එහි සියලු බලුකැණහිල් ආදීන්ගේ ද පෙනුමෙන් සමානත්වයක් නැත්තේය යන්නක් තුලං යන්නෙන් හැඟේ. ඒ කුමක්දයත් - කාමාවචර කර්මයයි. සමානවූවක් නැත. එයට සමානවූ අනික් ලෞකික කර්මයක් නැතැයි යනුවෙන් අතුලං යි යෙදේ. ඒ කුමක්දයත් - උසස් බවට පත්වූ කර්මයයි. නැතහොත් කාමාවචර ද, රූපාවචර ද සමාන වේ. අරූපාවචරය අසමාන වේ. අල්ප විපාකය සමාන වේ. බහු විපාකය අසමාන වේ. සම්භවං = ඔවුන්ගේ භවයට හේතු වූ අහර පිඬු කිරීම හා රැස් කිරීම යන අරුත යි. භව සඞ්ඛාරං = පුනර්භවයේ හේතුව වූ සංස්කාරය අවස්සජි = විසුරුවා හළේය. මුනි = බුදු වූ මුනිවරයා අජ්ඣත්තරතො = ස්වකීය අධ්‍යාත්මයෙහි ඇලුනේ. සමාහිතො = උපචාර හා අර්පණා වශයෙන් සන්සුන් වූයේ. අභින්‍දිකවචමිවා = යුද්ධ සන්නාහයන්ගෙන් බිඳ දැම්මේය. අත්තසමගවං = තමා තුළ උපන් කෙලෙස් මෙය ද කියන ලද්දේ වෙයි විපාක සහිතය යන අර්ථයෙන් ද, භවය සකස් කිරීම යන අර්ථයෙන් ද “භවසඞ්ඛාර” යයි නමක් ලබා ඇත්තේ ද වෙයි. තුල අතුල ලෙස ගැනෙන ලෞකික කාර්යයන් ද අත් හළේය. සංග්‍රාමය කෙළවර මහා යෝධයකු සන්නාහයක් අත්හරින්නාක් මෙන්, තමා තුළ හටගෙන ඇති කෙළෙස් ද අධ්‍යාත්මයෙහි ඇලී සන්සුන් වී බිඳ හළේය.
එසේ නැතහොත් (මෙසේද අරුත් දැක්විය හැක්කේය) තුලං = තුලනය කරනුයේ තීරණය කරනුයේ අතුලඤ්ච සම්භවං = නිවන ද භවය ද භවසඞ්ඛාරං = භවය සමග යන කර්මය. අවස්සජිමුනි = පංචස්කන්ධයන් අනිත්‍යය. පංචස්කන්ධයන්ගේ නිරුද්ධ වීම නම් වූ නිවන නිත්‍යය යන ආදී පිළිවෙළින් සසඳන්නාවූ බුදුන් වහන්සේ භවයෙහි ආදීනවය ද, නිවනෙහි අනුසස් ද දැක ස්කන්ධයන්ගේ මුල හේතුවවූ එම භව සංස්කාරය කර්මයන් ක්ෂය කිරීම දක්වා පවත්නේ ය යනුවෙන් කියන ලද කර්මය ක්ෂය කරන්නා වූ ආර්ය මාර්ගයෙන් කර්මය අත් හළහ. කෙසේද යත් අජ්ඣත්තරතො සමාහිතො අභින්‍දි කවචමිවත්තසම්භවං = උන්වහන්සේ වනාහී විදර්ශනා වශයෙන් අධ්‍යාත්මයෙහි ඇලුනාහුද, සමථ වශයෙන් සන්සුන් වූවාහු ද වෙති. මෙසේ පූර්ව භාගයෙහි පටන් සමථ විදර්ශනා බලයෙන් ආත්මභාවය ආවරණය කරගෙන සිටි සන්නාහයක් මෙන් වූ ද, තමා තුළ හටගත් බැවින් “අත්ත සම්භව” යන නම ලැබුවාවූ ද සියලු කෙලෙස් බිඳ හෙලූහ. කෙලෙස් නැති බැවින් ද, කර්මය පිළිසිඳ නොගන්නා බැවින්ද අවසිට්ඨ (ඉතිරි) යන නම ඇති වේ. මෙසේ කෙලෙස් ප්‍රහාණයෙන් කර්මය අත්හළහ. ප්‍රහීන වූ කෙලෙස් ඇති තැනැත්තා හට බියක් නම් නැත. එහෙයින් නො බියවම ආයු සංස්කාරය හළහ. නිර්භීත බව දැක්වීම පිණිස ද උදන් ඇනූ සේකැයි දත යුතුයි.
පළමුවන චාපාල වර්ගය නිමි.
2. පාසාදකම්පන වර්ගය
1-2. හෙතු ආදි සූත්‍ර වර්ණනා
දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - නච අතිලීනො යන ආදිය බැහැරින් දර්ශනය වෙයි. මේ සූත්‍රයෙහිදී අභිඥා සය පාදක කොට ඇති ඍද්ධිපාදයන් කියන ලදී. දෙවැන්නෙහිද එසේමය.
3. ඡන්ද සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි ඡන්‍දං = කරනු කැමැත්ත “ඡන්‍ද” නම් වේ. නිස්සාය = ආශ්‍රය කොට, නායකයා කොට යන අර්ථයයි. පධාන සඞ්ඛාරා = ප්‍රධාන වූ සංස්කාරයෝ කාර්යයන් සතර සිදු කිරීමට හේතු වන මනාවූ වීර්යයට මෙය පර්යාය වචනයකි. ඉති අයඤ්ච ඡන්‍දො යන ආදියෙහි “ඡන්‍දය” නම් ඡන්දයෙන් ද භාවනා සංස්කාරයගෙන් ද යුක්ත වූ ඡන්‍ද සමාධියයි. භාවනා සංස්කාරයන් ද ඡන්‍දයෙන් හා සමාධියෙන් ද යුක්ත වේ. එහෙයින් මේ සියලු ධර්මයන් එකතු කොට අයං වුච්චති භික්‍ඛවෙ ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්නාගතො ඉද්ධිපාදො (මහණෙනි මෙය ඡන්‍ද සමාධිය, භාවනා සංස්කාරය යන මේවායින් යුක්ත වූ ඉද්ධි පාදය වේ) යයි කියන ලදී. ඉද්ධිපාද විභඞ්ගයෙහිදී වනාහී වේදනා ස්කන්ධය යන ආදී පිළිවෙළින් මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සෙසු අරූපී ධර්ම ඉද්ධිපාද යයි කියන ලදී.
තව ද මේවායින් ධර්මයන් තුනක් ඍද්ධීන් හෝ ඍද්ධිපාදයන් වේ. ඒ කෙසේද යත් - ඡන්‍දය (කැමැත්ත) වඩන්නහුට ඡන්‍දය ඍද්ධි නම් වෙයි. සමාධි භාවනා සංස්කාරයන් “ඡන්‍දිද්ධි පාද” නම් වේ. සමාධිය වඩන්නහුට සමාධිය “ඉද්ධි” නම් වෙයි. ඡන්ද භාවනා සංස්කාරයන් සමාධි ඉන්‍ද්‍රියයට පාද (හේතු හෝ අත්තිවාරම) නම් වේ. භාවනා සංස්කාරයන් වඩන්නහුට භාවනා සංස්කාරයන් “ඉද්ධි” නම් වේ. ඡන්ද සමාධි භාවනා සංස්කාර ඉන්‍ද්‍රියයන් පාද (හේතු හෝ අත්තිවාරම්) නම් වේ. එකට එක්ව යෙදුන ධර්මයන්හි එකක් සමෘද්ධ වන කල්හි සෙස්ස ද සමෘද්ධ වේමය.
තව ද ඒ ඒ ධර්මයන්ගේ (ධ්‍යාන සමාපත්තීන්හි) පූර්ව භාව වශයෙන් ද මේවායේ ඍද්ධිපාද භාවය දත යුතුය. ප්‍රථම ධ්‍යානය “ඍද්ධි” නම් වේ. ප්‍රථම ධ්‍යානයේ පූර්ව භාගයෙහි, මූලික කාර්යයන්ගෙන් යුක්ත වූ ඡන්ද ආදිය “සෘද්ධිපාද” නම් වේ. මේ පිළිවෙළින් “නේවසඤඤා නාසඤ්ඤායතනය” දක්වා, ඍද්ධි විධ ඥානය ආදි කොට දිව්‍ය චක්ෂුර් ඥානය දක්වා, සෝවාන් මාර්ගය ආදි කොට අර්හත් මාර්ගය දක්වා පිළිවෙළ ගෙන යා යුතු වේ. සෙසු ඍද්ධිපාදයන්හිද මේ පිළිවෙළම වේ.
ඍද්ධිපාදය සමෘද්ධ නොවීයයි ඇතැමෙක් කියති. මෙහිදී ඔවුන්ගේ වාද මර්දනය පිණිස අභිධර්මයෙහි “උත්තර චුළවාරෝ යන නම එයි.
ඉද්ධිපාද සතරක් වේ. එනම් ඡන්‍දිද්ධිපාද, චිත්තතිද්ධිපාද, විරියිද්ධිපාද, වීමංසිද්ධිපාද යනුයි. එහි ඡන්‍දිද්ධිපාද නම් කුමක්ද යත් - මෙහි භික්ෂුවක් යම්කිසි කලෙක්හි නෛර්යාණිකවූ, නිවනට පමුණුවන්නාවූ, ලෝකෝත්තර ධ්‍යානයක් වඩන්නේ ද වැරදි දෘෂ්ටීන් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රථම භූමියට පැමිණීමෙන් කාමයන්ගෙන් වෙන්ව -පෙ- දුක සේ පිරිය යුතු ප්‍රතිපදාවක් සහිත වූ, වෙහෙසවී ලබා ගතයුතු අභිඥා සහිත වූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එකල්හි කැමති බැවින් “ඡන්‍ද” යයි ද, ක්‍රියා කිරීමට කැමති බැවින් “කුසල” යයි ද නම් ඇති ධම්ම ච්ඡන්‍ධ වන මෙය “ඡන්‍දිද්ධි පාද” නම් වේ. අන් ධර්මයන් ඡන්‍දිද්ධි පාදය සමග එක්ව යෙදී ඇත.