3. චුන්ද සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - මගධෙසු = මෙම නම ඇති ජනපදයෙහි. නාළක ගාමකො = රජගහට නුදුරෙහි තම පවුලට අයත් වූ මේ නම ඇති ගමෙහි. චුන්‍දො සමණුද්දෙසො = මේ ස්ථවිර තෙමේ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන්ගේ කණිටු සොයුරාය. භික්ෂූහු ඔහුට උපසපන් වීමට පෙර කාලයෙහි “චුන්‍දසමණුදෙස” (හෙවත් චුන්ද සාමණේර) යයි නිතර ව්‍යවහාරයට පුරුදු වී සිට ස්ථවිර භාවයට පත් වූ කාලයෙහි ද පෙර සේම ව්‍යවහාර කළහ. ඒ නිසා “චුන්‍දො සමණුද්දෙසො” යයි කියන ලදී. උපට්ඨකො හොති = මුව දොවන පැන්, දැහැටි කූරු ආදිය දීමෙන් ද, ආරාමය ඇමදීමෙන් ද, පිට සේදීම් පිරිමැදීම් ආදිය කිරීමෙන් ද, පා සිවුරු ගැනීමෙන් ද උවටැන් කරන්නේ වෙයි. පරිනිබ්බායී. අනුපධි ශේෂ නිර්වාණ ධාතුවෙන් (හෙවත් කිසිවක් ඉතිරි නො කොට, පිරිනිවියේය. කවර කලෙක දී ද යත් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂයේදීමය.
මෙය එහි අනු පිළිවෙළ කථාවයි. භාග්‍යවතුන් වහන්සේ වනාහී වැස නිමවන ලද වස් ඇත්තාහු බේළුව නම් ගමින් නික්ම සැවැත් නුවරට යන්නෙමියි පැමිණි මගින් ම ආපසු හැරී යන්නාහු අනුපිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රමට පිවිසියහ. දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වතාවක් දක්වා දහවල් වසන තැනට පැමිණියහ. උන්වහන්සේ, එහි අතවැසියන් වත් දක්වා ඉවත්ව ගිය කල්හි දිවාස්ථානය හැමද සම්කඩ අතුරා පා සෝදා පර්යංකයක්ව හිඳ පල සම වතට පිවිසියහ. ඉක්බිති පිළිවෙළින් එම සමවතින් නැඟීසිටි තෙරුන් වහන්සේට “ප්‍රථමයෙන් පිරිනිවෙන්නෝ බුදුවරුද නැතහොත් අග්‍ර ශ්‍රාවකයෝ ද” යන මෙම සිතුවිල්ල උපන්නේ ය. එවිට, පළමුව අග්‍රශ්‍රාවකයන් (පිරිනිවෙන) බව දැන තමාගේ ආයු සංස්කාරය බැලූහ. “මාගේ ආයු සංස්කාරය දින සතක් පමණක්ම පවතින්නේ යයි” දැන. කොහිදී පිරිනිවෙන්නෙම්දැයි සිතූහ.
ඉන් පසු රාහුල තෙරණුවෝ තව්තිසාවෙහිදී ද, අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණුවෝ ඡද්දන්ත නම් විල අසලදීද පිරිනිවියහ, මම කොහිදී පිරිනිවෙන්නෙම්දැයි නැවත නැවත සිතනුවෝ මෑණියන් පිළිබඳව සංවේග ඉපදවූහ.
මාගේ මෑණියෝ රහතුන් පස් නමකටම මව වූ නමුදු බුද්ධ, ධම්ම හා සංඝයා කෙරෙහි පැහැදීම් රහිත ය, ඇයට (මඟ පල සඳහා) හේතු සම්පත් ඇත් ද නැත්දැයි බලා සෝවාන් මාර්ගයට හේතු සම්පත් ඇතැයි දැක කවරකුගේ දේශනාවෙන් ධර්මාවබෝධය වන්නේදැයි බලනුවෝ මාගේම දම් දෙසුමෙන් වන්නේය. අන් අයකුගේ දේශනාවකින් නොවේය යනුවෙන් දැක ඉදින් මම උත්සාහවත් නොවන්නෙම් නම් සැරියුත් තෙරණුවෝ වෙනත් ජනයාට ද අවශ්‍ය වෙති. උන්වහන්සේ සමචිත්ත සූත්‍රාන්ත දේශනාව පැවැත්වූ දිනයෙහි කෝටි සිය දහසක් දේවතාවෝ රහත් බවට පැමිණියහ, (සෝවාන් ආදී) මාර්ග තුන අවබෝධ කරගත් දේවතාවන්ගේ ගණනක් නැත. අන් තැන්හිදී ද ධර්මාවබෝධය ලැබූ බොහෝ දෙනා වෙති. තෙරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා පවුල් අසූ දහසක්ම ස්වර්ගයෙහි උපන්හ. (එබඳ) උන් වහන්සේ දැන් තම මවගේ මිසදිටු දැක්ම පමණක් වුව ඉවත් කිරීමට නො හැකි වූහයි (බොහෝ දෙනා) කියන්නාහ.
එහෙයින් මෑණියන් මිථ්‍යා දර්ශනයෙන් මුදවා උපන් කුටියෙහි දීම පිරිනිවෙන්නෙමියි සනිටුහන් කොට අදම භාග්‍යවතුන් වහන්සේ අනු දක්වා ගෙන නික්මෙන්නෙමියි (සිතා) චුන්ද තෙරුන් ඇමතූහ. ඇවැත් චුන්දයෙනි. අපගේ පන්සියයක් වන භික්ෂු පිරිසට “ඇවැත්නි. පා සිවුරු ගන්න, දම් සෙනෙවි (සැරියුත් තෙමේ නාළක නම් ගමට යනු කැමැත්තේ යයි” සංඥාවක් දෙන්නයයි කීහ. චුන්ද ස්ථවිර තෙමේ එසේ කළේය.
භික්ෂූහු සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ සමීපයට ගියහ. තෙරණුවෝ සෙනසුන සකසා තබා දහවල් වසන තැන හැම ද දිවාස්ථාන දොරටුවෙහි සිට දිවාස්ථානය බලා දැන් මේ අවසාන දර්ශනයයි, නැවත පැමිණීමක් නැතැයි භික්ෂූන් පන්සියය පිරිවරණ ලදුයේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ මෙසේ කීහ. :- ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මාහට අනුදන්නා සේක්වා. සුගතයන් වහන්ස අනු දන්නා සේක්වා. මගේ පරිනිර්වාණ කාලය එළඹියේය, මාගේ ආයු සංස්කාරය අත්හැර දමන ලද්දේය. යම් හෙයකින්. පිරිනිවෙන්නේ යයි කියනු ලැබූ කල්හි බුදුවරුන් මරණය වර්ණනා කරත් යයි ද, පිරිනිවන් නොපාන්නේ යයි කියනු ලැබූ කල්හි උන්වහන්සේලා පැවැත්මෙහි ගුණ කියත් යයි ද මිථ්‍යා දෘෂ්ටිකයෝ දොස් පවරත්. ඒ නිසා බුදුහු ඒ දෙකම නොකියත්. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍රය, කොතැන්හිදී පිරිනිවෙන්නෙහි දැයි අසා ස්වාමීනි. මගධයෙහි නාළක නම් ගමෙහි මා උපන් ස්ථානය ඇත. මම එහිදී පිරිනිවන් පාන්නෙමියි කී කල්හි, ශාරිපුත්‍රයෙනි. ඔබ ඒ කාර්යය සඳහා කල් දනුව. දැන් මතු වනාහී ඔබගේ කණිටු සොහොයුරන් හට ඔබ වැනි භික්ෂුවකගේ දර්ශනය දුර්ලභ වන්නේය. ඔවුන් හට දහම් දෙසන්නැයි කීය.