6. කුමාරික සූත්‍ර වර්ණනාව
ඉත්‍ථි කුමාරික පටිග්ගහණා මෙහි ඉත්‍ථි යනු පුරුෂයන්හට අයත් කාන්තාවෝය. අන් කාන්තාවෝ කුමාරිකාවෝ නම් වෙති. ඒ කාන්තාවන් පිළිගැනීම ද, ඇල්මෙන් ස්පර්ෂ කිරීම භික්ෂූට කැප නොවේමය.
7. දාසිදාස සූත්‍ර වර්ණනාව
දාසි දාස පටිග්ගහණා දැසි දසුන් වශයෙන් ඔවුන් පිළිගැනීම නො සුදුසුය. කැපකරුවකු හෝ ආරාමිකයකු දෙමි යයි කී කල්හි වනාහී (පිළිගැනීම) සුදුසු වේ.
10. චතුත්ථ ආමකධඤ්ඤපෙය්‍යාල වර්ගය
1. ඛෙත්තවත්ථු සූත්‍ර වර්ණනාව
අජෙළකාදීසු = කෙත්වතු පිළිබඳව කැපය අකැපය යන පිළිවෙළ විනයට අනුව විමසා බැලිය යුතුය. එහි “ඛෙත්තං” නම් වී වැනි ධාන්‍ය වැවෙන බිමයි. “වත්‍ථු” නම් මුං වැනි ධාන්‍ය වැවෙන බිමයි. යම් තැනෙක ඒ දෙවර්ගයම වැවේ ද එය ද ඛෙත්ත වත්‍ථු (කෙත්වත්) නම් මාතෘකාවෙන් මෙහිදී වැව් විල් ආදිය ද එක් කොට සැලකිල්ලට ගන්නා ලදී.
2. කයවික්කය සූත්‍ර වර්ණනාව
කය වික්කය = මිලයට ගැනීමෙන් හා විකිණීමෙන් දුතෙය්‍යං යනුවෙන් ගිහියන්ගේ පණිවුඩ හෝ හසුන්පත් රැගෙන ඒ ඒ තැන්හි යන දූත ක්‍රියාව ගැන කියනු ලැබේ. පහෙණගමනං යනුවෙන් ගෙයින් ගෙට පණිවුඩ යවන කෙටි ගමන් කියනු ලැබේ. අනුයොගො නම් පෙර කී කාර්යයන් දෙකම සිදු කිරීමයි. එහෙයින් දුතෙය්‍ය, පහෙණ ගමනයන්හි යෙදීමය යන මෙය මෙහි අර්ථය යයි දත යුතුය.
4-6. තුලාකූටාදි සූත්‍ර වර්ණනා
තුලාකූටා දීසු = කූට නම් වංචා කිරීමයි. මෙහිදී “තුලා කූටං” යනු රූපකූට. කංසකූට. ගහණ කූට, පටිච්ඡානන කූට යයි චතුර්විධ වේ. එහි රූප කූට නම් මෙසේය - තරාදි තැටි දෙක සමාන සේ පෙන්වා, බඩු මිළයට ගන්නාවූ වෙළෙන්දා ලොකු තැටියෙන් බඩු ගනියි, පොඩි තැටියෙන් විකුණයි. “කංස කූට” නම් මෙසේය. - තුලාවෙන් බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී තුලාවේ පසු කොටස අතින් තද කරයි. බඩු විකිණීමේදී තුලාවේ පෙර කොටස අතින් තද කරයි. “ගහණ කූට” නම් මෙසේය :- මිනුම් පටියෙන් මැන බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී මිනුම් පටියේ මුලින් අල්ලයි, විකිණීමේදී එය පසුපසට කරයි. බඩු විකිණීමේදී එය පෙරට කරයි.
“කංස” යයි රන්තැටිය කියනු ලැබේ. එයින් වංචා කිරීම ද කංසකූට නම් වේ. එය කෙසේද යත් : රන් තැටි එකක් පමණක් සාදා වෙනත් ලෝහ තැටි දෙක තුනක් රනින් පාට කරගණිත් ඉන් පසු ජන පදයකට ගොස් මඳක් ධනවත් කිසියම් නිවෙසකට පිවිස රන් බඳුන් ගන්නයයි කියා අගය විමසූ කල්හි වඩා වටිනා තැටිය දෙනු කැමති වෙත් ඉක්බිති නිවැසියන් විසින් මේවායේ ස්වර්ණමය භාවය කෙසේ නම් දැන ගත හැකි වේ දැයි කී කල්හි පරීක්ෂා කොට ගන්න යයි කියන රන් තැටිය ගලක උලා පෙන්වා සියලුම තැටි දී යති.
මාන කූටං යනු හදය භෙද, සිඛාභෙද. රජ්ජු භෙද වශයෙන් ත්‍රිවිධ වේ. එහි හදය භෙද යනු ගිතෙල් තෙල් ආදිය මනින කල්හි කරනු ලබන්නකි. ඒවා මිළයට ගන්නා වෙළෙන්දා ඉක්මනින් වත් කරන්නැයි කියා යට සිදුරක් ඇති මිනුම් උපකරණයෙන් ඇතුළත බඳුනට වැඩියෙන් ලබාගනියි. ඒවා විකුණන්නාවූ වෙළෙන්දා සිදුර වසා ඉක්මනින් පුරවා දෙයි. විකිණීම සඳහා තල සහල් ආදිය මනින කල්හි වෙළෙන්දා මිනුම් බඳුනේ මුදුන නොපුරවා විකුණයි. ඒවා තමා මිළයට ගන්නාවූ වෙළෙන්දා ඉක්මනින් මිනුම් බඳුනේ ද්‍රව්‍යයන්හි මුදුන උස් කොට මැන ගනියි. විකුණන්නාවූ වෙළෙන්දා වේගයෙන් බඳුනේ ධාන්‍ය මුදුන කඩා විකුණයි. කෙත්වත් මැනීමෙහිදී මිනුම් රැහැන කැඩෙන සේ ක්‍රියාකරයි. කිසිවක් නො ලැබෙන්නේ නම් කුඩා කෙත විශාල වූ කෙතක් කොට මනියි.
7-9. උක්කොටනාදි සූත්‍ර වර්ණනා
යුක්තිය යටපත් කිරීම් ආදියෙහිදී උක්කොටනං යනු (දේපල) හිමියන් අහිමියන් කිරීමට අත්ලස් ගැනීමයි. චඤ්චනං = ඒ ඒ උපායයන්ගෙන් අනුන්හට වංචා කිරීමයි. එම කරුණෙහිදී මෙය එක් කථා වස්තුවකි.
එක්තරා දඩයම්කරුවෙක් මුවකුද, මුව පොව්වකු ද රැගෙන එයි. එක් ධුර්ත පුරුෂයෙක් “මිත්‍රය, මුවා කොතෙක් වටියි ද? මුව පොව්වා කොතෙක් වටියිද” යනුවෙන් (දඩයම්කරුගෙන්) ඇසීය. මුවා කහවණු දෙකකැයහි ද, මුව පැටවා කහවණු එකකැයිද කී කල්හි කහවණුවක් දී මුව පැටවා ගෙන නැවතුනේ “මිත්‍රය, මට මුව පැටවාගෙන් වැඩක් නැත. මට මුවා දෙන්න’යි කීය. එසේ නම් කහවණු දෙකක් දෙන්න යයි කීය. මිත්‍රය, මා විසින් මුලින් එක් කහවණුවක් දෙන ලද්දේ නොවේදැයි ඇසීය. එසේය දෙන ලදීයයි කීය. මේ මුව පැටවා ද ගන්න. මෙසේ එම කහවණුව ද, කහවණුවක් අගනා මෙම මුව පැටවා ද වශයෙන් කහවණු දෙකක් වේ. හේ තෙමේ (සත්‍යවූ) කරුණක් කියන්නේ යයි සලකා මුව පැටවා ගෙන මුවා දුන්නේ ය.
නිකති - යෝග වශයෙන් හෝ මායා වශයෙන් හෝ රිදී නොවන හවඩියක් රිදී හවඩියක් යයි ද, මැණික් නොවන දෙයක් මැණික් යයි ද, රන් නොවන දෙයක් රන් යයි ද (රැවටීම්) සිදු කොට පෙනීමේ සමානත්වය අනුව වඤ්චා කිරීමයි. සාවියොගො = වංක ක්‍රියාවන්හි යෙදීම. වංචනික ක්‍රියාවන්හි යෙදීම, කපටිකම්හි යෙදීම ආදී වශයෙන් මෙහි අර්ථය දැක්විය යුතුය. ඇතැම් කෙනෙක් යම් අයකු පෙන්වා අන් අයකු වෙනුවට මාරු කොට දැක්වීම “සාවියොග” යයි කියත් එයද වංචනයෙහිම ඇතුළත් කොට ඇත.