6. උත්තිය සූත්ර වර්ණනාව
සයවැන්නෙහි මච්ඛු ධෙය්ය ස්ස පාරං = ත්රෛභූමික ලෝක පැවැත්මේ පරතෙරවූ නිර්වාණය.
8. බ්රහ්ම සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - කායෙවා භන්තෙ භික්ඛු = ඒ කාලයෙහි “භික්ඛු” යන්නක් නොවීය. එසේ වූ කල්හි ද යමකු සතිපට්ඨානයන් වඩයි ද, හේ තෙමේ කෙලෙස් බිඳීමෙන් භික්ෂුවරයෙක් (භින්දනෙන භික්ඛු) වන්නේ යයි දක්වමින් මෙසේ කීය. එකායනං = එකම මාර්ගය ජාතිඛයන්ත දස්සී = ජාතියෙහි ක්ෂය වීම සිදුවෙයි යනු ද, කෙළවර වීම සිදුවෙයි යනු ද නිවනයි. එය දකියි යන අර්ථයයි. මග්ගං පජානාති = ඒකායන යයි කියනු ලබන, එකම මාර්ගය වූ මාර්ගය දනියි. පූර්වභාග සතිපට්ඨාන මාර්ගය ඒකායන මාර්ගය යයි කියනු ලැබේ. එය දන්නේය යන අර්ථයයි.
9. සේදක සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - සුම්හෙසු = මේ නම ඇති ජනපදයෙහි මෙදකථාලිකා = මෙසේ ස්ත්රී ලිංග වශයෙන් ලැබුණ නාමයකි. (මෙද ථාලිකා යන්නෙහි පදගතාර්ථය නම් මේදය බහා ඇති සැලිය යන්නයි) මමං රක්ඛ අහං තං රක්ඛිස්සාමි = මෙය ඔහුගේ විශ්වාසය වෙයි. මනාව ඔසවා තබන ලද උණ ගස නොගන්නාවූ ද, අතවැසියා යොමු කරන කරන දිසාවට නොයන්නාවූ ද, හැම විටම උණගසේ අග නො බලන්නාවූ ද ඇදුරු තෙමේ අතවැසියා නො රකී. මෙසේ රකිනු නො ලබන අතවැසියා ඇදවැටී සුණු විසුණු වෙයි. උණගස මනාව අල්වාගන්නාවූ ඔහු (අතවැසියා) විසින් යොමු කෙරෙන කෙරෙන දිසාවට යන්නාවූ හැම විටම උණ ගසේ අග බලන්නාවූ හේ (ඇදුරු) තෙමේ අතවැසියා ආරක්ෂා කරයි. එහි මෙහි පැන මුවකුමෙන් ක්රීඩා කරන අතවැසියා ද ඇදුරා නොරකියි. මෙසේ ඇති කල්හි ඇදුරාගේ ගෙළෙහි වළක් වැනි තැනෙහි හෝ නළලෙහි හෝ උණගසේ තියුණු කෙළවර තබන ලද්දේ නම් එය තැබූ තැන බිඳී යන්නේය. පවත්නා ආකාරය අනුව උණගස නමන්නේ ද, එය නො නැමී බිඳී යන්නේ වෙයි. එවිට එකතු කොට ධාතු ප්රත්ථම්භය ගෙන්වා ගෙන සිහිය මනාව පිහිටුවා නිසලව හිඳිනා අතවැසියා ඇඳුරා රකියි.
ත්වං ආචරිය අත්තානං රක්ඛ අහං අත්තානං රක්ඛිස්සාමි = මෙහි අදහස මෙසේ වේ. අතවැසියා විසින් යොමු කෙරෙන කෙරෙන දිසාවට යන්නාවූ ද, හැම විටම උණගසේ කෙළවර බලන්නාවූ ද, උණ ගස මනාව ගන්නාවූ ද ඇදුරු තෙමේ තමා රැකගන්නේ වෙයි. අතවැසියා රකින්නේ නොවේ. තමා ම රැකගන්නේ වෙයි, අතවැසියා රකින්නේ නොවේ. ශරීරය එකසේ යොමු කොට ධාතූපම්භය ගෙන සිහිය මනාව පිහිටුවා නිසලව හිඳින්නා වූ අතවැසියා තමා ම රකියි, ඇදුරා නොරකියි.
යො තත්ථ ඤා යො = තෙල් සැලිය සඳහා යමක් කීයේ ද, එය එහි පිළිවෙළයි, එය උපායයි, එය කාරණ යයි, යන අරුතයි. සතිපට්ඨානං සෙවිතබ්බං = සිවු වැදෑරුම් වූ සතිපට්ඨානය සේවනය කළ යුතුයි. සෙවනාය = කමටහන් සේවනය කිරීම සඳහා එවං ඛො භික්ඛවෙ අත්තානං රක්ඛන්තො පරං රක්ඛති = යම් භික්ෂුවක් කාමරාග ආදිය හැර දමා රාත්රි ස්ථාන දිවාස්ථානයන්හි මුල් කමටහන සේවනය කරන්නේ නම් රහත් බවට පැමිණේ. එවිට බාහිර පුද්ගලයෙක් ඔහු දැක මේ භික්ෂුව යහපත්ය. මනාව පිළිපන්නේ වෙයි යනුවෙන් ඔහු කෙරෙහි සිත පහදවා ස්වර්ගයට යන්නේ වෙයි. ඒ භික්ෂු තෙමේ තමා රකිමින් අනුන්ද රකින්නේ නම් වෙයි.
ඛන්තියා = ඉවසීමෙන් අවිහිංසාය = පූර්ව භාගය සහිත වූ කරුණාවෙන් මෙත්ත චිත්තකාය = පූර්ව භාගය සහිත වූ මෛත්රීයෙන් අනුද්දයතාය = පූර්ව භාග සහිත වූ කරුණවෙන්, මෘදු තාවයෙන් යන අර්ථයයි. පරං රක්ඛන්තො අන්තාතතානං රක්ඛති = මෙහි දී මේ භික්ෂුවක් රාත්රි ස්ථාන දිවා ස්ථානයනට ගියේ බ්රහ්ම විහරණ තුනෙන් හිදී ධ්යාන තුනක් සතරක් උපදවා ධ්යාන පාදක කොට සංස්කාරයන් විමර්ශනය කරමින් විදසුන් වඩා රහත් බවට පැමිණේ ද, මේ තෙමේ අනුන් රකිමින් තමා ද රකින්නේ නම් වේයයි දත යුතුයි.
10. ජනපදකල්යාණී සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - ජනපද කළ්යාණී = ජනපදයෙහි යහපත් වූ, උතුම් වූ, සය වැදෑරුම් ශරීර දෝෂයන්ගෙන් තොර වූ, පංච කල්යාණයෙන් යුක්ත වූ තැනැත්තිය. ඕ තොමෝ වනාහී යම් හෙයකින් ඉතා උස් නොවන, ඉතා මිටි නොවන ඉතා කෘශ නොවන, ඉතා ස්ථුල නොවන, ඉතා කළු නොවන, මනුෂ්යවර්ණය ඉක්මවන තරම් ඉතා සුදු නොවන දිව්ය වර්ණයට නොපැමිණි යන තත්ත්වයෙන් යුක්ත වේද, ඒ අනුව ශරීර දෝෂයන් සයෙන් තොර වේ. ඡවි කල්යාණ, මාංස කළ්යාණ, නහාරු කළ්යාණ, අට්ඨි කළ්යාණ, වයො කළ්යාණයන්ගෙන් යුක්ත වන්නී නම් වේ. ඇයට බාහිරින් ආලෝක කිරීමක් නැත. තමාගේ ශරීරාලෝකයෙන් ම දොළොස් රියන් තැන්හි ආලෝක කෙරෙයි. සම පුවඟු මල් වැනි වෙයි, නොහොත් රත්රන් පැහැ වැනි වෙයි. මෙය මැයගේ ඡවි කල්යාණ ස්වභාවයයි. මැයගේ අත් පා සතර ද, මුව කෙළවර ද ලතු පිරියම් කරන ලද්දාක් මෙන් වෙයි. මැයගේ මාංස කළ්යාණය රතු පබළු වලට ද, රතු කම්බිලිවලට ද සම වෙයි. නිය පොතු විස්ස පේශීන්ගෙන් වෙන් නොවූ තැන්හි ලතු රසය පිරුණ සේ වෙයි. පේශීන්ගෙන් වෙන් වූ තැන්හි කිරි දහරවලට සමාන වේ. මෙය මැයගේ නහර කළ්යාණයයි දත් දෙතිස අතරක් නැතිසේ එකිනෙක ස්පර්ශ වී පිරිසිදු කළ දියමන්ති පේලි මෙන් බබළයි. මෙය මැයගේ අට්ඨි කළ්යාණයයි. එක්සිය විසිවයස් වන විට වුවද සොළොස් වස් පමණ පෙනෙන්නී වෙයි. සුදු කෙස් ඇති නොවේ. මෙය මැයගේ වයස් කල්යාණයයි.
පරම පාසාවිනී = මෙහි ප්රසවයම පාසාවනම් වෙයි. පවත්වන්නී යන අර්ථයයි. උතුම් ලෙසම පවත්වාගෙන යාම යනුවෙන් “පරම පාසාවො” යයි සිද්ධ වේ. එය මැයට ඇත්තේය යන අදහසින් පරම පාසාවීනී” නම් වේ. නැටුමෙහි ද, ගීතයෙහි ද උතුම් පැවැත්ම හා උසස් ක්රියාව උතුම් වන්නේමය. නැටුමක් නටයි, ගීයක් හෝ ගයයි යනුවෙන් කියන ලද්දේ වෙයි. සෙස්ස සියලු තැන්හි පහසු අරුත් ඇත්තේමය. මේ දෙකෙහිම පූර්ව භාග විදර්ශනාව කියන ලදී.
දෙවන නාළන්දා වර්ගය නිමි
3. සීලට්ඨිති වර්ගය
1-2. සීල ආදි සූත්ර වර්ණනා
තුන්වන වර්ගයේ පළමු වැනෙහි - සීලානි = (පාතිමොක්ඛ සංවර, ඉන්ද්රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) චතුපාරි සුද්ධි සීලයන් උම්මග්ගො = ප්රඥා වේ මාර්ගය ප්රඥාව ගවේෂණය කිරීම.