1. විධා සූත්‍ර වර්ණනාව
පස්වන වර්ගයේ පළමු වැන්නෙහි - තිස්සො විධා = මාන්න කොටස් තුන. හෙවත් මාන්නය ම වේ. ඒ ඒ අයුරින් විධාන කරන බැවින් මාන්නයම “විධා” යයි කියනු ලැබේ.
2. චක්කවත්ති සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස = මෙහි තමාගේ ශ්‍රී සම්පත්තියෙන් සතුටු කරවයි යන අදහසින් “රාජා” නම් වෙයි. ඒ රජතුමා හට “ඔබට චක්‍ර රත්නය පහළ වේවා” යන කියමනෙන්ද, පුණ්‍යානුභාවයෙන් පහළ වූ වචනයෙන් “චක්‍ර රත්නය පහළ වන්නේය” යන කියමන අනුවද “චක්‍රවර්ති” නම් වෙයි. ඒ චක්‍රවර්ති රජුගේ යන අදහසින් “චක්කවත්තිස්ස” යයි යෙදේ. පාතුභාවා = පහළ වීමෙන් සත්තන්නං = සංඛ්‍යා සීමාවකි. රතනානං = වෙන් කරන ලද අර්ථ දැක්වීමකි. මෙහි වචනාර්ථය වූ කලී රතිය (ආශාව) උපදවන්නේය යන අරුතින් “රතනං” යනුයි තව ද?
චිත්තී කතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං,
අනොම සත්ත පරිභොගං රතනං තෙන චුච්චතීති.
හෙලබසින් මෙහි අරුත මෙසේ වේ.
විසිතුරු කළ මහඟු අසමවූ දුලබ දැකුමැති,
පබු දනන් පළදින බැවින් මෙය “රතන” යැයි වහරති.
චක්‍ර රත්නය පහළ වූ කල පටන් වෙනත් පූජනීය ස්ථානයක් නම් ඇති නො වේ. සියල්ලෝම ගඳ මල් ආදියෙන් එයටම පිදීම ද, වැඳීම ද කරන්නාහ. මෙසේ විසිතුරු කරන ලද්දේය යන අරුතින් “රතන” නම් වෙයි. චක්‍ර රත්නයට මෙපමණ නම් ධනයක් මිල වන්නේ යයි අගය කිරීමක් නැත. මෙසේ මහත් වටිනා කමක් ඇතැයි යන අරුතින් ද “රතන” නම් වේ. චක්‍ර රත්තය ලොව පවත්නා අන්‍ය වූ රත්නයන් හා අසදෘශ්‍ය, අතුල්‍යය යන අරුතින් ද “රතන” නම් වේ. යම් හෙයකින් වනාහී යම් කල්පයෙක බුදුවරු නො උපදිත් ද, ඒ සමයෙහි ම චක්‍රවර්ති රජවරු ද, පසේ බුදුවරු ද ඉතා කළාතුරකින් කිසි විටෙන උපදිත්. එහෙයින් දුර්ලභ දර්ශනයක්ය යන අර්ථයෙන් ද “රතන” නම් වේ. ඒ (රත්නය වූ) මෙය උත්පත්තිය, රූපය, කුලය, ඓශ්චර්යය යන ආදියෙන් උසස් වූ උදාර පුද්ගලයකුට ම පහළ වන්නේ ය, අන් කෙනකු හට පහළ නොවන්නේ ය යනුවෙන් උත්තමයකුගේ පරිභෝග කිරීම පිණිසය යන අර්ථයෙන්ද “රතන” නම් වේ. “චක්‍රරත්නය” යම් සේද සෙස්ස ද එසේම වේ. එබැවින්
“චිත්තී කතං මහාග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං,
අනොම සතත පරිභොගං රතනං තෙන වුච්චති”
යයි කියන ලදී. (මෙහි අරුත යට සඳහන් කර ඇත)
පාතු භාවො හොති = ඉපදීම සිදුවෙයි. එහි පිළිවෙළ මෙසේය. චක්‍රවර්ති රජකුගේ පහළ වීමෙන් සත් රුවනකගේ පහළ වීම සිදුවේ යයි කීම යුතු නොවේ. පහළ වූ චක්‍රය පවත්වා ගෙන හෙතෙම “චක්‍රවර්ති” නම් වන්නේ යයි කීම යුතු වේ. කවර හෙයකින් චක්‍රවර්ති නියමය අපේක්ෂාවෙන් යයි කියනු ලැබේ ද යත් - යමකු වනාහී නියමය වශයෙන් (ආඥා) චක්‍රය පවත්වන්නේ ද, ඔහු පිළිසිඳුණ දින පටන් චක්‍රවර්ති කෙනෙකු පහළ වූයේ යයි කිව යුතු වේ. චක්‍රවර්ති යන නම ලැබූ පුද්ගලයාගේ උපත සිදු විය යන මුල් වචනයේ සිටම (චක්‍රවර්තිය යන) මෙය (ව්‍යවහාර කිරීම) සුදුසු වන්නේමය. “චක්‍රවර්ති” යන මේ නම ලැබූ යම් අයකු වෙත් නම් ඔහුගේ පිළිසිඳීම් සංඛ්‍යාත වූ පහළ වීමය යන මෙය මෙහි අර්ථයයි. ඔහුගේ පහළ වීමෙන් රත්නයෝ (ද) පහළ වෙත්. පහළ වූ ඒ රත්නයන් සමග හෙතෙම වර්ධනය වූ පුණ්‍ය සම්භාරය රැස් කිරීමෙහි යෙදෙයි, එකල්හි ලෝකයාට. ඒවායෙහි පහළ වීම නිසා (ඒ පිළිබඳ) සිතක් උපදී. මෙය බොහෝ වචනවලින් ද යුක්ත වේ. (හෙවත් මේ පිළිබඳව බොහෝ සේ කථා කරනු ලැබේ) යම් කලෙක්හි වනාහී ලෝකයට ඒවා (රත්නයන්) පහළ වුණ බවට සංඥාවක් උපදී ද, ඒ කල්හි මෙයම (චක්‍රරත්නයම) පළමු වැන්න වේ. පසුව ඉතිරි රත්නයන් සය පහළ වේයයි වචන රැසකින් ද එය කියන ලදී. මෙය පහළ වීම යන අර්ථයාගේ (පාතු භාවස්ස යන පදයේ) විවිධ අර්ථයන්ගෙන් ද යුක්ත වේමය. හුදෙක් පහළ වීම (පාතු භාවං) යන්න පමණක් නොවේ. පහළ වීමේ ස්වභාවය සිදු කරයි යන අරුතින් ද පාතුභාව නම් වේ. මෙය “පාතුභාව” යන්නේ අර්ථ භේදයයි. යම් හෙයකින් යම්බඳු වූ ඒ පුණ්‍ය සම්භාරයක් ප්‍රතිසන්ධි වශයෙන් චක්‍රවර්ති රජුන් පහළ කරවයි ද, එහෙයින් චක්‍රවර්ති රජකුගේ පහළ වීමෙන් හුදෙක් චක්‍රවර්ති රජකු පමණක් නොව මේ රත්නයන් සත ද පහළ වේය යන මෙය මෙහි අර්ථයයි. යම් සේ වනාහි ඒ පුණ්‍ය සම්භාරය රජුගේ ඉපදීමට හේතු වේද, එසේම රත්නයන්ගේ ද ඒ ආකාරයෙන් ඉපදීමට හේතු වේය යනුවෙන් මෙසේ යෙදේ. රඤ්ඤො භික්‍ඛවෙ චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතු භාවො හොති