1. චාපාල වර්ගය
1. අපාර සූත්‍ර වර්ණනාව
ඉද්ධිපාද සංයුත්තයේ පළමු වැන්නෙහි - ඡන්‍දය (කැමැත්ත) නිසා පවත්වනු ලබන සමාධිය. ඡන්‍දසමාධි නම් වේ. ප්‍රධාන වූ සංස්කාරයෝ (යන අදහස සඳහා) පධාන සඞ්ඛාරා (යයි යෙදේ) සමන්නාගතං = ඒ ධර්මයන්ගෙන් යුක්ත වූයේ. සෘද්ධිය සඳහා මුල්වූයේ හෝ ඍද්ධිය ලැබූ පසුබිමය හෝ යනුවෙන් ඉද්ධිපාද නම් වේ. සෙස්සෙහි ද මේ පිළිවෙළම වේ. මෙය මෙහි සංක්‍ෂේපයයි. විස්තරය වනාහී ඉද්ධිපාද විභංගයෙහි දක්වන ලදී. විශුද්ධි මාර්ගයෙහි මෙයට අර්ථ දක්වන ලදී. එසේම මග්ග, බොජ්ඣඞ්ග, සතිපට්ඨාන යන සංයුත්තයන්හි ද, මෙහි ද එක් පරිච්ඡේදයක්ම වේ.
5. පදෙස සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - ඉද්ධිපාද පදෙසං = මාර්ග තුන ද ඵල තුන ද වේ.
6-9. සමත්ත ආදි සූත්‍ර වර්ණනා
සය වැන්නෙහි - සමත්තං ඉද්ධිං = අර්හත් ඵලය ද වේ. මුල පටන් සූත්‍ර නවයෙහි නිවන මුල්කර ගෙන ම ඍද්ධිපාදයන් කියන ලදී.
10. චෙතිය සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - නිසීදනං = සම්කඩ අදහස් කරන ලදී. උදෙන චෙතියං = උදෙන නම් යක්ෂයාගේ චෛත්‍ය ස්ථානයෙහි කරන ලද විහාරය යයි කියනු ලැබේ. ගොතම ආදියෙහි ද මේ පිළිවෙළම වේ. භාවිතා = වර්ධනය කරන ලදී. බහුලීකථා = නැවත නැවත කරන ලදී. යානීකතා = යොතෙන් බැඳි යානයක් මෙන් කරන ලදී. වත්‍ථුකථා = ස්ථානය යන අර්ථයෙන් ස්ථානය මෙන් කරන ලදී. අනුට්ඨිතා = අධිෂ්ඨාන කරන ලද (හෝ ස්ථිර වාසයට පැමිණි) පරිචිතා = හැම අයුරින්ම රැස් කළ, වර්ධනය කළ සුසමාරද්ධා = මනාව ආරම්භ කරන ලදී.
මෙසේ අනියමින් කියා නැවත නියම ලෙස දක්වන්නේ තථාගතස්සඛො යන ආදිය කීය. මෙහිදී කප්පං යනු ආයුෂ කාලයයි. (හෙවත් ආයුෂ ප්‍රමාණයයි. ඒ කාලයෙහි මිනිසුන්හට යම් ආයු ප්‍රමාණයක් වී ද එය සම්පූර්ණ කරමින් වසන්නේ ය. කප්පාව සෙසංවා වාසය කරන ලද අවුරුදු සියය ඉක්මවා ගත කළ කාලය. එය සුළු හෝ වැඩි ප්‍රමාණයක් විය හැක. මහා සීව ස්ථවිර තෙමේ මෙසේ කීය. බුදුවරුන්ගේ වනාහී අනවශ්‍ය තැන්හි හඬ නැගීමක් නැත. බේළුව ගමෙහිදී උපන් මාරාන්තික වේදනාව දසමසක් යටපත් කළහ. මෙසේ නැවත නැවත ඒ සමවතට සමවැදී දසමස බැගින් යටපත් කරමින් මේ භද්‍ර කල්පයම වැඩ සිටිය හැකි වන්නේය.
කුමක් නිසා නො සිටියෝ ද යත්- උපාදාන හේතූන්ගෙන් හටගත් සිරුර කැඩීම් බැඳීම් (අබලන්වීම්) ආදියෙන් මැඩ පවත්වනු ලබයි. බුදුවරු වනාහී අබලන් වීමට නො පැමිණ අවසන් වයස් කොටසේදී, බහුජනතාව ප්‍රිය මනාප කාලයෙහිදීම පිරිනිවෙත්. බුද්ධානුගාමිකයන් වහන්සේලා ද, මහාශ්‍රවකයන් වහන්සේලා පිරිනිවි කල්හි තථාගතයන් වහන්සේ හුදෙකලා කණුවක් මෙන් පැවතිය යුතු වන්නාහ. බාල සාමණේරවරුන් පිරිවරා ගෙන සිටීමෙන් “අහෝ ! බුදුන්ගේ පිරිස (ක සැටි)” යයි පහත් කොට සලකනු ලැබීමට පත්විය හැක. එහෙයින් වැඩ නොසිටියහ. මෙසේ කියන ලද කල්හි ද උන්වහන්සේ ආයුකල්පයම වැඩ සිටීමට රුචි නොවන සේකැයි යන මේ කරුණ අටුවාවෙහි දැක්වේ.
යථා තං මාරෙන පරියුට්ඨිත චිත්තො = මෙහි “තං” යනු නිපාත මාත්‍රයකි. යම් සේ මාරයා විසින් මැඩ පවත්වන ලද, යටපත් ලද සිත් ඇති අන් කිසියම් පුහුදුන් අයෙක් නම් අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ ය. එසේම (මෙහි ඇත්තේ) අවබෝධ කර ගැනීමට නො හැකි වූයේය යන අදහසයි. යමකුගේ දොළසක්වන සියලුම විපර්යාසයන් හැම අයුරින්ම ප්‍රහීන නො වීද, මාරයා ඔහුගේ සිත යටපත් කර ගනියි. තෙරණුවන්ගේ ද ප්‍රහීන නොවූ විපල්ලාසයන් සතරක් වේ. එ බැවින් මාරයා උන්වහන්සේගේ සිත මැඩ පැවැත්වීය. සිත යටපත් කරන්නා වූ හේ තෙමේ කුමක් කරන්නේද යත් - භයානක අරමුණක් දක්වයි, ශබ්ද අරමුණක් හෝ අස්වයි. එහෙයින් සත්ත්වයෝ එය දැක හෝ අසා හෝ සිහිය අවුල් කරගෙන අයාගත් මුව ඇතිව සිටිත් ඔවුන්ගේ මුඛයෙන් ඇතුළට අත යවා හදවත මර්දනය කරයි. ඔව්හු විසංඥාවී සිටිත්. මේ (මාර) තෙමේ තෙරුන්ගේ මුඛයෙන් අත ඇතුළට යැවීමට හැකිවන්නේ ද යත් - බියකරු අරමුණු පවා දැක්වීය. එය දැක ස්ථවිර තෙමේ නිමිත්තෙහි අරමුණ නො ගත්තේය. එය දැන ගත්තාහු නමුදු භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් තුන් වරක් දක්වා ආමන්ත්‍රණය කළසේක්ද යත් - ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉදිරියෙන් සිටිනු මැනව යි අයැද සිටි කල්හි මෙය ඔබගේ ම දෝෂයකි, මෙය ඔබගේම අපරාධයකි යනුවෙන් දොස් පැවරීමෙන් ශෝකය තුනී කරනු පිණිසය.