2. ගිලාන වර්ගය
1-3. පාන ආදි සූත්ර වර්ණනා
දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති = යම් අයගේ සතර ඉරියවූ වේ ද, ඒ අය හේතු කොට ගෙන ම මෙය කියන ලදී. සීලං නිස්සාය – චතුපාරිශුද්ධි ශීලය ඇසුරු කොට සත්ත බොජ්ඣඞ්ගා = විදර්ශනා මාර්ගය සහිත වූ බෝධ්යංගයන් දෙවැන්න හා තෙවැන්න පහසු අරුත් ඇත්තේමය.
4-10. ගිලාන ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - තථා පහීනොච ආයස්මතො මහා කස්සපස්ස සො ආබාධො අහොසී = මේ බෝධ්යංග භාවනාව මනාව ශ්රවණය කරන්නා වූ තෙරුන් වහන්සේට “පැවිදි වූ දිනයෙන් සත්වන දිනයෙහි සත්යයන් අවබෝධ කරන්නාවූ තමාහට මේ බෝධ්යංගයන් පහළ විය” යනුවෙන් සිහිපත් විය. ඉක්බිති “ශාස්තෲන් වහන්සේගේ ශාසනය ඒකාන්ත වශයෙන් නෛර්යාණික යයි” සිතන්නාවූ උන්වහන්සේගේ රුධිරය ප්රසන්න විය. උපාදා රූපය පිරිසිදු විය. පියුම් පතෙක වැටුණ දිය බිඳක් මෙන් සිරුරෙන් රෝගය ඉවත්ව ගියේය.
එහෙයින් “තථා පහීනොච ආයමතො මහා කස්සපස්ස සො ආබාධො අහෝසී” යනුවෙන් කියන ලදී. පස්වැන්නෙහි ද, සයවැන්නෙහිද මේ පිළිවෙළම වේ. මේ සූත්ර තුනෙහිදීම පර්වත පාදයන්හි මල් පිපුණ විෂ සහිත වෘක්ෂයන්ගෙන් හමන වාතය ස්පර්ශ වීමෙන් මිනිසුන් හට වැළදුණ සිරුර මඩින සීතල සහ උණ රෝගය (යන ආබාධය) ගැන කියන ලදැයි දත යුතුය. සෙසු සූත්ර සියලු තන්හි පහසු අරුත් ඇත්තේමය.
දෙවන ගිලාන වග්ගය නිමියේය.
3. උදායි වර්ගය
1-2. බෝධාය ආදි සූත්ර වර්ණනා
තෙවන වර්ගයේ පළමුවැන්නෙහි - කිත්තාවතා නුඛො භන්තෙ බොජ්ඣඞ්ගාති වූච්චන්ති = “ස්වාමීනී, අවබෝධ කරන්නා වූ අංගයන් කොපමණ නම් ඇතැයි කියන ලද්දේදැයි” විචාරයි. බොධාය සංවත්තන්ති = අවබෝධ කරගැනීම පිණිස පවතිත්. මේ සූත්රයෙහිදී මිශ්ර වූ බෝධ්යංගයන් කියන ලදී. දෙවැන්නෙහිදී ධර්මය බෙදා වෙන් කිරීම කියන ලදී.
3-5. ඨානි ආදි සූත්ර වර්ණනා
තෙවැන්නෙහි - කාමරාගට්ඨානීයානං = කාමරාගයට හේතු වූ අරමුණු පිළිබඳව, ක්රෝධයට හේතුවන කරුණුවලදීද මේ පිළිවෙළම වේ. මෙම සම්පූර්ණ සූත්රයම අරමුණු කරණ කොට ගෙන ම කියන ලදී. පළමුවන වර්ගයෙහි දෙවන සූත්රයෙහි කියන ලද බෙදා දැක්වීම ද මෙහිදී දක්නට ලැබේමය. සිවු වැන්නෙහිදී මිශ්ර වූ බෝධ්යංගයන් කියන ලදී. පස්වැන්නෙහි - අපරිහානියෙ ධම්මෙ = පිරිහීම් ඇති නොකරවන ස්වභාව ධර්මයන්.
6-7. ඛය ආදි සූත්ර වර්ණනා
සය වැන්නෙහි - එතදවොච = මේ පිරිස අතරෙහි සබඳතා පැවැත්වීමෙහි දක්ෂවූ උදායි ස්ථවිර නමැති භික්ෂුවක් හුන්නේය. හේ තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් තමාට දෝෂාරෝපණ සහිතව කරන ලද දේශනාවක් බව දැන තමාගෙන් ප්රශ්න අසන්නේ යයි සිතා දේශනාවෙහි සම්බන්ධතාවය ගැටීමකට ලක් කරන්නෙමියි (සිතා) ප්රශ්න කරන්නේ මෙසේ කීය. විපුලං යන ආදී සියල්ල මනාව වර්ධනය කරගත් සිත සඳහා කියන ලදී. මනාව වර්ධනය කරගත් පිරිසිදු සිහිය නමැති සම්බෝධ්යංගය විපුල වූයේද, උසස් බවට පත්වූයේ ද, අප්රමාණ (ඉතා උතුම්) වූයේ ද ක්රෝධ සිත් රහිත වූයේ ද වෙයි. ඒ වනාහී උසස් වූ බැවින් විපුල යයි ද, උතුම් තත්ත්වයට පත්වූ බැවින් මහග්ගත යයි ද, වැඩි දියුණු කරගත් උත්තම ස්වභාවයක් ඇති බැවින් අප්පමාණ යයිද, නීවරණ දුරු වීමෙන් ව්යාපාද රහිත වූ බැවින් අබ්යාපජ්ඣ යයි ද යෙදේ. තණ්හාය පහාණා කම්මං පහීයති = තෘෂ්ණාව මුල් කොට ගත් යම් කර්මයක් උපදීද එය තෘෂ්ණාවගේ ප්රහීන වීමෙන් සන්සිඳේ. කම්මස්ස පහාණ දුක්ඛං - කර්මය මුල් කරගත් යම් කිසි සාංසාරික දුකක් උපදින්නේ ද එය කර්මයේ ප්රහාණය වීමෙන් සන්සිඳේ. තණ්හක්ඛයාදයො = තෘෂ්ණාව යන ආදියේම ක්ෂය වීමයි. අර්ථ වශයෙන් වනාහී මේ පද විසින් නිර්වාණය පිළිබඳව කියන ලද්දේයයි දත යුතුයි. සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.
8. නිබ්බෙධ සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - නිබ්බෙධ භාගියං = විනිවිද දකින දැනුම ඇති අයගෙන් කෙනෙක් සති සම්බොජ්ඣඞ්ග භාවිතෙන = දියුණු කරන ලද යහපත් සිත නමැති සම්බොධ්යංගයෙන් සති සම්බෝධ්යංගය භාවිත කොට සිටි බැවින් මෙසේ මෙහි මාර්ග බෝධ්යාංගයෝ මිශ්රව පවතිත්. ඒ බෝධ්යංගයන් විසින් වර්ධනය කොට පැවති සිත ලෝකෝත්තර ලෙසම උපන්නක් වෙයි. එය ද මාර්ගය ආශ්රිතවූවක්කොට මිශ්රවූවක්ම යයි කිවයුතු වන්නේය.
9. ඒකධම්ම සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - සඤ්ඤොජන විනිබද්ධා = එකට බැඳුණ සංයෝජනයන් අජ්ඣොසානා = අවසන් කොට ග්රහණය කර ගැනීමෙන්
10. උදායි සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - අබහුකතො = නො කරන ලද බුහුමන් ඇත්තේ. උක්කුජ්ජාව කුජ්ජං = මෙහි “උක්කුජ්ජ” යනුවෙන් හට ගැන්ම කියනු ලැබේ. “අවකුජ්ජ” යනුවෙන් අවසානය කියනු ලැබේ. හට ගැන්මය, අවසානය යන වශයෙන් පරිවර්තනය වෙමින් විමසා බලන්නේ යයි දක්වයි. ධම්මොච මෙ අභි සමෙතො = ඒකරාශී වූ විදර්ශනා ධර්මය ඇත්තේ, මග්ගො = විදර්ශනා මාර්ගයයි. යම් හෙයකින් තෙරුන් වහන්සේ එසමයෙහි සෝවාන් වී සිටියාහු නම් මත්තෙහි මාර්ග තුන සඳහා ද, ඉදින් අනාගාමී වී සිටියාහු නම් අර්හත් මාර්ගය සඳහා ද මේ විදර්ශනාව දත යුතුය. තථා තථා විහරන්තං = ඒ ඒ ආකාරයෙන් වාසය කරන්නා වූ තථත්තාය = ඒසේ වීම සඳහා ඛීණජාති = (ඉපදීම නැති කරන ලදී) යන මේ ආදියෙන් “තථත්තාය” යන්න අදහස් කරන ලදී. එසේ වීම යන අදහස දැක්වේ. නුවණින් සලකා බැලීම පිණිස පමුණුවනු ලැබේය යන්න මෙහි අදහස වේ. එය දක්වමින් මෙසේ කීහ. සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේමය.
තෙවන උදායි වග්ගය නිමියේය.
4. නීවරණ වර්ගය
3. කිලේස සූත්ර වර්ණනාව
සිටුවන වර්ගයේ තෙවැන්නෙහි - න ච පභස්සරං = බැබලීමක් නැති. පභඞ්ගුච = බිඳෙන ස්වභාවය. අයො = කළු පැහැති ලෝහය හැර, මෙහි දී ඉතිරි ලෝහ වර්ග සතර කියන ලදී. සජ්ඣුං යනු = රිදී චිත්තස්ස = චාතුර්භූමික කුසල චිත්තයාගේ ත්රෛභූමික චිත්තයාගේ ද ක්ලේශයෝ වෙත්. ලෝකෝත්තර සිතේ කෙලෙස් තත්ත්වය කෙසේ ද යත් - කෙලෙස් ඉපදීමට ඉඩක් නොදේද, එම හේතුවෙන් මේවා ලෞකික තැනැත්තාට ද, ලෝකෝත්තර තැනැත්තාට ද කෙලෙස් නම් වේ. පභඞ්ගුච = අරමුණු සුණු විසුණු බවට පත්වීම නිසා සිදු වන බිඳෙන බව අනාවරණ = කුසල් දහම් ආවරණය නොකරත්ය යන අදහසින් “අනාවරණ” නම් වේ. චෙතසො අනුපක්කිලෙසා = චාතුර්භූමික චිත්තයාගේ කෙලෙස් නැති අවස්ථාව
7. ආවරණ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පඤ්ඤාය දුබ්බලී කරණා = ප්රඥාවේ මන්දභාවය සිදු කරන්නෝ නීවරණයන්ගේ නිරන්තර හට ගැන්මක් ඇති කල්හි ඒ අතරතුරෙහි උපදින ප්රඥාව දුබල වේ, අඩු වේ. හීන වේ.