9. විභඞ්ග සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - සති නෙපක්කෙන = මෙහි බුද්ධිමත් බව (නිපක භාවය) නෙපක්ක නම් වේ. මෙය ප්‍රඥාවට නමකි. කුමක් හෙයින් වනාහී සතිය (සිහිය) බෙදා දැක්වීමේදී ප්‍රඥාව යයි කියන ලද්දේද යත් - සිහියෙහි බලවත් බව දැක්වීම පිණිසය. බලවත් සිහියම මෙහිදී අදහස් වේ. එය ද ප්‍රඥාව මුල් කොට ගත් බලවත් ස්වභාවයක් වේ. ප්‍රඥාවෙන් වෙන් වූවක් නොවේ. ප්‍රඥාව මුල් කොට ගත් සිහිය දක්වමින් මෙසේ කීය. චිර කතං = දිගු කලක් තුළ කරන ලද දන්දීම හෝ සිල් රැකීම හෝ පොහෝ දින පෙහෙවස් රැකීම හෝ වේ. චිරභාසිතං = අසවල් තැනෙහිදී මා විසින් අසවල් නම් දෙය කියන ලද්දේ යයි යනුවෙන් මෙසේ දිගු කලක් තුළ කියන ලද දෙය වොස්සග්ගාරම්මණං කරිත්‍ථා = නිවන අරමුණු කොට උදයත්‍ථ ගාමිණියා = උදාවීමට ද අස්තවීමට ද යන්නා වූ ඇති වීම හා නැතිවීම යන ස්වභාවයන් ග්‍රහණය කර ගැනීම පිණිසය යන අර්ථයයි. මේ සූත්‍රයෙහිදී ශ්‍රද්ධා සති ප්‍රඥා එක් වූ සමාධි ඉන්‍ද්‍රියය ඉපදවූ ලෝකෝත්තර ස්වභාවයම කියන ලදී. දස වැන්නෙහි ද මෙම දහම් බෙදීමම පවතී.
පළමු වන සද්ධින්‍ද්‍රිය වග්ගය නිමි.
2. මුදුතර වර්ගය
1. පටිලාභ සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - සම්මප්පධානෙ ආරබ්භ - යහපත් වීර්යයන් හේතු කොට ගෙන යහපත් වීර්යය වඩන්නේ යන අර්ථයයි. සති ඉන්‍ද්‍රියයෙහි ද මේ පිළිවෙළ ම වේ.
2. සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - තතො = විදර්ශනාව මාර්ග ඵල වශයෙන් මිශ්‍රවූයේ යයි දත යුතුය. සියලු අයුරින්ම පරිපූර්ණ (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන) ඉන්‍ද්‍රියයන් පස අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. තතො මුදු තරෙහි = ඒ අතුරින් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන්ගෙන් වඩාත් ලිහිල් වනුයේ අනාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. එයටද වඩා ලිහිල් වනුයේ සකෘදාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියන්ය. සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයටද වඩා ලිහිල් වේ. ධර්මානුසාරී මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයටද වඩා ලිහිල් වේ.
එසේ ම හැම අයුරින්ම පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් පස නම් අර්හත් මාර්ග ඵල ඉන්‍ද්‍රියයන් වේ. අනාගාමී, සකෘදාගාමී, සෝවාන් මාර්ග ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ. ධර්මානුසාරී මාර්ගයේ ඉන්‍ද්‍රියය එයට ද වඩා ලිහිල් වේ. හැම අයුරින් ම පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් පස නම් අර්හත් ඵලයේ ඉන්‍ද්‍රියයන් වේ. අනාගාමි ඵලයේ ඉන්‍ද්‍රියයන් එයට වඩා ලිහිල් වේ. සකෘදාගාමි ඵලයේ ඉන්‍ද්‍රියය එයටත් වඩා ලිහිල් වේ. සෝවාන් ඵලයේ ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ.
ධර්මානුසාරී ශ්‍රද්ධානුසාරී යන දෙදෙනා ද සෝවාන් මාර්ගයෙහි පිහිටි පුද්ගලයෝය. මාර්ගස්ථ පුද්ගලයන් වශයෙන් ඔවුන් හට වෙනත් වෙනත් ස්වභාවයන් ඇතිබව දතයුතුය. ශ්‍රද්ධානුසාරී පුද්ගලයා වනාහී පැමිණෙන ආකාරයෙන් ද, මාර්ගය වශයෙන් ද උපදෙස් ලබනුයේ ප්‍රශ්න කරනුයේ අනුපිළිවෙළින් මාර්ගයට පැමිණෙයි. ධර්මානුසාරී පුද්ගලයා ශ්‍රවණය කිරීම් එකකින් හෝ දෙකකින් මාර්ගයට පැමිණෙයි. මෙසේ ඔවුන්ගේ මාර්ගයට පැමිණීමෙහි වෙනස්කමක් ඇති බව දත යුතු වේ.
ධර්මානුසාරී පුද්ගලයාට වනාහී මාර්ගය තියුණු වේ. සූර ලෙස නුවණ මතු වෙයි. සංස්කාරයන්ගෙන් තොරව, වෙහෙසීමෙන් තොරව තියුණු කඩු තලයකින් කෙසෙල් කඳක් කපන්නා සේ කෙලෙස් හිඳ දමයි. ඔහුට මෙන් ශ්‍රද්ධානුසාරී පුද්ගලයාට මාර්ගය තියුණු නොවේ. සූර ලෙස නුවණ මතු නොවේ. සංස්කාරයන්ගෙන් යුතුව, වෙහෙසීමෙන් යුතුව. බෙහෙවින් ගෙවීගිය කඩු තලයකින් කෙසෙල් කඳක් කපන්නා සේ (අපහසුවෙන්) කෙලෙස් නසයි. කෙලෙස් ක්ෂය වීමේ දී වනාහී ඔවුන් ගේ වෙනස් බවක් නැත්තේය. ඉතිරිව ඇති කෙලෙස් ක්ෂය වේ.