7-9. උක්කොටනාදි සූත්ර වර්ණනා
යුක්තිය යටපත් කිරීම් ආදියෙහිදී උක්කොටනං යනු (දේපල) හිමියන් අහිමියන් කිරීමට අත්ලස් ගැනීමයි. චඤ්චනං = ඒ ඒ උපායයන්ගෙන් අනුන්හට වංචා කිරීමයි. එම කරුණෙහිදී මෙය එක් කථා වස්තුවකි.
එක්තරා දඩයම්කරුවෙක් මුවකුද, මුව පොව්වකු ද රැගෙන එයි. එක් ධුර්ත පුරුෂයෙක් “මිත්රය, මුවා කොතෙක් වටියි ද? මුව පොව්වා කොතෙක් වටියිද” යනුවෙන් (දඩයම්කරුගෙන්) ඇසීය. මුවා කහවණු දෙකකැයහි ද, මුව පැටවා කහවණු එකකැයිද කී කල්හි කහවණුවක් දී මුව පැටවා ගෙන නැවතුනේ “මිත්රය, මට මුව පැටවාගෙන් වැඩක් නැත. මට මුවා දෙන්න’යි කීය. එසේ නම් කහවණු දෙකක් දෙන්න යයි කීය. මිත්රය, මා විසින් මුලින් එක් කහවණුවක් දෙන ලද්දේ නොවේදැයි ඇසීය. එසේය දෙන ලදීයයි කීය. මේ මුව පැටවා ද ගන්න. මෙසේ එම කහවණුව ද, කහවණුවක් අගනා මෙම මුව පැටවා ද වශයෙන් කහවණු දෙකක් වේ. හේ තෙමේ (සත්යවූ) කරුණක් කියන්නේ යයි සලකා මුව පැටවා ගෙන මුවා දුන්නේ ය.
නිකති - යෝග වශයෙන් හෝ මායා වශයෙන් හෝ රිදී නොවන හවඩියක් රිදී හවඩියක් යයි ද, මැණික් නොවන දෙයක් මැණික් යයි ද, රන් නොවන දෙයක් රන් යයි ද (රැවටීම්) සිදු කොට පෙනීමේ සමානත්වය අනුව වඤ්චා කිරීමයි. සාවියොගො = වංක ක්රියාවන්හි යෙදීම. වංචනික ක්රියාවන්හි යෙදීම, කපටිකම්හි යෙදීම ආදී වශයෙන් මෙහි අර්ථය දැක්විය යුතුය. ඇතැම් කෙනෙක් යම් අයකු පෙන්වා අන් අයකු වෙනුවට මාරු කොට දැක්වීම “සාවියොග” යයි කියත් එයද වංචනයෙහිම ඇතුළත් කොට ඇත.
10-15. ඡෙදනාදි සූත්ර වර්ණනා
ඡෙදන ආදියෙහි දී ඡෙදනං යනු අත් කපාදැමීම් ආදියයි. වධො යනු මරා දැමීමයි. බන්ධො යනු බඳින රැහැන් ආදියෙන් බැඳීමයි. විපරාමොසො = හිමවිපරා මොසො, ගුම්බවිපරාමොසො යනුවෙන් මෙය දෙවැදෑරුම් වේ. යම් හෙයකින් හිම වැටෙන සමයෙහි හිමෙන් සැඟවී සිට මඟට පිළිපන් ජනයන් (ගෙන්) මං පහරත් ද මෙය “හිම විපරිමොසො” නම් වේ. යම් හෙයකින් පඳුරු ආදියෙහි සැඟවී සිට මංපහරත් ද මෙය “ගුම්බ විපරාමොස” නම් වේ.
ආලොපො යනුවෙන් ගම් නියම්ගම් ආදියේ පැහැර ගැනීම කියනු ලැබේ. සාහසාකාරො = සැහැසි ක්රියා නිවෙස්වලට ඇතුල් වී මිනිසුන්ගේ පපුවට ආයුධයක් තබා තමා කැමති බඩු (පැහැර) ගැනීම, මෙසේ කැපීම්, මැරීම්, බැඳීම්, මං පැහැරීම්, ගම් පැහැරීම් යන මේවායින් (භික්ෂූහු) බැහැර වූවාහුය. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
ආමක ධඤ්ඤ පෙය්යාල වර්ණනාව නිමි.
සච්ච සංයුත්තය සමාප්තයි.
සාරත්ථප්පකාසිනී නම් වූ සංයුත්ත නිකායට්ඨ කථාවෙහි
මහාවග්ග වණ්ණනාවද නිමියේය.
මහාවග්ග වණ්ණනාවද නිමියේය.