1. ජරා සූත්‍ර වර්ණනාව
පස්වැන්නේ පළමුවැන්නෙහි - පච්ඡාතපකෙ = ප්‍රාසාදයෙහි ඡායාවෙන් පෙරදිග පෙදෙස වැසී ඇති බැවින් ප්‍රාසාදයේ බටහිර දෙසෙහි අව්ව පවතී. ඒ ස්ථානයෙහි පණන ලද උත්තම බුද්ධාසනයෙහි වැඩ හුන්නේය යන අර්ථයයි. පිට්ඨිං ඔතාපයමානො = සම්මා සම්බුදුන් වහන්සේගේ වුවද උපාදාන හේතුවෙන් ඇතිවූ ශරීරයේ උෂ්ණ කාලයෙහි උෂ්ණය ඇති වෙයි, ශීත කාලයෙහි සීතල ඇති වෙයි. මෙය ද හිම වැටෙන ශීත කාලයයි. එහෙයින් මහ සිවුර (සඟල සිවුර) පහළට ගෙන සූර්ය රශ්මියෙන් පිට තවමින් වැඩ හුන්නේය.
කිම බුදු රැස් මැඩගෙන ඇතුළට පිවිසීමට හිරු රැසට හැකිවේදයත් :- නො හැක්කේය. එසේ ඇති කල්හි කුමක් නම් තවන්නේද? රශ්මියෙහි තේජසයි. තථාගතයන් වැඩ සිටි මධ්‍යස්ථානයෙහි හාත්පස විසුරුණු ඡායාව තුළ පිහිටි රුක්මුල වැඩ හුන් උන්වහන්සේගේ සිරුර සුර්ය රශ්මිය ස්පර්ශ නොකරයි. තේජස සියලු දිසාවන්හි ම පැතිරෙයි. ගිනිදැල්වලින් වටවූයේ මෙන් වෙයි. මෙසේ බුදුරැස් මැඩ ගෙන ඇතුළට පිවිසීමට හිරු රැස්වලට නො හැකිවන කල්හි වුව ද ශාස්තෲන් වහන්සේ සූර්ය තේජස තවමින් වැඩ හුන්නාහ යි දත යුතුය.
අනොමච්ඡන්තො = පිටට සත්කාර කිරීම් වශයෙන් පිරිමදිමින් අච්ඡරියං භන්තෙ = භාග්‍යවතුන් වහන්සේගේ පිටෙන් සඟල සිවුර පහත් කොට වැඩ සිටි සේක් උන්වහන්සේගේ දෙ උර හිස් අතරෙහි රන් කවයක් වැනි කෙස්ගසක් පමණැති රැලි වළක් දැක (අනඳ) තෙරණුවෝ මෙබඳුවූ සිරුරෙහි පවා ජරාවට පත්වීම් පෙනෙන්නට තිබේ යයි හටගත් සංවේග ඇත්තේ ජරාවට ගරහමින් මෙසේ කීහ. මෙය ගර්හා කිරීමේ ආශ්චර්යය නම් වෙයි.
න චෙවදානි භන්තෙ භගවතො තාව පරිසුද්ධො = යම් සේ ප්‍රකෘතියෙන් සමේ වර්ණය පිරිසිදු වේද, දැන් එසේ නොවේ යයි දක්වන්නේ මෙසේ කීය. තථාගතයන් වහන්සේට වනාහී තරුණ කාලයෙහි සිය ගණන් උල් ගසා සුමටව සැකසු ගව සමක් මෙන් රැලිවලින් තොර සිරුරක් වෙයි. එම සිරුරෙහි තැබූ අත ලිස්සා යයි, එක තැන රඳා නො සිටියි. තෙල් පිස දමන මෘදු පියාපතක් මෙන් වෙයි (ලිස්සා යයි) මහලු කල අන් අයගේ නහර වැල් මතු වෙයි. ලොකු කුඩා සන්‍ධි ස්ථාන ද ලිහිල් වෙයි. මාංස පේශි ඇටවලින් මිදී ලිහිල් බවට පැමිණ ඒ ඒ තැන්හි එල්බ පවතී. බුදුන් වහන්සේලාගේ වනාහී එසේ නොවේ. අන් අයහට ප්‍රකට නොවන ලක්‍ෂණ ද, බුදුන් වහන්සේගේ අසලම නොවේ. අන් අයහට ප්‍රකට නොවන ලක්‍ෂණ ද, බුදුන් වහන්සේගේ අසලම හැසිරෙන බැවින් අනඳ තෙරුන් හටම ප්‍රකට වෙයි. එබැවින් මෙසේ කීය.
සිථිලානි ගත්තානි = අන් අයගේ මුහුණෙහිද, උරහිස් අතරෙහි ද යන ඒ ඒ තැන්හි රැලි පවතී. ශාස්තෲන් වහන්සේගේ වනාහී එසේ නැත. (ආනන්ද) ස්ථවිර තෙමේ ද දෙ උරහිස් අතරෙහි රැලිවළක් දැක මෙසේ කීය. ගත්තානි වලිජාතානි = මෙය ද තමාට පෙනුණ අයුරින්ම කීය. ශාස්තෲන් වහන්සේට වනාහී අන් අයට මෙන් රැලි නැත්තේය. පුරතො පබ්භාරොච කායො ශාස්තෲන් වහන්සේ බ්‍රහ්මයාගේ මෙන් ඍජු ශරීරයක් ඇති සේක. දිව්‍ය නගරයෙහි ඔසවන ලද රන් තොරණක් මෙන් උන්වහන්සේගේ කය ඍජු වන්නේමය. උස් වූ බැවින් මහලු කල්හි ශරීරය පෙරට නැමී සිටියි. ඒ බව අන් අයහට පැහැදිලිව නොපෙනේ. සමීපයෙහි හැසිරෙන බැවින් (අනඳ) තෙරුන් හටම පැහැදිලිව පෙනේ. එබැවින් මෙසේ කීය. දිස්සතිච ඉන්‍ද්‍රියානං අඤ්ඤථත්තං = ඉන්‍ද්‍රියයන් නම් ඇසින් දැකිය යුතු කොටස් පමණක්ම නොවේ. යම් හෙයකින් ස්වභාවයෙන් සම පිරිසිදු වර්ණයකින් යුතු වූයේ ද, දැන් එසේ පිරිසිදු නොවේ. දෙ උරහිස් අතරෙහි රැලි පෙනෙයි. බ්‍රහ්මයාගේ මෙන් ඍජු වූ කය පෙරට නැමී ඇත. මේ කරුණින් ම ඇස් ආදී ඉන්‍ද්‍රියයන්ගේ ද වෙනස්වීම් සිදුවිය යුතුය යන්න තර්කානුකූලව ගැනීමෙන් මෙසේ කීය. ධී තං ජම්මි ජරේ අත්‍ථු = නීච වූ ජරාවෙනි, ඔබට නින්දාවේවා, නින්දාව ඔබ වෙත පැමිණේවා = බිම්බං = ආත්ම භාවය.
2. උණ්ණාභබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ගොචර විසයං = හුරු පුරුදු විෂයය හෝ ස්ථානය හෝ කරුණ අඤ්ඤමඤ්ඤස්ස = ඇස කණට හෝ කණ ඇසට හෝ වශයෙන් එකක් එකට නො ගැලපෙන අනිකකට අගෝචර විෂයයක් වන විට එකිනෙක සම්බන්ධතාවයන් ඇති නොවේ. ඉදින් නිල්පැහැ ආදී වෙනස්කම් ඇති රූප අරමුණු එකට කැටි කොට “මෙය කුමක්දැයි කියන්න, පැහැදිලි කර දෙන්න මේ ආරම්මණයා කුමක් නම් වේද?” ආදී වශයෙන් කියමින් යමකු එය කණ නමැති ඉන්‍ද්‍රියය වෙත යොමු කරන්නේ ද, එසේ කළ කල්හි චක්‍ඛු විඤ්ඤාණය තෙමේ තමා මුඛයකින් තොර වූයේ නමුදු තමාගේ ධර්මතාවය, ස්වභාවය අනුව මෙසේ කියන්නේ ය. කෙසේද යත් : “එම්බල ඥානහීන මුග්ධය, ඥානහීන මුග්ධය, අවුරුදු සීයක් හෝ අවූරුදු දාහක් හෝ ඒ ඒ තැන්හි දුවමින් මගෙන් තොර වෙනත් කොතැනකදී මේ පිළිබඳ දැනුමක් ලබන්නෙහිද? එය ගෙනෙව, චක්ෂු ප්‍රසාදය (පෙනීම නම් ඉන්‍ද්‍රිය ශක්තිය) වෙත යොමු කරව, මම මේ අරමුණ නිල් පැහැති ද, කහ පැහැති ද යන බව දනිමි. මෙය වෙනත් අයකුගේ විෂයයක් නොවේ. මෙය මගේම විෂයය”යි යනුවෙනි. (කන් ආදී) සෙසු (ඉන්‍ද්‍රිය) දොරටු කෙරෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේම අන්‍යවූ ඉන්‍ද්‍රියකට ගෝචරවන විෂයයක් වෙනත් ඉන්‍ද්‍රියයකට ගෝචර වන්නේ නොවේ.
කිං පටිසරණං = මේ අයට කුමන පිළිසරණක් දැයි විචාරයි. මනො පටිසරණං = ජවන් සිත පිළිසරණ වෙයි. මනොච නෙසං = මනස නමැති දොරටුවෙහි පවතින ජවන් සිත ම මේ ඉන්‍ද්‍රියයන්ගේ ගෝචර විෂයය සිතෙහි ඇලීම ආදී වශයෙන් සම්බන්ධ කර ගනී. චක්ෂුර් විඥානය වනාහී රූප දර්ශන මාත්‍රයම පමණි. මෙහි ඇලීමක් හෝ කිපීමක් හෝ මුලා වීමක් හෝ (වෙන වෙනම) නැත. එකම ඉන්‍ද්‍රිය වාරයෙහි ජවන් සිත ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුලා වීමක් හෝ (වෙන වෙනම) නැත. එකම ඉන්‍ද්‍රිය ද්වාරයෙහි ජවන් සිත ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුලාවට පැමිණෙන්නේ හෝ වෙයි. සෝත විඤ්ඤාණ ආදියෙහි ද මේ පිළිවෙළ ම වේ.