් වරක් දක්වා ආමන්ත්‍රණය කළසේක්ද යත් - ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදිරියෙන් සිටිනු මැනව යි අයැද සිටි කල්හි මෙය ඔබගේ ම දෝෂයකි, මෙය ඔබගේම අපරාධයකි යනුවෙන් දොස් පැවරීමෙන් ශෝකය තුනී කරනු පිණිසය.
මාරො පාපිමා = මෙහි සත්ත්වයන් අනර්ථයෙහි යොදවමින් මරයි යනුවෙන් “මාර” නම් වේ. “පාපිමා” යනු ඔහුටම තවත් වචනයකි. ඔහු පාපී ස්වභාවයෙන් යුක්ත වන බැවින් “පාපිමා” යයි කියනු ලැබේ. කණ්හ, අන්තක, නමුචි, පමත්තබන්‍ධු යන මේවාද ඔහුගේම නාමයන්මය. භාසිතා බො පනෙසා = මේ තෙමේ වනාහී භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියට පත්වීමෙන් අටවන සතියෙහි බෝ මැඩටම පැමිණ භාග්‍යවතුන් වහන්ස, යම් අරුතක් සඳහා ඔබ විසින් පාරමිතා පුරන ලද්දේ ද, ඒ අදහස සම්පූර්ණ වූයේය. සර්වඥතාඥානය අවබෝධ කරගන්නා ලදී. ඔබට ලෝක චාරිකාවෙන් කුමන ඵලයක් දැයි කියා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුගතයන් වහන්සේ අදම පිරිනිවෙන සේක්වා යි යාච්ඤා කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුට නතාවහං (දැන්ම නොවේ) යන ආදිය කියා ප්‍රතික්ෂේප කළහ. ඒ සඳහා භාසිතා ඛො පනෙසා භන්තෙ (ස්වාමීනි, මෙය කියන ලද්දේය) යන ආදිය කීය.
එහි වියත්තා = මාර්ග වශයෙන් ව්‍යක්ත වූ (දක්ෂවූ) එසේම විනීතා = (භික්මුනා වූ) එසේම විසාරදා = (දක්ෂවූ) (යන විශේෂණ ද දැක්වේ. බහුස්සුතා = ත්‍රිපිටකය වශයෙන් මේ අය වෙත බොහෝ ඇසූ දේ ඇත යනුවෙන් “බහු ස්සුතා” නම් වේ. ඒ ධර්මයම දරන්නේය යනුවෙන් ධම්මධරා නම් වේ. නැතහොත් ධර්මය ඉගෙන මේ බහුශ්‍රැත භාවයෙන් ද, සත්‍යාවබෝධයේ බහුශ්‍රැත භාවයෙන්ද, ප්‍රතිවේධ ධර්මයන් ධාරණය කිරීමේ ස්වභාවයෙන් ද ‘ධම්මධරා’ යනුවෙන් මෙසේ මෙහි අර්ථය දත යුතුය. ධම්මානුධම්ම පටිපන්නා = ආර්ය ධර්මයේ ශික්ෂා පදවලට හා ප්‍රතිපත්තිවලට අනුව පවත්නා විදර්ශනා ධර්මයට පිළිපන්නාවූ සාමීචි පටිපන්නා = සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නාවූ අනුධම්මචාරිනො = ධර්මානුකූලව හැසිරෙන ස්වභාවය ඇති. සකං ආචරිය කං = තමාගේ ආචාර්ය මත වාදය ආචික්‍ඛිස්සන්ති = මේ ආදී සියල්ල එකිනෙකට සමානාර්ථවත් වචනයන්ය. සහ ධම්මෙන = හේතු සහිතවූ, කරුණු සහිතවූ වචනයෙන් සප්පටිහාරියං = නිවනට යාම දක්වා අරමුණු කොට දහම් දෙසත්
බ්‍රහ්මචරියං = ත්‍රිවිධ ශික්ෂාවන්හි සංග්‍රහ කළ සම්පූර්ණ ශාසන බ්‍රහ්ම චර්යාව ඉද්ධං = ධ්‍යානාදී වශයෙන් සමෘද්ධ වූ ථිතං අභි වෘද්ධියට පැමිණි, හැම පෙළම පිපී ගියාක් වැනි, අභිඥා සම්පත්ති වශයෙන් විත්‍ථාරිකං = පිහිටීම් වශයෙන් ඒ ඒ දිශාභාගයන්හි පැතුරුණාවූ බාහු ඡඤ්ඤං = මහජනතාවට අවබෝධ වීම් වශයෙන් බොහෝ දෙනා විසින් දන්නා ලද්දාවූ, අවබෝධ කරන ලද්දාවූ පුථු භූතං = හැම අයුරින්ම පුළුල් බවට පත්වූ කෙසේද යත් -යාව දෙව මනුස්සෙහි සුප්පකාසිතං = ඥානවන්ත වූ යම් පමණ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද වෙත් නම් ඒ සියල්ලන් විසින් මනාව ප්‍රකාශ කරන ලද්දේය යන අර්ථයයි.
අප්පොස්සුක්කො = අපායට රුචි වූ පාපී මාරය, ඔබ (මගේ බුද්ධත්වයෙන්): අටවන සතියෙහි පටන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා” යනුවෙන් හඬ නංවමින් ඇවිද්දෙහිය. දැන් අද පටන් උත්සාහ ගැනීම නවතන්න. පිරිනිවීම සඳහා මට පෙළඹවීම් නොකරන්න, යනුවෙන් වදාරති.