4-5. උක්කචෙල ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - අචිර පරිනිබ්බුතෙසු සාරිපුත්ත - මොග්ගල්ලානෙසු = දෙ අග සවුවන් පිරිනිවී දිගුකල් යාමට පෙර ඒ දෙදෙනා වහන්සේගෙන් දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ ඉල්මස පුන් පොහෝ දින පිරිනිවියහ. මහ මුගලන් තෙරණුවෝ එයින් අඩ මසක් ඉක්මවා අව පසළොස්වක් පොහෝ දින පිරිනිවියහ. ශාස්තෲන් වහන්සේ දෙඅගසවුවන් පිරිනිවි කල්හි මහ බික් සඟන පිරිවරණ ලදුයේ මහාමණ්ඩල ප්රදේශයෙහි චාරිකාවේ යෙදෙන්නාහු අනු පිළිවෙළින් “උක්කවෙල” නම් නගරයට පිවිස එහි පිඬු පිණිස හැසිර ගඟ ඉස්මත්තෙහි රිදීපටක පැහැය ගත් වැලි තලායෙහි නැවතුණහ. එහෙයින් “අචිර පරිනිබ්බුතෙසු සාරිපුත්ත මොග්ගල්ලානෙසු” (සැරියුත් මුගලන් තෙරවරුන් පිරිනිවී දිගුකල් යාමට පෙර) යයි කියන ලදී. යෙ මහන්තතරා ඛන්ධා තෙ පලු ජ්ජෙය්යුං = මෙහිදී ද යොදුන් සියයක් උස් වූ මහදඹ රුක මෙන් භික්ෂු සංඝයා දැක්වේ. දෙ අගසවුවෝ ඒ වෘක්ෂයේ දකුණෙන් ද උතුරෙන් ද විහිදුණ යොදුන් පනසක් බැගින් වූ මහ කඳන් දෙක මෙන් වෙති. සෙස්ස පෙර පිළිවෙළින් ම යෙදිය යුතුය. පස් වැන්නෙහි දිට්ඨි = කර්මය නිමිති කොට ඇති බව යන දෘෂ්ටිය.
6. උත්තිය සූත්ර වර්ණනාව
සයවැන්නෙහි මච්ඛු ධෙය්ය ස්ස පාරං = ත්රෛභූමික ලෝක පැවැත්මේ පරතෙරවූ නිර්වාණය.
8. බ්රහ්ම සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - කායෙවා භන්තෙ භික්ඛු = ඒ කාලයෙහි “භික්ඛු” යන්නක් නොවීය. එසේ වූ කල්හි ද යමකු සතිපට්ඨානයන් වඩයි ද, හේ තෙමේ කෙලෙස් බිඳීමෙන් භික්ෂුවරයෙක් (භින්දනෙන භික්ඛු) වන්නේ යයි දක්වමින් මෙසේ කීය. එකායනං = එකම මාර්ගය ජාතිඛයන්ත දස්සී = ජාතියෙහි ක්ෂය වීම සිදුවෙයි යනු ද, කෙළවර වීම සිදුවෙයි යනු ද නිවනයි. එය දකියි යන අර්ථයයි. මග්ගං පජානාති = ඒකායන යයි කියනු ලබන, එකම මාර්ගය වූ මාර්ගය දනියි. පූර්වභාග සතිපට්ඨාන මාර්ගය ඒකායන මාර්ගය යයි කියනු ලැබේ. එය දන්නේය යන අර්ථයයි.
9. සේදක සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - සුම්හෙසු = මේ නම ඇති ජනපදයෙහි මෙදකථාලිකා = මෙසේ ස්ත්රී ලිංග වශයෙන් ලැබුණ නාමයකි. (මෙද ථාලිකා යන්නෙහි පදගතාර්ථය නම් මේදය බහා ඇති සැලිය යන්නයි) මමං රක්ඛ අහං තං රක්ඛිස්සාමි = මෙය ඔහුගේ විශ්වාසය වෙයි. මනාව ඔසවා තබන ලද උණ ගස නොගන්නාවූ ද, අතවැසියා යොමු කරන කරන දිසාවට නොයන්නාවූ ද, හැම විටම උණගසේ අග නො බලන්නාවූ ද ඇදුරු තෙමේ අතවැසියා නො රකී. මෙසේ රකිනු නො ලබන අතවැසියා ඇදවැටී සුණු විසුණු වෙයි. උණගස මනාව අල්වාගන්නාවූ ඔහු (අතවැසියා) විසින් යොමු කෙරෙන කෙරෙන දිසාවට යන්නාවූ හැම විටම උණ ගසේ අග බලන්නාවූ හේ (ඇදුරු) තෙමේ අතවැසියා ආරක්ෂා කරයි. එහි මෙහි පැන මුවකුමෙන් ක්රීඩා කරන අතවැසියා ද ඇදුරා නොරකියි. මෙසේ ඇති කල්හි ඇදුරාගේ ගෙළෙහි වළක් වැනි තැනෙහි හෝ නළලෙහි හෝ උණගසේ තියුණු කෙළවර තබන ලද්දේ නම් එය තැබූ තැන බිඳී යන්නේය. පවත්නා ආකාරය අනුව උණගස නමන්නේ ද, එය නො නැමී බිඳී යන්නේ වෙයි. එවිට එකතු කොට ධාතු ප්රත්ථම්භය ගෙන්වා ගෙන සිහිය මනාව පිහිටුවා නිසලව හිඳිනා අතවැසියා ඇඳුරා රකියි.
ත්වං ආචරිය අත්තානං රක්ඛ අහං අත්තානං රක්ඛිස්සාමි = මෙහි අදහස මෙසේ වේ. අතවැසියා විසින් යොමු කෙරෙන කෙරෙන දිසාවට යන්නාවූ ද, හැම විටම උණගසේ කෙළවර බලන්නාවූ ද, උණ ගස මනාව ගන්නාවූ ද ඇදුරු තෙමේ තමා රැකගන්නේ වෙයි. අතවැසියා රකින්නේ නොවේ. තමා ම රැකගන්නේ වෙයි, අතවැසියා රකින්නේ නොවේ. ශරීරය එකසේ යොමු කොට ධාතූපම්භය ගෙන සිහිය මනාව පිහිටුවා නිසලව හිඳින්නා වූ අතවැසියා තමා ම රකියි, ඇදුරා නොරකියි.
යො තත්ථ ඤා යො = තෙල් සැලිය සඳහා යමක් කීයේ ද, එය එහි පිළිවෙළයි, එය උපායයි, එය කාරණ යයි, යන අරුතයි. සතිපට්ඨානං සෙවිතබ්බං = සිවු වැදෑරුම් වූ සතිපට්ඨානය සේවනය කළ යුතුයි. සෙවනාය = කමටහන් සේවනය කිරීම සඳහා එවං ඛො භික්ඛවෙ අත්තානං රක්ඛන්තො පරං රක්ඛති = යම් භික්ෂුවක් කාමරාග ආදිය හැර දමා රාත්රි ස්ථාන දිවාස්ථානයන්හි මුල් කමටහන සේවනය කරන්නේ නම් රහත් බවට පැමිණේ. එවිට බාහිර පුද්ගලයෙක් ඔහු දැක මේ භික්ෂුව යහපත්ය. මනාව පිළිපන්නේ වෙයි යනුවෙන් ඔහු කෙරෙහි සිත පහදවා ස්වර්ගයට යන්නේ වෙයි. ඒ භික්ෂු තෙමේ තමා රකිමින් අනුන්ද රකින්නේ නම් වෙයි.