මුත්තචාගො = පතුරුවන ලද පරිත්‍යාගය ඇත්තේ පයතපාණී = පැමිණි අයගේ දානය සඳහා සේදු අත් ඇත්තේ වොස්සග්ගරතො = වොස්සග්ග යයි කියනු ලබන ත්‍යාග කිරීමෙහි ඇලුණේ යාචයොගො = ඉල්ලීම සුදුසු වන්නාවූ දාන සංවිභාගරතො = දානයෙහි දී අල්පමාත්‍ර වූ හෝ කිසිවක් ලැබුණේ නම් එය ද බෙදීමෙහි කැමති වන්නාවූ, අප්පටි විභත්තං = මෙය අපට ය, මෙය භික්ෂූන්හටය යනුවෙන් මෙසේ නොබෙදෙන ලද සියල්ල දිය යුතු වී සිටියේය යන අර්ථයයි.
7. වේළුද්වාරෙය්‍ය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - වෙළුද්වාරං = ගම් දොරටුවෙහි පරපුරෙන් පැමිණි උණ ගසක් ඇති බැවින් මෙසේ ලැබුණාවූ නාමයක් ඇති ගම අත්තූපනායික = තමා වෙත පැමිණිය යුතු සම්ථප්ප ලාප භාසෙන = නිෂ්ඵල වචන කථා කිරීමෙන් නිරර්ථකවූ අනුවණ වචනවලින් යන අරුතයි.
8-9. ගිඤ්ජකාවසථ ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි - ඤාතිකෙ = එක් විලක් ඇසුරු කොට සුලු පියා හා මහ පියා යන දෙදෙනකුගේ පුතුන්ගේ ගම් දෙකක් විය. ඒවායින් එක් ගමෙක ගික්‍ජකාවසථ = ප්‍රිය උපදවන, ආශාව ඇති කරවන වාසස්ථානයෙහි. ඕරම්භාගියානං = මගපලවලින් පහළ තත්ත්වයෙහි සිටියවුන්හට කාමභවයෙහිම පිළිසිඳ ගැනීම් කරන්නවුන්ගේ යන අර්ථයයි. “ඞ්රං” යනුවෙන් ලබන ලද නම්වලින් හෝ මාර්ග තුනෙන් බැහැර කළයුතු වේය යනුවෙන් හෝ “ඔරම්භාගියානි” යයි කියනු ලැබේ. එහි කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මේ දෙක සමාපත්තියෙන් හෝ වික්ෂිප්ත නොවන මාර්ගයෙන් හෝ මුළුමනින්ම නැතිවූයේ නොවේ. ඉපදීම් වශයෙන් ඉහළ තත්ත්වයෙහි වූ රූප, අරූප භවයකට හෝ යාමට නො දෙත් සක්කාය දිට්ඨි ආදී තුන එහි උපන් අය ද ගෙන්වා නැවත මෙහි ම උපදවත් යයි යනුවෙන් සියල්ලම “ඔරම්භාගිය” ම වේ. අනාවත්ති ධම්මො = පිළිසිඳීම් වශයෙන් මෙලොවට නොපැමිණෙන ස්වභාවය ඇති
රාග දොස මොහානං තනුත්තා = මෙහිදී කිසි කලෙක උත්පත්තියෙන් ද, නැඟී සිටීමේ මන්ද භාවයෙන් ද යන මේ දෙ අයුරින් තුනී වූ ස්වභාවය දත යුතුය. සකෘදාගාමී අයට වනාහී පුහුදුන් අයට මෙන් නිතර පවත්නා රාගාදිය නො උපදී. කිසි විටෙක කලාතුරකින් උපදී. උපදින්නේ වුවද පුහුදුන් අයට මෙන් බලවත්ව බහුල ලෙස නො උපදී. මැසි පියාපතක් මෙන් තුනී ලෙස උපදී. දීඝ භාණක ත්‍රිපිටක මහාසීව ස්ථවිර තෙමේ මෙසේ කීය. “යම් හෙයකින් සකෘදාගාමී අයට දූ පුත්හු වෙත් ද, අන්තඃපුර කාන්තාවෝ වෙත්ද එහෙයින් කෙලෙස් දැඩි වේ” මෙය භවය වශයෙන් කියන ලදී.” සෝවාන් වූ පුද්ගලයාට වනාහී භවයන් සතක් නිමවා තබා අටවන භවයකදී භවය ගෙවී යාමක් නැත. (සත්වන භවයෙන් හෝ ඉන් පෙර සසර නිම වන බවයි) සකෘදාගාමී පුද්ගලයාට භවයන් දෙකක් නිමවා තබා පසු භවයන් පහකදී භවය ගෙවී යාමක් නැත. (භවයන් දෙකක් අතරතුරදී සසර නිමවන බවයි. අනාගාමී පුද්ගලයාට රූපාරූප භවය හැර කාම භාවයකදී භවය ගෙවී යාමක් නැත. (නැවත මෙළොව නො උපදින බවයි) ක්ෂිණාශ්‍රවයා හට අන්‍ය වූ කිසියම් භවයකදී භවය ගෙවී යාමක් නැත” (පවත්නා භවය පමණි) යනුවෙන් අටුවාවෙහි කියන ලද බැවින් එය (මහාසීව තෙරුන් ගේ මතය) ප්‍රතික්ෂේප වෙයි.
ඉමං ලොකං = මෙම කාමාවචර ලෝකය සඳහා කියන ලදී. මෙහි අදහස මෙසේය. ඉදින් මිනිස් ලොවෙහි දී සකෘදාගාමී ඵලයට පැමිණි පුද්ගලයා දෙව්ලොව ඉපිද රහත් බව අවබෝධ කර ගනියි ද, මෙම කුසලතාවය ලබාගත නොහැකි පුද්ගලයා වනාහී අවශ්‍යයෙන්ම මිනිස් ලොවට පැමිණ (රහත් බව) අවබෝධ කරගනියි. දෙව්ලොවදී සකෘදාගාමී ඵලයට පැමිණි පුද්ගලයාද ඉදින් මිනිස් ලොව ඉපිද රහත් බව අවබෝධ කර ගනියි ද, මෙම කුසලතාවය ලබාගත නොහැකි පුද්ගලයා වනාහී අවශ්‍යයෙන්ම දෙව්ලොවට ගොස් (රහත් බව) අවබෝධ කරගනියි.
පහත් තත්ත්වයකට වැටෙන්නා වූ විනිපාත ධර්මයක් (අභව්‍ය ස්ථානයකට වැටීමක්) නැත යන අදහසින් අවිනිපාත ධම්මො යයි කියනු ලැබේ. සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇතැයි යන අර්ථයයි. නියතො ධර්ම නියාමයෙන් (නියම වශයෙන් සිදු වන්නක් බැවින්) “නියත” නම් වේ. සම්බොධි පරායණො = (සකෘදාගාමී සිට) ඉහළ මාර්ග තුන නම් වූ සම්බෝධියට යොමු වූ මාර්ගය මොහුට පිළිසරණක් පිණිස අවශ්‍යයෙන්ම පැමිණිය යුතුය යන අදහසින් “සම්බොධි පරායණො” යයි කියන ලදී. විහෙසා වෙසා ආනන්‍දයෙනි, ඒ ඒ අයගේ ඥාන ගතිය අනුව උපදිනා සහ ඥානයට සුදුසු පරලොව බලන්නාවූ තථාගතයන්හට මෙය කායික වෙහෙසක් වන්නේය යනුවෙන් දක්වයි. බුදුවරුන් හට වූ කලී සිතට වෙහෙසක් නම් නැත්තේය.
ධම්මාදාසං = ධර්මය නම් වූ කැඩපත ගෙන යම්බඳු වූ ධර්මය නමැති කැඩපතකින් යුක්තවූයේ ද ඛීණාපාය දුග්ගති විනිපාතො = මෙය “අපාය” යන ආදියටම පර්යාය වචන වශයෙන් කියන ලදී. නිරය ආදිය වනාහී වර්ධනය නම් වූ අය පක්ෂයෙන් පහ වී ඇති බැවින් “අපාය” යයි ද දුකෙහි ස්වභාවය පිහිටි තැන යන අදහසින් “දුග්ගති” යයි ද, වැරදි ක්‍රියාවන් හි යෙදුණ අය මෙහි පතනය වෙතියි යන අදහසින් “විනිපාත” යයි ද කියනු ලැබේ. නවවැන්න පහසු වෙයි.
10. තතිය ගිඤ්ජකාවසථ සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - පරො පඤ්ඤාසා = අමතර පනහක් සාධික නවුති = අමතර අනුවක් ජාතිරෙකානි = හයක් වැඩි ඒ ගම වනාහී කිසිසේත් අතිශයින් විශාල වුවක් නොවීය. මෙහි ආර්ය ශ්‍රාවකයෝ බොහෝ වූහ. එහි අහිවාතක රෝගයෙන් එකවරම විසිහතර ලක්ෂයක් ප්‍රාණීහු මිය ගියහ. ඔවුන් අතරෙහි ආර්ය ශ්‍රාවකයෝ මෙ පමණවූහ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.