3. සාරිපුත්ත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - සකල මිදං භන්තෙ = අනඳ තෙරණුවෝ තමන් ශ්‍රාවක පාරමී ඥානයේ කෙළවරට නො පැමිණි බැවින් සම්පූර්ණ මාර්ග බ්‍රහ්මචර්යාව කළ්‍යාණ මිත්‍ර ආශ්රයෙන් ලැබේයයි නො දත්හ. ධර්මසේනාපති (ශාරිපුත්‍ර) තෙරණුවෝ වූ කලී ශ්‍රාවක පාරමී ඥානයේ සම්පූර්ණත්වයේ සිටි බැවින් එය දැනගෙන සිටියහ. එහෙයින් මෙසේ කීහ. ඒ නිසාම ඒ තෙරුන් හට “සාධු සාධු” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන්හ.
4. බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - සබ්බසෙතෙන වළභීරථෙන සාකල්‍යයෙන්ම ධවල වර්ණ වූ වෙළඹුන් සතර දෙනක යෙදු රියකින් රථචක්‍රය, මැදිරිය, වියගස සහිත ඒ මුළු රථයම රිදීයෙන් ආලේප කරන ලද්දේ විය. මේ රථය ද යුද්ධ රථය, අලංකාර රථය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. එහි යුද්ධ රථය සතරැස් වෙයි. අධික ලෙස විශාල නොවේ. දෙදෙනකුට හෝ තිදෙනකුට එහි හිඳගත හැකි වේ. අලංකාර රථය විශාල වුවකි. දිග පැත්තේ වැඩි දිගක් ද, පුළුල් පැත්තේ වැඩි පළලක් ද ඇත්තේ වේ. එහි (සේ) සත් දරන්නා ද, වල් විදුනා දරන්නා ද, තල්පත් දරන්නා ද ආදී වශයෙන් අට දෙනකුට හෝ දස දෙනකුට සුවසේ සිටගෙන හෝ හිඳගෙන හෝ වැතිර ගෙන හෝ යාමට හැකිවේ. මෙය ද අලංකාර රථයක් මය.
සෙතා සුදං අස්සා = සුදු වෙළඹහු නම් ස්වභාවයෙන් ම සුදු පැහැ ඇත්තාහුමය. සෙතාලඞ්කාරා = ඒ වෙළඹුන්ගේ සැරසිලි රිදියෙන් නිමවන ලද්දේ විය. සෙතොරථො = කියන ලද පිළිවෙළින්ම රිදීයෙන් ආලේපිත බැවින් ද, ඒ ඒ තැන්හි ඇත් දළින් කැටයම් කළ බැවින් ද සුදු පැහැ ඇත්තේමය. සෙත පරිවාරො = යම් සේ සෙසු රථ සිංහසමින් ආවරණය වූයේ හෝ, ව්යාඝ්ර සමින් ආවරණය වූයේ හෝ, පිඬු පැහැ කම්බිලියෙන් ආවරණය වූයේ හෝ වෙයි ද එහෙත් මේ රථය එසේ නොවේ. මෙම රිය වනාහී ඝන පට වස්ත්‍රයෙන් ආවරණය වූයේ වෙයි. සෙතා රස්මියො = (අසුන් හට යෙදූ) රැහැන් ද රිදී නාළිකාවලින් ආවරණය කෙරිණ. සෙතාපතොදලට්ඨි = කෙවිටි ලීය පවා රිදී ආලේපිතය.
සෙතංඡත්තං රථය මැද ඔසවන ලද ඡත්රය පවා සුදු පැහැ ගත්තේය. සෙතං උණ්හීසං = අටඟුල් පුළුල් වූ රිදීමුවා නළල් පටය. සෙතානි වත්ථානි = වස්ත්‍රද සුදු පැහැයෙන් පෙණ කැටිමෙන් විය. ඔවුන් වෙත වූ ඉඟටියෙන් පහළ ඇඳුම් පන්සියයක් (බැගින්) අගනේ වෙයි. උතුරුසළුව දහසක් අගනේ වෙයි. සෙතා උපාහනා = මඟට බසින්නහුට වේවා, වනයට පිවිසෙන්නහුට වේවා පාවහන් තිබේ. මෙහි සඳහන් තැනැත්තා වනාහී රථයට නැඟුණේ වෙයි. ඒ නිසා ඊට සුදුසු වූ, රිදී ආලේප කළා වූ පාදාලංකාරයක් වූ මෙය (සඳහා) මෙසේ කියන ලද්දේයයි දත යුතුයි. සෙතාය සුදං වාළ විජනියා = පලිඟුමය මිටක් ඇති සුදු සෙමෙර වල්විදුනාවකින් හුදෙක් මෙ පමණෙකින්ම පමණක් ඔහුගේ සුදුපාට ඇතිවූයේ නොවේ. ඒ බ්‍රාහ්මණ තෙමේ වූ කලී සුදු විලවූන් ගැල්වීය, සුදු මල් පැලැන්දේය. ඔහු ගේ ඇඟිලි දහයෙහි වූ මුදු ද, කන්වල වූ කුණ්ඩලාභරණ ද යන මේ ආදී අලංකාර කිරීම් රිදීයෙන් කරන ලද්දේම විය. ඔහුගේ දස දහසක් පමණ වූ බ්‍රාහ්මණ පිරිස ද සුදු ඇඳුම්, සුදු විලවුන්, සුදුමල් ආදියෙන් සැරසෙන්නෝ වූහ.
යම්බඳු වූ මෙම සාවත්ථියා නිය්යාසි (සැවැත් නුවරින් පිට වූයේය) යන්නක් කියන ලද්දේ ද, එහි මෙම නිය්‍යාන (නික්මීම) පිළිබඳ විස්තරය මෙසේ ය. හේ තෙමේ වනාහී මාස හයෙන් හයට එක වරක් බැගින් නගරය ප්රදක්ෂිණා කරයි. මෙතැන් සිට මෙපමණ දින ගණනකින් නුවර පැදකුණු කරන්නේයයි කල් තබාම ප්‍රසිද්ධ කරවයි. එය අසා යමකු එතෙක් නුවරින් පිට නොවී සිටියාහු නම් ඔව්හු නුවරින් බැහැර නොයත්. යමකු (නුවරින්) පිට වී සිටියාහු නම් ඔව්හු පිනැති අයකුගේ සිරිසැප දකින්නෙමු යයි (ආපසු) පැමිණෙත්. යම් දිනෙක බ්‍රාහ්මණයා නගරයෙහි චාරිකා කරයි ද එදින උදෑසනම නුවර වීථි හැම ද, වැලි විසුරුවා, ඒ මත ලද පස්මල් විසුරුවා පුන් කලස් තබා කෙසෙල් ගස් ද, කොඩි ද ඔසවා මුළු නුවරම දුමින් සුවඳ කරත්.