1. වෙළුද්වාර වර්ගය
1. රාජ සූත්‍ර වර්ණනාව
සොතාපත්ති සංයුත්තයේ පළමුවැන්නෙහි කිඤ්චාපි අනුග්‍රහ සහ ගැරහීම් කිරීමෙහි නිපාතයකි. සතර මහ දිවයින්හි අධිපති බවට පැමිණි රාජ්‍යත්‍වයට අනුග්‍රහ කරන්නාවූ ද, සතර අපායන් දුරුනොකළ බවට ගර්හා කරන්නාවූ ද ශාස්තෲන් වහන්සේ කිඤ්චාපි භික්‍ඛවෙ රාජා චක්කවත්ති = යන ආදිය වදාළහ. චතුන්නං දීපානං = දෙදහසක් දිවයින් පිරිවරකොට ඇති සතර මහ දිවයින්හි. ඉස්සරියාධි පච්චං = ස්වාමීත්වය “ඉස්සරිය” නම් වෙයි. අධිපති භාවය “අධිපතිච්ච” නම් වෙයි. ඉස්සරිය, අධිපච්ච යන මෙහි රජයෙහි සිදීම හා බිඳීම සිදු නොවේය යන්න “ඉස්සරියාධිපච්ච” නම් වෙයි. කාරෙත්‍වා = මෙවැනි රාජ්‍යයක් පවත්වා කිඤ්චාපි භික්‍ඛවෙ අරිය සාවකො යන ආදිය වදාළහ. එහි නත්තකානි = අවසන් වීම් නැති යන අදහසයි. තෙළෙස් වරක් හෝ පලුදු වූ රෙදිපටක් දස කොටසක්ව ඉරීගිය තැන් පටන් “නන්තකං” යන නම ලබයි.
අවෙච්චප්පසාදෙන = ස්ථිරවූ පැහැදීමෙන්. ඒ මේ පැහැදීම වනාහී එක් අයුරකින් හෝ නන් අයුරින් ඇති වේ. නියම මාර්ගයෙන් පැමිණි ඒ පැහැදීම යම් වස්තූන් කෙරෙහි පෙර පසු නොවී (හෙවත් එක්වරම) වර්ධනය වේද, ඒ අයුරින් බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යන ආදී පිළිවෙළින් තුන් ආකාරයකින් කියන ලදී. යම් හෙයකින් එකම ආකාරයක් වේ නම් එය පහත් තත්ත්වයක් වෙයි. ආර්ය ශ්‍රාවකයාගේ වනාහී බුදුන් වහන්සේ කෙරෙහිම පමණක් පවතින ප්‍රසාදය ද, ප්‍රේමයද, ගෞරවය ද මහත් වන්නේ නම් ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ ප්‍රසාදය ද, ප්‍රේමය ද, ගෞරවය ද මහත් නො වේ. ධර්මය කෙරෙහිම පමණක් ප්‍රසාදය ආදිය) මහත්ව පවතී නම් බුදුන් කෙරෙහි හෝ සංඝයා කෙරෙහි එය මහත් නොවේ. සංඝයා කෙරෙහිම පමණක් එය මහත්ව පවතී නම් බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි එය මහත් නොවේ. (අචල ශ්‍රද්ධාවෙහිදී) මෙවැන්නක් නැත්තේය. ඉතිපිසො භගවා යන ආදිය විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේය.
අරිය කන්තෙහි = ආර්යයන් හට ප්‍රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් භාවයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්‍රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී. අඛණ්ඩෙහි යනුවෙන් පෙර කී කරුණට සමාන යයි කියන ලදී. (බඳුනක) මුව ගැටියෙහි එක් තැනක් කැඩුණේ නම් “ඛණ්ඩ” යයි කියනු ලැබේ. මැද කැඩෙන්නේ නම් “ජිද්ද” යයි ද, එක් පෙදෙසක් කැඩුණේ නම් විවිධ වර්ණ සහිත ගව දෙනක සේ පෙනෙන බැවින් “සබල” යයි ද, විවිධ තැන්හි බින්දු අයුරින් විවිධාකාර ලෙස කැඩුනේ නම් “කම්මාස” යයි ද කියනු ලැබේ. මෙසේම පිළිවෙළින් මුල හෝ අග හෝ කැඩුණ සීලය “ඛණ්ඩ” නම් වේ, මැද කැඩුණ සීලය “ඡිදද” නම් වේ, යම් කිසි තැනෙක දෙපොළක් හෝ තුන් පොළක් පිළිවෙළින් කැඩුණා සීලය “සබල” නම් වේ. තැනින් තැන කැඩුණා සීලය “කම්මාස” නම් වේ. එම දෝෂ නැති වීමෙන් “අඛණ්ඩ සීල” නම් වේ යන ආදී වශයෙන් දත යුතුය. භුජිස්සෙහි = වහල් බවෙන් නිදහස් කර ගන්නා තැනැත්තා විසින් විඤ්ඤප්පසත්‍ථෙහි = බුද්ධාදී ප්‍රාඥයන් විසින් පසසනු ලැබූ අය විසින් අපරාමට්ඨෙහි = ඔබ විසින් මෙය කරන ලදී. මෙය විතර්ක කරන ලදී යනුවෙන් මෙසේ දැඩි සිතින් කීමට නොහැකි අය විසින් සමාධි සංවත්තනිකෙහි = අර්පණ සමාධිය හෝ උපචාර සමාධිය පැවැත්වීමට අසමත් අය විසින්.
2. බ්‍රහ්මචරියොගධ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සද්ධා යන පදයෙන් බුදුන් කෙරෙහි ප්‍රසාදය ගන්නා ලදී. සීලං යන පදයෙන් ආර්යයන් හට ප්‍රියමනාප වූ සීලය ගන්නා ලදී. පසාදො යන පදයෙන් සංඝයා කෙරෙහි ප්‍රසාදය ගන්නා ලදී. ධම්මදස්සනං යන පදයෙන් ධර්මය කෙරෙහි වන ප්‍රසාදය ගන්නා ලදී. මෙසේ සෝවාන් අංග සතර කියන ලදී. කාලෙපච්චෙන්ති = සුදුසු කාලයෙහි පැමිණෙති. බ්‍රහ්මචරියොගධං සුඛං = බඹසරට ඇතුළත්ව සිටින්නහුට එමගින් තම සිරුර වෙත ලැබෙන උපරිම සැපත පිළිබඳ සුවය. යමෙක් මේ ගාථාවෙන් පැහැදීමට පත් වූයේ වෙයිද, හේ තෙමේ තෝරාගත් ප්‍රසාදය ඇත්තෙක් වෙයි. ත්‍රිපිටක චූළාභය ස්ථවිර තෙමේ මෙයට “මාර්ග ප්‍රසාදය” යයි කීය. ත්‍රිපිටක චූළ නාග ස්ථවිර තෙමේ පැමිණි මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂණ ප්‍රසාදය” (නුවණින් සලකා බැලීමේ ප්‍රසාදය) යයි කීය. මේ තෙරවරු දෙදෙනම පණ්ඩිතයෝ ද, බහුශ්‍රැතයෝ ද වෙති. දෙදෙනාගේම යහපත් වූ කියමන නම් මෙය මිශ්‍ර වූ ප්‍රසාදයක් බවයි.
4. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - තස්මා = යම් හෙයකින් සෝවාන් අංග සතරෙහි දක්නට ලැබේ, එහෙයිනි. විජ්ජාභාගියෙ = විද්‍යාව නම් කොටසට අයත්. සබ්බ සඞ්ඛාරෙසු = සියලු ත්‍රෛභූමක සංස්කාරයන්හි, මෙසේ මෙහි ඉහළ මාර්ග තුනේ විදර්ශනාව කියන ලදි. විඝාතං = දුක සිවුවැන්න පහසු වේ.
5. දුතිය සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - සොතාපත්තියඞ්ගං = සෝවාන් මාර්ගයෙහි මුල් කොටස ලැබීම නම් වූ අංගය, බුදුන් කෙරෙහි වන නොසැලෙන පැහැදීම් ආදී ගුණයන් සෝවාන් මාර්ගයේ අංගයන් නම් වේ. ඒවා “සොතාපත්තියඞ්ග” යයි (ව්‍යවහාරයට) පැමිණියේය. එහි වචන දෙකෙහිම අර්ථය මෙසේය. සත් පුරුෂයන් සේවනය කරන්නාවූ, භජනය කරන්නාවූ, ඇසුරු කරන්නාවූ, දහම් අසන්නාවූ, නුවණින් මෙනෙහි කරන්නාවූ, ධර්මානුධර්ම පුර්වභාග ප්‍රතිපදාව පිළිපදින්නාවූ පුද්ගලයා සෝතාපත්තිභාවය ලබා ගන්නේය යන අදහසින් සත්පුරුෂ ආශ්‍රය යන ආදිය සෝතාපත්ති භාවයේ අංගයක් බැවින් සෝතාපත්ති මග්ගං යන්න යෙදේ. අනික් අංගය ප්‍රථම මාර්ගය නම් වූ සෝවාන් මාර්ගයේ අංගයක් වේ යයි ද යන අදහසින් “සෝතාපත්තියඞ්ග” වේ. අවබෝධ කරගන්නා ලද සෝතාපත්ති මාර්ගයාගේ මාර්ගාංගයක්ය යනුවෙන්ද “සෝතාපත්තියඞ්ග” නම් වේ.