2. නාලන්දා සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයේ දෙවැන්නෙහි - නාළන්‍දායං = මේ නම ඇති නගරයෙහි ඒ නගරයෙහි. ඒ නගරය ගොදුරු ගම කොට පාවාරිකම්බවනෙ = උතුරුසළු විකුණන සිටුහුගේ අඹවනයෙහි. එය ඔහුගේ උයන විය. හේ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දම් දෙසුම අසා පැහැදුණෝ ඒ උයනෙහි කුටි, ලෙන්, මණ්ඩප ආදියෙන් යුත් විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පවරා දුන්නේය. ජීවක අඹවනය මෙන් ඒ විහාරය පාවාරික අඹවනය යනුවෙන් ව්‍යවහාරයට පත් විය. ඒ පාවාරික අඹවනයෙහි වාසය කරයි යන අරුතයි.
එවං පසන්නෙ = මෙසේ පිරුණ ශ්‍රද්ධාව ඇත්තේ මෙසේ අදහමි යන අර්ථයයි. භීයො භිඤ්ඤතරො = බොහෝ දැනුම ඇත්තේ, වඩා දැනුම ඇත්තේ, නොහොත් උත්තරීතර නුවණ ඇත්තේ යන අර්ථයයි. සම්බෝධියං = සර්වඥතා ඥානයෙහි නොහොත් අර්හත් මාර්ග ඥානයෙහි. අර්හත් මාර්ගයෙන්ම බුදු ගුණ නිරවශේෂයෙන් ගනු ලැබුයේ වෙයි. දෙ අග සවුවෝ ද අර්හත් මාර්ගයෙන්ම ශ්‍රාවක පාරමිතාඥානය ලබා ගනිත්. පසේ බුදුවරු ප්‍රත්‍යෙක බුද්ධ ඥානය ද, (ලොව්තුරා) බුදුවරු සර්වඥතා ඥානයද, සියලු බුදු ගුණයන් ද ලබා ගනිත්. උන් වහන්සේලාට ඒ සියල්ල අර්හත් මාර්ගඥානය සම්බෝධි නම් වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වඩා උත්තරීතර කෙනෙක් නැත. එම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “සම්බෝධියෙහි දී අතිශය විශිෂ්ට ඥානයක් ලැබීය” යනුයි.
උළාරා = ශ්‍රේෂ්ඨ වූ, මේ උළාරයන ශබ්දය උසස් වූ කෑ යුතු දෙය කති යන ආදී තන්හි මිහිරි යන අර්ථයෙහි යෙදේ. වච්ඡායන තෙමේ භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උළාර වූ ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරයි යන ආදී තන්හි “උළාර” යන්න ශ්‍රේෂ්ඨය යන අර්ථයෙහි යෙදේ. ප්‍රමාණ කළ නොහැකි තරම් පැතුරුණ ආලෝකයක් යන ආදියෙහිදී පැතිරීම යන අර්ථයෙහි යෙදේ. එබැවින් උළාර යනුවෙන් ශ්‍රේෂ්ඨ යයි කියවේ. ආසභී = උත්තමයකුගේ වචන මෙන් වෙනස් නොවන. කම්පා නොවන එකංසො ගහිතො = පාරම්පරිකව අසන්නට ලැබුණ නිසා හෝ, ගුරු පරපුරින් ලැබුණ නිසා හෝ, මෙසේ වූයේ ල යනුවෙන් අසන්නට ලැබුණ නිසා හෝ, ග්‍රාන්‍ථාගතව ලැබුණ නිසා හෝ, පිළිවෙළ අනුව සිතා බැලීමෙන් හෝ, (තමා තුළ ඇති) දෘෂ්ටිය අනුව අවබෝධ කර ගැනීමෙන් හෝ, තර්කයේ හේතුවෙන් හෝ, න්‍යාය හේතුවෙන් හෝ නො කියා ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අවබෝධ කොට ගෙන මෙන් ඒකාන්ත වශයෙන් ගන්නා ලද්දේ තීරණය වූ. කියන ලද්දාවූ කථාවමය යන අර්ථයයි. සීහනාදො = ශ්‍රේෂ්ඨ නාදය කෙළි පිණිස නොවන්නා වූ ද, බියට පත් නොවන්නා වූ ද සිංහයකු විසින් මෙන් උතුම් නාදයක් කරන ලදී යන අර්ථයයි.
කින්නු තෙ සාරිපුත්ත = මේ දේශනාව කුමක් හෙයින් ආරම්භ කෙළේ ද? පිළිපැදීම් පහදා දීම සඳහාය. ඇතැම් එක් අයෙක් සිංහ නාදය පවත්වා තමාගේ ඒ සිංහ නාදයෙහි පිළිපැදීමට නොහැකි වේ. නොගැටීම නො ඉවසයි. ඇලෙන ලාටුවක වැටුණ වඳුරකු මෙන් වෙයි. යම් සේ ගින්නෙන් පිසිනු ලැබූ අපිරිසිදු ලෝහය දැවී අඟුරු වේද, එසේම දැවුණ අඟුරු මෙන් වෙයි. එක් අයෙක් සිංහ නාදය අනුව පිළිපැදීම පහදා දෙන්නේ එසේ කිරීමට හැකි වෙයි. නො ගැටීම ඉවසයි. ගිනි පිඹිනු ලබන පිරිසිදු රිදීමෙන් වඩ වඩාත් ශෝභමාන වෙයි. එවැනි වූ මේ තෙරුන් වහන්සේ පිළිපැදීමෙහි හැකියාව ඇත්තෙකැයි දැන ඒ කරුණ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන් හට සිංහනාදයෙහි යෙදීමට ඉඩ දීම සඳහා මේ දේශනාව ආරම්භ කළහ.
එහි සබ්බෙතෙ = ඒ සියලු දෙනාම ඒ ස්ත්‍රීන් විසින් එවංසීලා = මාර්ග සීලයෙන්, ඵල සීලයෙන් ලෞකික ලෝකෝත්තර සීලයෙන් යන මෙසේ සිල් ඇති එවං ධම්මා = මෙහිදී සමාධි පාර්ශ්වීය ධර්මයෝ අදහස් කරන ලද්දාහ. මාර්ග සමාධිය, ඵල සමාධිය, ලෞකික ලෝකෝත්තර සමාධි යන මේ සමාධීන්ය යන අර්ථයයි. එවං පඤ්ඤා = මාර්ග ප්‍රඥාව ආදී වශයෙන් මෙසේ දැක්වෙන ප්‍රඥාව එවං විහාරිනො = මෙහිදී වනාහී පෙර දී සමාධි පාර්ශ්වීය ධර්මයන් කියන ලද බැවින් එම විහරණය පෙර කියන ලද්දක් ම වෙයි. කුමක් හෙයින් පෙර කියන දෙයම නැවත කියයි ද යත් තෙරණුවන් විසින් මෙය පෙර කියන ලද්දේමය. මෙය වනාහී නිරෝධ සමාපත්තිය පැහැදිලි කිරීම සඳහා කියන ලදී. එබැවින් භාග්‍යවත්හු නිරෝධ සමාපත්තියෙන් වාසය කරන්නෝ වූහයි යන මෙය මෙහි අර්ථය යයි දැක්විය යුතුයි.
එවං විමුත්තා = මෙහි දී යටපත් කිරීමෙන් ලබන මිදීම (වික්‍ඛම්භන විමුත්ති), තාවකාලික මිදීම (සමුච්ඡේද විමුත්ති), සන්සිඳීම් වශයෙන් ලබන මිදීම (පටිප්පස්සද්ධි විමුත්ති), සසරින් ගැලවීමෙන් ලබන මිදීම (නිස්සරණ විමුත්ති) යන පංචවිධ විමුක්තිය අදහස් වේ. එහිදී සමාපත්ති අට තමා විසින් යටපත් කරන ලද නීවරණ ආදියෙන් මිදුණ බැවින් යටපත් කිරීමෙන් ලබන මිදී ම (වික්‍ඛම්භන විමුත්ති) යන ගණයට වැටේ. අනිත්‍යයයි නුවණින් සලකා බැලෙන අනුපස්සනාවන් සත, ඒවා එකිනෙකට සාපේක්ෂකව පටහැණි වීම් වශයෙන් නිදහස් බැවින් තාවකාලික මිදීම (තදඞ්ග විමුත්ති) යන ගණයට වැටේ. ආර්ය මාර්ග සතර පටහැණිව පවත්නා කෙලෙස්වලින් මිදුණ බැවින් සිඳ දැමීමෙන් ලබන මිදීම (සමුච්ඡෙද විමුත්ති) යන ගණයට වැටේ. ශ්‍රමණ භාවයේ සෝවාන් ආදී ඵල සතර මාර්ගයන්ගේ බලයෙන් ක්ලේශයන්ගේ සන්සිඳීමේ ස්වභාවයෙහි උපන් බැවින් සන්සිඳීමෙන් ලබන මිදීම (පටිප්පස්සද්ධි විමුත්ති) යන ගණයට වැටේ. නිවන කෙළෙස්වලින් ඉවත්ව ඇති බැවින්, පහ වූ බැවින්, දුරස්තරව සිටින බැවින් “සසරින් ගැලවීමෙන් ලබන මිදීම” (නිස්සරණ විමුත්ති) යන ගණයට වැටේ. මෙසේ මෙම පංචවිධ විමුක්තීන්ගේ වශයෙන් මෙසේ මිදුනාහයි යනුවෙන් මෙහි අර්ථය දත යුත්තේය.
කිම්පන තෙ සාරිපුත්ත යෙ තෙ භවිස්සන්ති = අතීතයෙහි වූ දේ නිරුද්ධ විය. නොපවතින ස්වභාවයට පත් විය. පහන් දැල්ලක් මෙන් නිවී ගියේය. [need trans]
අනාගත බුදුවරුද ජාත නොවූහ. නො උපන්නෝය. අනුත්පන්නයහ. ඔබ කෙසේ නම් උන්වහන්සේලා ගැන දන්නෙහිද? උන්වහන්සේලා පිළිබඳ දැනීම පා සලකුණු නැති අහසෙහි පියවර සලකුණක් දැක්වීම මෙන් වෙයි. දැන් මා සමග එකම විහාරයෙහි වාසය කරන්නෙහිය, එක්ව පිඬු පිණිස හැසිරෙන්නෙහිය, දහම් දෙසන කල්හි දකුණු පස හිඳින්නෙහිය. කිම ඔබ විසින් මාගේ ගුණ තමාගේ තමාගේ සිතින් පිරිසිඳ දන්නා ලද්දේද? ඒවා අනුගමනය කරන්නේදැයි යනුවෙන් මෙසේ ප්‍රශ්න කළහ. ප්‍රශ්න කරනු ලැබූ කල්හි තෙරණුවෝ “ස්වාමීනි, එය එසේ නොවේ” හෙවත් නොහෙතං භන්තෙ යනුවෙන් එය ප්‍රතික්ෂේප කරති.