10. තතිය ගිඤ්ජකාවසථ සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - පරො පඤ්ඤාසා = අමතර පනහක් සාධික නවුති = අමතර අනුවක් ජාතිරෙකානි = හයක් වැඩි ඒ ගම වනාහී කිසිසේත් අතිශයින් විශාල වුවක් නොවීය. මෙහි ආර්ය ශ්රාවකයෝ බොහෝ වූහ. එහි අහිවාතක රෝගයෙන් එකවරම විසිහතර ලක්ෂයක් ප්රාණීහු මිය ගියහ. ඔවුන් අතරෙහි ආර්ය ශ්රාවකයෝ මෙ පමණවූහ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
පළමුවන වේළුද්වාර වර්ගය නිමි.
2. රාජකාරාම වර්ගය
1. සහස්ස සූත්ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - රාජකාරාමෙ රජු විසින් කරවන ලද බැවින් මෙසේ ලැබුණ නම ඇති ආරාමයෙහි. කවර නම් රජ කෙනෙකුන් විසින් ද යත් - පසේනදී කෝසල රජු විසිනි. බුද්ධත්වයට පැමිණි මුල් කාලයෙහිම කීර්තියෙන් හා ලාභයෙන් අග පැමිණි ශාස්තෲන් වහන්සේ දැක තීර්ථකයෝ මෙසේ සිතූහ. “ශ්රමණ ගෞතම තෙමේ ලාභයෙන් ද කීර්තියෙන්ද අගතැන් පත්විය. මේ වනාහී අන් කිසි සීලයක් හෝ සමාධියක් හෝ නිසා සිදු වූ ලාභයෙන් අග්රප්රාප්ත වීමක් නොවේ. උස් බිම් කඩක් වූ ඒ ස්ථානය නිසා සිදුවූවකි. ඉදින් අපි ද දෙව්රම සමීපයෙහි ආරාමයක් කිරීමට හැකි වන්නෙමු නම් ලාභයෙන් කීර්තියෙන් අගතැන් පත් වන්නෝ වෙමු” යනුයි. ඔව්හු තම තමන්ගේ උපස්ථායකයන්හට පවරා කහවණු ලක්ෂයක් පමණ ලබා ගෙන ඒවා රැගෙන රජු සමීපයට ගියහ. රජතෙමේ මේ කිම්දැයි ඇසීය. අපි දෙව්රම සමීපයෙහි තීර්ථකාරාමයක් කරවමු, ඉදින් ශ්රමණ ගෞතමයෝ හෝ ශ්රමණ ගෞතමයන්ගේ ශ්රාවකයෝ හෝ පැමිණ වළක්වන්නාහු නම් වැළැක්වීමට ඉඩ නො දෙන්නැයි කියා අත්ලස් දුන්හ. රජ තෙමේ අල්ලස ගෙන “යන්න, එය කරවන්න” යයි කීය.
ඔව්හු ගොස් තම උපස්ථායකයන් ලවා ද්රව්ය සම්භාරයන් ගෙන්වා ගෙන කණු නැංවීම් ආදිය කරවන්නාහු උස්හඬ මහහඬ සහිත එකම කලබලයක් කළහ. ශාස්තෲන් වහන්සේ ගඳ කිළියෙන් නික්ම ඉදිරියෙහි සිට ආනන්දයෙනි, එම උස් හා මහ හඬ කවරේද? මසුන් මරණ කෙවූලන් යයි සිතමි. එය එසේ දැයි විමසූහ. “ස්වාමීනි. ජේතවනය සමීපයෙහි තිර්ථකයෝ තීර්ථකාරාමයක් කරවති”යි කීය. “ආනන්දය, මේ සස්නෙහි විරුද්ධවාදීහු භික්ෂු සංඝයාගේ විහරණයට අපහසු දෙයක් කරන්නෝය. රජුට දන්වා ඉවත් කරවන්න” යයි කීහ.
ස්ථවිර තෙමේ භික්ෂ සංඝයා සමග ගොස් රජ මැදුරේ දොරටුවෙහි සිටියේය. “දේවයන්වහන්ස. තෙරුන් වහන්සේ වැඩියහ”යි (රාජ පුරුෂයෝ) රජුට දැන්වූහ. රජතෙමේ තමා අල්ලස් ගත් බැවින් පිටතට නො පැමිණියේය. තෙරුන් වහන්සේ ගොස් ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ සැරියුත් මුගලන් තෙරවරුන් යැවුහ. රජතෙමේ උන්වහන්සේලාට (තමා) දැකීමට (තමා) දැකීමට (අවසරයක් ද) නොදුන්නේය. උන්වහන්සේලා පැමිණ ශාස්තෲන් වහන්සේට “ස්වාමීනි, රජ තෙමේ පිටතට නික්මුණේ නැතැයි” දැන්වූහ. ශාස්තෲන් වහන්සේ එකෙණෙහිම “තමාගේ රාජ්යයෙහි සිට කලුරිය කිරීමට (රජුට) නො ලැබෙන්නේ යයි” වදාළහ.
දෙවන දිනයෙහි (ශාස්තෲන් වහන්සේ) තමාම භික්ෂු සංඝයා පිරිවරා ගෙන ගොස් (රජ මැදුරේ) දොරටුවෙහි වැඩ සිටි සේක. රජතෙමේ ශාස්තෲන් වහන්සේ වැඩි සේකැයි අසා නික්ම, (උන්වහන්සේලා) මැදුරට වැඩමවා පර්යංකයෙහි වඩා හිඳුවා කැඳසහිත ආහාර පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ කැඳසහිත ආහාර වැළඳූසේක්, අහරවළදා නිමවන තුරු ශාස්තෲන් සමීපයෙහි හිඳින්නෙමියි පැමිණ හිඳගත් රජුට, මහරජ, ඔබ විසින් මෙබඳු දෙයක් කරන ලද්දේ යයි නො වදාරා කරුණකින්ම එය හඟවන්නෙමියි සිතා මෙම අතීත කරුණ ගෙන හැර දැක්වූහ. මහරජ, පැවිද්දන් ඔවුනොවුන් ගැටුම්හි යෙදවීම නොසුදුසුය. අතීතයෙහි ද ඍෂීන් අතර ඔවුනොවුන්ගේ ගැටුම් ඇති කරවා රජ කෙනෙක් රට ද සමග මුහුදට බිලි වීයයි වදාළහ. භාග්යවතුන් වහන්ස, කවර කලෙකදැයි රජතෙමේ ඇසීය.