2. සතො සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සතො = කය ආදිය පිළිබඳව නුවණින් විමසා බැලීමේ සිහියෙන් යුක්තවූයේ. සම්පජානො = සිවු වැදෑරුම් විමර්ශන ඥානයෙන් යුක්ත වූයේ. අභික්කන්තෙ - පටික්කන්තෙ = මෙහි අභික්කන්ත නම් ගමන් කිරිමයි. පටික්කන්ත නම් ආපසු යාමයි. ඒ දෙකම සිවු ඉරියවුහිදී ලැබේ. ගමනෙහිදී වනාහී පෙර පසින් කය ඉදිරියට ගෙනයන්නේ (අභික්කමති) පෙරට යන්නේ නම් වෙයි. (කය) පසුපසට ගෙන යන්නේ (පටික්කමති) ආපසු යන්නේ නම් වෙයි. (කය) නැවතී ගෙන පවා සිටගෙන සිටිමින්ම කය පෙරට යොමු කරනුයේ (අභික්කමති) ඉදිරියට යන්නේ නම් වෙයි. පසු පසට යොමු කරනුයේ (පටික්කමති) පසු පසට යන්නේ නම් වෙයි. හිඳගෙන හුන් අය පිළිබඳවද හුන්නේම අසුනෙහි පෙරට යොමු වූයේ (අභික්කමති) “පෙරට යයි” නම් වේ. වැතිර ගැනීමෙහිදී ද මේ පිළිවෙළම වේ.
සම්පජානකාරී හොති = මනා සිහි නුවණින් සියලු කටයුතු කරන්නාවූ, නොහොත් මනා සිහිනුවණ ඇත්තහුගේම කාර්යයන් හේ වනාහී පෙරට ඇවිදීම් ආදියෙහිදී පවා සිහි නුවණින් ය කරන්නේම වෙයි. කිසි විටෙකත් සිහි නුවණින් තොරවූයේ නොවේ.
එහිදී සාත්‍ථක සම්පජඤ්ඤ (ප්‍රයෝජනවත් සිහිනුවණ), සප්පාය සම්පජඤ්ඤ (ගැළපෙන සිහි නුවණ), ගොචර සම්පජඤ්ඤ (අරමුණු පිළිබඳ සිහි නුවණ), අසම්මොහ සම්පජඤ්ඤ (මුලා නොවන සිහි නුවණ) යනුවෙන් “සම්පජඤ්ඤය” (සිහිනුවණ) සිවු වැදෑරුම් වේ. ඒ කරුණෙහිදී ඉදිරියට යාමේ සිතක් උපන් කල්හි සිතුන අයුරින්ම නොගොස් එහි යාමෙන් මට ප්‍රයෝජනයක් වේද නොවේදැයි අර්ථානර්ථ පරීක්ෂා කොට බලා අර්ථවත් දෙය ග්‍රහණය කර ගැනීම “සාත්‍ථක සම්පජඤ්ඤ” නම් වෙයි. එහි ද අත්‍ථො යනු චෛත්‍ය දර්ශන කොට බුදුන් වහන්සේ අරමුණු කර ගැනීම ද, සංඝයා දර්ශනය කිරීමෙන් සංඝයා අරමුණු කර ගැනීම වන ප්‍රීතිය උපදවා එයම ක්ෂය කිරීමෙන් නුවණින් විමසා බලමින් රහත් බවට පැමිණේ මහා විහාරයෙහි දකුණු දොරටුවෙහි සිට මහසෑය බලමින් තිස්දහසක් භික්ෂූහු රහත් බවට පැමිණියහ. එසේම බටහිර දොරටුවෙහිද, උතුරු දොරටුවෙහි ද, නැගෙනහිර දොරටුවෙහි ද සිට මහසෑය බලමින් රහත් බවට පැමිණියහ. එසේම ප්‍රශ්න මණ්ඩපය පිහිටි තැන ද, අභය වැව ඉවුරෙහි ද, ථූපාරාමය දොරටුවෙහි ද, නුවර දකුණු දොරටුවෙහි ද, අනුරාධ වැව ඉවුරෙහි ද එසේම රහත් බවට පැමිණියහ.
මහා අරියවංස ධර්මය දේශනා කරන තෙරුන් වහන්සේ මෙසේ කීහ. “ඔබ කුමක් කියන්නහු ද, මහ සෑය වටේ ගර්භය වටා ඇති වේදිකාවෙහි යට කොටසෙහි පටන් පැහැදිලි ලෙස පෙනෙන ස්ථානය තෙක් වූ යම් යම් තැන්හි දෙපා සමව තබා ගැනීමට හැකි වේද, ඒ ඒ තැන්හි, එක් පියවරක් පමණක් තැබිය හැකි තැන්හි සිට තිස් දහසක් බැගින් භික්ෂූන් රහත් බවට පැමිණුනාහයි කිව හැක්කේය.” යනුයි. තවත් මහ තෙර නමක් මෙසේ කීහ. “වැලි විසුරුණු මහ සෑ මලුවෙහි බොහෝ භික්ෂූහු රහත් බවට පැමිණියහ” තෙරවරුන් දැක උන්වහන්සේලාගේ අවවාදයෙහි පිහිටා අසුභය දැක, එහි ප්‍රථම ධ්‍යානය උපදවා එයට ක්ෂය කිරීම් වශයෙන් නුවණින් විමසා බලමින් රහත් බවට පැමිණේ. එහෙයින් ඔවුන්ගේ දර්ශනය ඵල සහිතය. ආමිෂයේ හේතුවෙන් බඹසර හැසිරීමට අනුග්‍රහ පිණිස පිළිපන් බැවින් ආමිෂයෙන් ද වර්ධනය වීම ප්‍රයෝජනවත් යයි ඇතැමෙක් කියති.
ඒ ඒ කාලයෙහි යහපත් වූ ද අයහපත් වූ ද දෙය සොයා ගෙන යහපත් දේ හිමිකර ගැනීම යහපත් දේ පිළිබඳ විමසුම් නුවණ ඇති වීමයි. කෙසේද යත් - චෛත්‍ය දර්ශනය වූ කලී ප්‍රයෝජනවත්ය. ඉදින් චෛත්‍යයට මහාපූජාව පිණිස දස දොළොස් යොදුන් අතරතුර පිරිස් එක්රැස් වෙත් ද, තමාගේ ධනයට අනුරූප වන සේ ස්ත්‍රීහු ද පුරුෂයෝ ද අලංකාරවත් ලෙස සැරසුණාහු සිතුවම් කළ රූප මෙන් සැරි සරත්. එහිදී ද තමාට ප්‍රිය වූ අරමුණෙහි ලෝභය ද, අප්‍රිය වූ අරමුණෙහි අප්‍රසන්න බවද, මනාව නුවණින් නොබැලීමෙන් මෝහය ද උපදී. කාය සංසර්ගය නම් ඇවතට පැමිණේ. ජීවිතයේ බ්‍රහ්ම චර්යාවට අනතුරක් ද වේ. ඒ බැවින් ඒ ස්ථානය අයහපත් වේ. කියන ලද ආකාරයේ අනතුරක් නැති තැන්හි යහපත් වේ. සංඝ දර්ශනයද ප්‍රයෝජනවත් වේ. ඉදින් ඇතුළු ගමෙහි මහ මඬුවක් කරවා මුළු රැයෙහිම ධර්ම ශ්‍රවණය කරන්නාවූ මිනිසුන් අතරෙහි පෙර කියන ලද ආකාරයෙන් ම ජනතා රැස්වීම ද (බඹසරට) අන්තරාවක් ද වේ. මෙසේ ඒ ස්ථානය අයහපත් වේ. අනතුර නැති කල්හි යහපත් වේ. මහ පිරිස පිරිවරා ගත් තෙරවරුන්ගේ දර්ශනයෙහි මේ පිළිවෙළම වේ.
අශුභ දර්ශනය ද ප්‍රයෝජනවත්ය. එහි අරුත පැහැදිලිව දැක්වීමට මේ කථාව ඉදිරිපත් කෙරේ. එක්තරා තරුණ භික්ෂුවක් හෙරණ නමක්ද රැගෙන දැහැටි සොයනු පිණිස ගියේය. හෙරණ තෙමේ මාර්ගයෙන් ඉවත් වී පෙරටුව යන්නේ අසුභ දෙයක් දැක ප්‍රථම ධ්‍යානය උපදවා එයම පාදක කොට සංස්කාරයන් නුවණින් විමසා බලන්නේ ඵල තුන අවබෝධ කොට මත්තෙහි වූ මාර්ගය සඳහා කමටහන් දරාගෙන සිටියේය. තරුණ භික්ෂුව ඔහු නො දක්නේ සාමණේරයෙනි යි යනුවෙන් හඩ ගෑවේය. හෙතෙම “මා පැවිදි වූ දින අන් දිනයෙක්හි උසස් ඥානය (රහත් බව) උපදවා ගනිමි”යි සිතා කිම්ද ස්වාමීනි, යි පිළිවදන් දුන්නේය. “එන්න” යයි කියනු ලැබූ එක් වචනයකින් ම පැමිණ “ස්වාමීනි. මේ මගින් ගොස් මා සිටි ස්ථානයෙහි මොහොතක් පෙරදිගට මුහුණ ලා බලන්න”ය කීය. ඒ (භික්ෂු) තෙම එසේ කොට පෙරකී හෙරණුන් පැමිණි උතුම් තත්ත්වයටම (අනාගාමි ඵලයට) පැමිණියේය. මෙසේ එකම අසුභය පුද්ගලයන් දෙදෙනකුගේ ප්‍රයෝජනය සඳහා ඇතිවිය. පුද්ගලයාට ස්ත්‍රිය අසුබය, අහිතකරය, ස්ත්‍රියට ද පුරුෂයා අසුබය සම පැවතුම් ඇති වීමට සුදුසු වන්නේය. මෙසේ සුදුසු දේ ග්‍රහණය කර ගැනීමද සුදුසු දැනුම ඇති වීම ද කරුණු ඵල සහිත වන්නේමය.