9. තතිය ආමකධඤ්ඤ පෙය්යාල වර්ගය
1. නච්චගීත සූත්ර වර්ණනාව
සසුනට නොසුදුසු බැවින් විකාර චිත්ර ආදිය දැකීම “විසූක දස්සන” යයි තමාම නැටීම හෝ නැටවීම ආදී වශයෙන් නැටීම් ද, ගී ගැයීම් ද, වාදනය කිරීම් ද ප්රියජනක වූ මොණර නැටුම් ආදී වශයෙන් ද පවත්වනු ලබන නැටුම් ආදියේ විසුළු සහිත වූ දර්ශනයන්ය යන අදහසින් නච්චගීත වාදිත විසූක දස්සනා (යි යෙදේ) තමාම නැටුම් හි යෙදීම හෝ අනුන් නැටුම්හි යෙදවීම හෝ (අනුන් විසින්) යොදවනු ලැබූ නැටුම් දැකීම හෝ භික්ෂූන් හට ද, භික්ෂූණීන් හට ද සුදුසු නොවේ.
2. උච්චාසයන සූත්ර වර්ණනාව
උච්චා සයනං = යනු කැප නො වන ඇතිරිලි සහිත. ප්රමාණය ඉක්මවූ පහසුකම් සහිත ආසනය කියනු ලැබේ. (භික්ෂූහු) එයින් වෙන් වූවාහු යන අර්ථයයි.
3. ජාතරූප සූත්ර වර්ණනාව
ජාත රූපං = රන් රජතං කහවණු - ලොහ මාසකය, ඡතු මාසකය යනුවෙන් යම් කහවණුවක් ව්යවහාරයට යෙත් ද, ඒ දෙවර්ගයම පිළිගැනීමෙන් (භික්ෂූහු) වැළකුණාහුය. ඒවා අතට) නොගණිත්, අනුන් ලවා ද නොගන්වත්. තමා වෙත තබන ලද්දේ වුවද නො පිළි ගණිත් යන අදහසයි.
4. ආමකධඤ්ඤ සූත්ර වර්ණනාව
ආමක ධඤ්ඤ පටිග්ගහණා ඇල් වී, වී, යව (බාර්ලි) ගොධුම (තිරිඟු) කඩල (තණ හාල්) වරක (මෙනේරි), කුද්රෑසක (කුරහන්) යන ආදී වශයෙන් වර්ග සතක් වන නො පිසූ ධාන්ය පිළිගැනීමෙන් භික්ෂූහු වැළකී සිටිති. හුදෙක් ඒවා පිළිගැනීම පමණක් නොව, ඇල්මෙන් යුතුව ඒවා ස්පර්ශ කිරීම ද භික්ෂූන්හට සුදුසු නොවේමය.
5. ආමකමංස සූත්ර වර්ණනාව
ආමක මංස පටිග්ගහණා = තමන් උදෙසා හෝ තම අනුමතිය ඇතිව හෝ සැකසූ අමු මස් මාලු පිළිගැනීමම භික්ෂූන් හට නො සුදුසුය. ඇල්මෙන් යුතුව ඒවා අතපත ගෑම ද නො සුදුසුය.
6. කුමාරික සූත්ර වර්ණනාව
ඉත්ථි කුමාරික පටිග්ගහණා මෙහි ඉත්ථි යනු පුරුෂයන්හට අයත් කාන්තාවෝය. අන් කාන්තාවෝ කුමාරිකාවෝ නම් වෙති. ඒ කාන්තාවන් පිළිගැනීම ද, ඇල්මෙන් ස්පර්ෂ කිරීම භික්ෂූට කැප නොවේමය.
7. දාසිදාස සූත්ර වර්ණනාව
දාසි දාස පටිග්ගහණා දැසි දසුන් වශයෙන් ඔවුන් පිළිගැනීම නො සුදුසුය. කැපකරුවකු හෝ ආරාමිකයකු දෙමි යයි කී කල්හි වනාහී (පිළිගැනීම) සුදුසු වේ.
10. චතුත්ථ ආමකධඤ්ඤපෙය්යාල වර්ගය
1. ඛෙත්තවත්ථු සූත්ර වර්ණනාව
අජෙළකාදීසු = කෙත්වතු පිළිබඳව කැපය අකැපය යන පිළිවෙළ විනයට අනුව විමසා බැලිය යුතුය. එහි “ඛෙත්තං” නම් වී වැනි ධාන්ය වැවෙන බිමයි. “වත්ථු” නම් මුං වැනි ධාන්ය වැවෙන බිමයි. යම් තැනෙක ඒ දෙවර්ගයම වැවේ ද එය ද ඛෙත්ත වත්ථු (කෙත්වත්) නම් මාතෘකාවෙන් මෙහිදී වැව් විල් ආදිය ද එක් කොට සැලකිල්ලට ගන්නා ලදී.
2. කයවික්කය සූත්ර වර්ණනාව
කය වික්කය = මිලයට ගැනීමෙන් හා විකිණීමෙන් දුතෙය්යං යනුවෙන් ගිහියන්ගේ පණිවුඩ හෝ හසුන්පත් රැගෙන ඒ ඒ තැන්හි යන දූත ක්රියාව ගැන කියනු ලැබේ. පහෙණගමනං යනුවෙන් ගෙයින් ගෙට පණිවුඩ යවන කෙටි ගමන් කියනු ලැබේ. අනුයොගො නම් පෙර කී කාර්යයන් දෙකම සිදු කිරීමයි. එහෙයින් දුතෙය්ය, පහෙණ ගමනයන්හි යෙදීමය යන මෙය මෙහි අර්ථය යයි දත යුතුය.
4-6. තුලාකූටාදි සූත්ර වර්ණනා
තුලාකූටා දීසු = කූට නම් වංචා කිරීමයි. මෙහිදී “තුලා කූටං” යනු රූපකූට. කංසකූට. ගහණ කූට, පටිච්ඡානන කූට යයි චතුර්විධ වේ. එහි රූප කූට නම් මෙසේය - තරාදි තැටි දෙක සමාන සේ පෙන්වා, බඩු මිළයට ගන්නාවූ වෙළෙන්දා ලොකු තැටියෙන් බඩු ගනියි, පොඩි තැටියෙන් විකුණයි. “කංස කූට” නම් මෙසේය. - තුලාවෙන් බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී තුලාවේ පසු කොටස අතින් තද කරයි. බඩු විකිණීමේදී තුලාවේ පෙර කොටස අතින් තද කරයි. “ගහණ කූට” නම් මෙසේය :- මිනුම් පටියෙන් මැන බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී මිනුම් පටියේ මුලින් අල්ලයි, විකිණීමේදී එය පසුපසට කරයි. බඩු විකිණීමේදී එය පෙරට කරයි.