4. බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - සබ්බසෙතෙන වළභීරථෙන සාකල්‍යයෙන්ම ධවල වර්ණ වූ වෙළඹුන් සතර දෙනක යෙදු රියකින් රථචක්‍රය, මැදිරිය, වියගස සහිත ඒ මුළු රථයම රිදීයෙන් ආලේප කරන ලද්දේ විය. මේ රථය ද යුද්ධ රථය, අලංකාර රථය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. එහි යුද්ධ රථය සතරැස් වෙයි. අධික ලෙස විශාල නොවේ. දෙදෙනකුට හෝ තිදෙනකුට එහි හිඳගත හැකි වේ. අලංකාර රථය විශාල වුවකි. දිග පැත්තේ වැඩි දිගක් ද, පුළුල් පැත්තේ වැඩි පළලක් ද ඇත්තේ වේ. එහි (සේ) සත් දරන්නා ද, වල් විදුනා දරන්නා ද, තල්පත් දරන්නා ද ආදී වශයෙන් අට දෙනකුට හෝ දස දෙනකුට සුවසේ සිටගෙන හෝ හිඳගෙන හෝ වැතිර ගෙන හෝ යාමට හැකිවේ. මෙය ද අලංකාර රථයක් මය.
සෙතා සුදං අස්සා = සුදු වෙළඹහු නම් ස්වභාවයෙන් ම සුදු පැහැ ඇත්තාහුමය. සෙතාලඞ්කාරා = ඒ වෙළඹුන්ගේ සැරසිලි රිදියෙන් නිමවන ලද්දේ විය. සෙතොරථො = කියන ලද පිළිවෙළින්ම රිදීයෙන් ආලේපිත බැවින් ද, ඒ ඒ තැන්හි ඇත් දළින් කැටයම් කළ බැවින් ද සුදු පැහැ ඇත්තේමය. සෙත පරිවාරො = යම් සේ සෙසු රථ සිංහසමින් ආවරණය වූයේ හෝ, ව්යාඝ්ර සමින් ආවරණය වූයේ හෝ, පිඬු පැහැ කම්බිලියෙන් ආවරණය වූයේ හෝ වෙයි ද එහෙත් මේ රථය එසේ නොවේ. මෙම රිය වනාහී ඝන පට වස්ත්‍රයෙන් ආවරණය වූයේ වෙයි. සෙතා රස්මියො = (අසුන් හට යෙදූ) රැහැන් ද රිදී නාළිකාවලින් ආවරණය කෙරිණ. සෙතාපතොදලට්ඨි = කෙවිටි ලීය පවා රිදී ආලේපිතය.
සෙතංඡත්තං රථය මැද ඔසවන ලද ඡත්රය පවා සුදු පැහැ ගත්තේය. සෙතං උණ්හීසං = අටඟුල් පුළුල් වූ රිදීමුවා නළල් පටය. සෙතානි වත්ථානි = වස්ත්‍රද සුදු පැහැයෙන් පෙණ කැටිමෙන් විය. ඔවුන් වෙත වූ ඉඟටියෙන් පහළ ඇඳුම් පන්සියයක් (බැගින්) අගනේ වෙයි. උතුරුසළුව දහසක් අගනේ වෙයි. සෙතා උපාහනා = මඟට බසින්නහුට වේවා, වනයට පිවිසෙන්නහුට වේවා පාවහන් තිබේ. මෙහි සඳහන් තැනැත්තා වනාහී රථයට නැඟුණේ වෙයි. ඒ නිසා ඊට සුදුසු වූ, රිදී ආලේප කළා වූ පාදාලංකාරයක් වූ මෙය (සඳහා) මෙසේ කියන ලද්දේයයි දත යුතුයි. සෙතාය සුදං වාළ විජනියා = පලිඟුමය මිටක් ඇති සුදු සෙමෙර වල්විදුනාවකින් හුදෙක් මෙ පමණෙකින්ම පමණක් ඔහුගේ සුදුපාට ඇතිවූයේ නොවේ. ඒ බ්‍රාහ්මණ තෙමේ වූ කලී සුදු විලවූන් ගැල්වීය, සුදු මල් පැලැන්දේය. ඔහු ගේ ඇඟිලි දහයෙහි වූ මුදු ද, කන්වල වූ කුණ්ඩලාභරණ ද යන මේ ආදී අලංකාර කිරීම් රිදීයෙන් කරන ලද්දේම විය. ඔහුගේ දස දහසක් පමණ වූ බ්‍රාහ්මණ පිරිස ද සුදු ඇඳුම්, සුදු විලවුන්, සුදුමල් ආදියෙන් සැරසෙන්නෝ වූහ.
යම්බඳු වූ මෙම සාවත්ථියා නිය්යාසි (සැවැත් නුවරින් පිට වූයේය) යන්නක් කියන ලද්දේ ද, එහි මෙම නිය්‍යාන (නික්මීම) පිළිබඳ විස්තරය මෙසේ ය. හේ තෙමේ වනාහී මාස හයෙන් හයට එක වරක් බැගින් නගරය ප්රදක්ෂිණා කරයි. මෙතැන් සිට මෙපමණ දින ගණනකින් නුවර පැදකුණු කරන්නේයයි කල් තබාම ප්‍රසිද්ධ කරවයි. එය අසා යමකු එතෙක් නුවරින් පිට නොවී සිටියාහු නම් ඔව්හු නුවරින් බැහැර නොයත්. යමකු (නුවරින්) පිට වී සිටියාහු නම් ඔව්හු පිනැති අයකුගේ සිරිසැප දකින්නෙමු යයි (ආපසු) පැමිණෙත්. යම් දිනෙක බ්‍රාහ්මණයා නගරයෙහි චාරිකා කරයි ද එදින උදෑසනම නුවර වීථි හැම ද, වැලි විසුරුවා, ඒ මත ලද පස්මල් විසුරුවා පුන් කලස් තබා කෙසෙල් ගස් ද, කොඩි ද ඔසවා මුළු නුවරම දුමින් සුවඳ කරත්.
බ්‍රාහ්මණ තෙමේ උදෑසනම හිස් සෝදා, පෙරවරු බත වළදා (පෙර) කියන ලද පිළිවෙළින් ම සුදු වස්ත්‍ර ආදියෙන් තම සිරුර සරසා පහයෙන් බැස රථාසනාරූඩ වෙයි. ඉක්බිති සෙසු සියළු බ්රාහ්මණවරු සුදු ඇඳුම්, විලවුන් හා මල්වලින් සැරසී සේසත් රැගෙන ඔහු පිරිවරා ගනිත්. ඉක්බිති මහජනයා රැස්කර ගනු පිණිස පළමු කොට තරුණ ළමයින් වෙත ලොකු කුඩා ගෙඩි වර්ග විසුරුවා හරිති. ඉන් අනතුරුව මසුරන් හා රුපියල් ද, අනතුරුව කහවණු ද විසුරුවත්. එකල්හි මහජනයා රැස්වෙත්, ප්‍රීතිඝෝෂා කරමින් ද, උඩ පනිමින් ද සිටිත්. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ මංගල වචන හා සුබ ප්‍රාර්ථනා වචන කියන්නවුන් මංගල ප්රාර්ථනයන් හා සෞඛ්‍ය ප්රාර්ථනයන් කරන කල්හි මහ ඉසුරෙන් යුතුව නගර චාරිකාවෙහි යෙදෙයි. පින්වත් මනුෂ්‍යයෝ මහල් සහිත ප්රාසාදයනට නැඟී ගිරවුන්ගේ පියාපත් වැනි ජනෙල් කවුළු විවර කොට බලත්. බ්‍රාහ්මණ තෙමේ ද තමාගේ යශෝ ශ්‍රී සම්පත්තියෙන් යුතුව නගරය වසඟයෙහි තබා ගන්නාක් මෙන් දකුණු දොරටුවට අභිමුඛව සිටියේය. ඒ සඳහා මෙය කියන ලදී.
තමෙනං ජනො දිස්වා = මහජනතාව ඒ රථය දැක, බ්රහ්මං = ශ්‍රේෂ්ඨ යන්නට තවත් වචනයකි. බ්රහ්මං වත භො යානං = “පින්වත. යානය ශ්‍රේෂ්ඨ යානයකට සමාන වෙයි” යන මෙය මෙහි අර්ථයයි. ඉමස්සෙව ඛො එතං = ආනන්දයෙනි, මනුෂ්‍යයෝ වනාහී වර්ණනා කරන තැනට පැමිණ තම දායකයන් හට වර්ණනා කිරිමේ ගීත ගායනා කරවත්. මනා රූපයෙන් යුක්ත වූ, දැකුම්කළු වූ, මහාධනයක් ඇත්තා වූ, බොහෝ වස්තුව ඇත්තාවූ යන මේ වර්ණනා කිරීමෙන් පමණක් මනා රූමත් හෝ මහා ධනවත් නොවේ. මෙසේම මහා ජනතාව බ්‍රාහ්මණයාගේ රථය දැක “පින්වත්නි, යානය උතුම් එකකැයි” වර්ණනා කරන්නෝ නමුදු. මේ යානය වනාහී වර්ණනා කිරීම් පමණකින්ම උතුම් ස්ථානයක් වන්නේ නොවේ. මෙම අප්‍රාණික දෙය ලාමක වූවක්ම වන්නේය. පරමාර්ථ වශයෙන් වනාහි ඉමස්සෙව ඛො ආනන්ද එතං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං = ආනන්දය, මෙය (බ්‍රහ්ම යානං) වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම තවත් වචනයකි. මේ වූ කලී හැම දොසින්ම වෙන්වූවක් බැවින් සෙට්ඨො (ශ්‍රේෂ්ඨ) වේ. “ආර්යයෝ මේ මඟින් ම නිවනට යන්නාහ” යන අරුතින් බ්රහ්මයානං ඉතිපි = (බ්‍රහ්ම යානය යනු ද), ධර්මය වූ බැවිනුත්, (සසරින් එතෙරට යන) යානයක් බැවිනුත් ධම්මයානං ඉතිපි (ධර්ම යානය යනු ද), මෙයට වඩා උසස් මඟක් නැති බැවිනුත්, කෙලෙස් සටන ජයගත් බැවිනුත් අනුත්තරො සඞ්ගාම විජයො ඉතිපි (උත්තරීතර වූ, සටන දිනූ තැනැත්තාය) යනු ද කීමට වටනේය.
දැන් ඔහුගේ නිර්දෝෂිභාවය ද සංග්‍රාමය විජයග්‍රහණය කළ බවද දක්වමින් රාග විනය පරියොසානො = (රාගය යටපත් කිරීමේ අවසානය) යන ආදිය කීහ. එහි රාගය යටපත් කිරීම ද අවසානයට යාම ද යන මේ කාර්යයන් සිදු වන්නේය යනු “රාග විනය පරියොසාන” හෙවත් රාගය යටපත් කිරීම, අවසන් කිරීම යන අර්ථයි. සියළු තන්හි මේ පිළිවෙළ වේ.
යස්ස සද්ධාච පඤ්ඤාච = යම් ආර්ය මාර්ග යානයක්හුගේ සද්ධානුසාරී වශයෙන් ශ්‍රද්ධාව ද, ධම්මානුසාරී වශයෙන් ප්‍රඥාව ද යන මේ ධර්මයන් දෙක ශ්‍රද්ධාව යන තත්ත්වයන් දෙකෙහි යෙදුනේය යන අර්ථයයි. හිරි ඊසා = ආත්මය සමග යෙදුණ, බැහැරින් උපන් ඔත්තප්පය (හෙවත් වරදට ඇති බිය) සමග උපන්නේ “හිරි” (වරදට ලැජ්ජාව) නම් වේ. යම් මාර්ග නමැති රථයක්හුගේ නම් “ඊසා” (හෙවත් ඒරියා කඳක්) වේ. මනො යොත්තං = විදර්ශනා චිත්තය ද, මාර්ග චිත්තය ද යොත (හෙවත් රැහැණ) නම් වේ. යම්සේ වනාහී පට්ටාවලින් තනන ලද යොත ගොණුන් රථයට බැඳ තබයි ද, එකට එකතු කරයිද එසේ ම මාර්ගය නමැති රථයේ ලෞකික විදර්ශනා චිත්තයට අමතරව පණසක් වූ ලෝකෝත්තර විදර්ශනා චිත්තය හා අමතරව සැටක් වූ කුසල ධර්මයන් ද ඒකාබද්ධ කරයි. එකට එකතු කරයි. ඒ හේතුවෙන් “මනො යොත්තං” (මනස නමැති රැහැණ) යයි කියන ලදී. සති ආරක්ඛ සාරථී, මාර්ග ගමනෙහි යෙදුන ආරක්ෂාකාරී රියැදුරා යම් සේ රථයේ ආරක්ෂාකාරී රියැදුරා නම් වේද, යමකු විය ගසෙහි යොදවයි ද, රථ රෝදයේ අලවංගුවට (ඇක්සලයට) තෙල් ගල්වයි ද, රථය යවයි ද, රථ සේවයෙහි යෙදී සිටියවුන් (අවශ්‍ය විට) සේවයෙන් නිදහස් කරයි ද මෙසේ මාර්ගයෙහි යවන රථයේ සිහිය පිහිටුවයි. මේ වනාහී ආරක්ෂාව සිහියේ තබා ගැනීමෙන් ද කුසලා කුසල ධර්මයන්ගේ පිහිටීමෙන්ද සිදු වේ යයි කියන ලදී.