7. ගෝදත්ත සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - නානත්‍ථාචෙම නානාබ්‍යාඤ්නා ච = අක්ෂර හෙවත් භාෂාමය ප්‍රකාශන විවිධ අර්ථ දෙයි. එහි දී ව්‍යඤ්ජනයේ (භාෂාමය ප්‍රකාශනයේ) විවිධත්වය ප්‍රකට ය. අර්ථය වනාහී අප්‍රමාණ වන්නේය. චිත්ත විමුක්ති තත්ත්වයන් අතුරෙන් රූපාවචර තත්ත්වය වඩා වැදගත් වේ. ආරම්මණයන් අතුරෙන් සප්ත ප්‍රඥප්ති ආරම්මණ වඩා වැදගත් වේ. එහි අරමුණු වශයෙන් කිවයුතු අරමුණක් නැත ශූන්‍යතා තත්ත්වයන් අතුරෙන් කාමාවචර තත්ත්වයන් වඩා වැදගත් වේ. එහි අරමුණු වශයෙන් සංස්කාර ආරම්මණ වඩා වැදගත් වේ. මෙහි ශූන්‍යතා (සුඤ්ඤතා) යනුවෙන් විදර්ශනාව අදහස් කෙරේ. තත්ත්වයන් (හෙවත් භූමීන්) අතුරෙන් (භූමන්තරතො) යනුවෙන් නිමිත්ත රහිත ලෝකෝත්තර තත්ත්වයන් ද, අරමුණු වශයෙන් (හෙවත් ආරම්මණතො) යනුවෙන් නිර්වාණාරම්මණයන් ද අදහස් වේ.
රාගොඛො භන්තෙ පමාණ කාරණෙ = යම් සේ පර්වතයක් පාමුල්හි කොල කුණු වීමෙන් කසට වර්ණ වූ ජලය කලු පැහැ වෙයි ද එය බලන්නවුන් හට බඹ සියයක ගැඹුරක් ඇති සේ වැටහේ. කෝටුවක් හෝ රැහැනක් ගෙනමැන බලන්නේ නම් ඔහුගේ පිටි පතුල වැසෙන පමණක්ම ජලය වෙයි. මෙසේම යම්තාක් රාගාදිය නුපදී ද, ඒ තාක් පුද්ගලයා හැඳින ගැනීමට නොහැකි වෙයි. සෝවාන් වූවකු මෙන් හෝ සකෘදාගාමි වූවකු මෙන් හෝ අනාගාමි වූවකු මෙන් හෝ වැටහෙයි. යම් විටෙක වනාහී ඔහු තුළ රාගාදිය උපදීද, එකල්හි ඔහු රාගයෙහි ඇලුනකුය, දුෂ්ටයකුය, මුළාවූවකුය යනුවෙන් පෙනෙයි. මෙසේ ඔව්හු මොහු මෙබඳු අයකු යයි පුද්ගලයාට මිම්මක් දක්වමින් මිම්මක් උපදවා ගනිත් යන අදහසින් “පමාණ කරණා” යන නම කියන ලදී.
යාවතාඛො භන්තෙ අප්පමාණා චෙතො විමුත්තියො = යම් තාක් අප්‍රමාණ වූ චිත්ත විමුක්තීහු වෙත්ද, ඒවා කෙතෙක් ද යත්: සතර බඹ විහරණය, සතර මඟය, සතර පලය යනුවෙන් දොළසෙකි. එහි බඹ විහරණ පැතිරීම ප්‍රමාණ රහිත බැවින් අප්‍රමාණ යන වචනයෙන් දැක්වේ. ප්‍රමාණ කාරක වූ ක්ලේශයන් නොමැති නිසා නිවන ද අප්‍රමාණම වේ. ඒ නිසා චේතො විමුක්තිය නො ගන්නා ලද්දේ වෙයි. අකුප්පා = අර්හත් ඵල චේතෝ විමුක්තිය එය වනාහී ඒ සියල්ලටම ජ්‍යෙෂ්ඨය. ඒ නිසා අග්‍රයයි ප්‍රකාශ කරනු ලැබේ යයි කියන ලදී. රාගො ඛො භන්තෙ කිඤ්චනං” රාගය ඉපදී පුද්ගලයා පීඩාවට පත් කරයි. මර්දනය කරයි. හිරිහැරයට පත් කරයි. එහෙයින් “පීඩාවක්ය (හෙවත් කිඤ්චනං) යි” කියන ලදී. මනුෂ්‍යයෝ ගොනුන් ලවා ගොයම් බැන මඩවමින් මඩිවු, මඩිවු යයි කියත් මෙසේ “මද්දන” යන්නෙහි අර්ථය “කිඤ්චන” යන්නෙහි අර්ථයම වේයයි දත යුතුය. දෝස මෝහයන්හිදීද මේ පිළිවෙළම වේ.
අරූපී බව සිතේ විමුක්තියයි. නව ධර්ම යනු ආකිඤ්චඤ්ඤායතනය ද, මාර්ග ඵල ද වේ. එහි ආකිඤ්චඤ්ඤායතනය නම් කෙලෙස් අරමුණු මොහුට නැත්තේය යනුයි. ආකිඤ්චඤ්ඤාය යනු මාර්ග ඵලයන්ය. කිලිටිබව ඇති කරන්නාවූ ද, මර්දන බාධක ඇති කරන්නාවූ ද ක්ලේශයන් නැති බැවින් “ආකිඤ්චඤ්ඤානි” (කිසිවක් නැති බව) නම් වේ. නිර්වාණය නම් කිසිවක් නැති බවයි. (ආකිඤ්චඤ්ඤං) සිත නිදහස් වීම නොවන්නේ නම් ඒ හේතුව නිසාම නොගන්නා ලද්දේ වෙයි.
රාගො ඛො භන්තෙ නිමිත්ත කරණො” යම් සේ වනාහී කුල ගෙවල් දෙකක එක් වැනි වූ වසුපැටියෝ දෙදෙනෙක් වෙත්ද, යම්තාක් ඔවුන්ගේ සලකුණු කිරීමක් නො කරන ලද්දේ වෙයි ද, ඒ තාක් කල් මේ අසුවල් නිවසේ වසුපැටියා ය, මේ අසුවල් නිවසේ (වසුපැටියා) ය යනුවෙන් දැන ගැනීමට නො හැකි වේ. යම් කලෙක වනාහී ත්‍රි ශුල ආදියකින් ඔවුන්ගේ යම් කිසි ලකුණක් කරන ලද්දේ වේ නම් එවිට හඳුනා ගැනීමට හැකි වන්නේ ය. මෙසේ ම යම්තාක් කල් පුද්ගලයාගේ රාගය නූපදීද ඒ තාක් කල් ඔහු ආර්ය පුද්ගලයකු ද, පෘථග්ජන පුද්ගලයකු ද යන බව දැන ගැනීමට නොහැකි වේ. ඔහු හට උපදින්නාවූ රාගයම මේ පුද්ගලයා සරාගිකයකුයයි දැන ගැනීමට නිමිත්තක් ඇති කරන්නාක් මෙන් උපදියි. එහෙයින් (සලකුණු කිරීම යන අදහසින්) “නිමිත්ත කරණ” යයි කියන ලදී. දෝස මෝහ පිළිබඳව ද මේ පිළිවෙළම වේ.
නිමිති රහිත වූ (සිත නිදහස් වීම යන අරුත ඇති) “චෙතො විමුත්ති” යනු විදර්ශනාවය, අරූපධ්‍යානයන් සතරය. මාර්ග සතරය, ඵල සතරය, යන කෙළෙස් ධර්මයන්ය. එහිදී නිත්‍යය යන නිමිත්ත ද, සැපය යන නිමිත්ත ද, ආත්මය යන නිමිත්ත ද ඉවත් කරයි යන අදහසින් විදර්ශනාව “අනිමිත්ත” නම් වේ. රූප නිමිත්තක් නැති බැවින් අරූප ධ්‍යාන සතර අනිමිත්ත” නම් වේ. නිමිති ඇති කරවන කෙලෙස් නැති බැවින් මාර්ගයන් ද, ඵලයන් ද “අනිමිත්ත” නම් වේ. නිවන ද අනිමිත්ත (නිමිති රහිත) ම වේ. එය චිත්ත විමුක්තිය නොවේ. එබැවින් (එය චේතො විමුක්තිය සඳහා) නො ගන්නා ලදී. කුමක් හෙයින් වේතො විමුක්තිය ශුන්‍යතාවයක් ලෙස නොගන්නා ලද්දේද යත් : එය රාගයෙන් ශූන්‍යය (රාගයෙන් තොරය) යන ආදී වචනවලින් සියලු තන්හි දුරස්තර වී පවතී. ඒ නිසා වෙන්ව (ශූන්‍යතාවයක් ලෙස) නොගන්නා ලදී.
එකත්‍ථා = අරමුණු වශයෙන් එක අරුතක් ඇති. අප්පමාණං (ප්‍රමාණ රහිත බව), ආකිඤ්චඤ්ඤං (කිසිවක් නැති බව), සුඤ්ඤතං (හිස් බව). අනිමිත්තං (නිමිති රහිත බව) යන මේ සියල්ල නිර්වාණය සඳහා ම වන නාමයන් වේ. මෙසේ මේ අයුරින් (මේ වදන් සියල්ල ඒකාර්ථවත් වූයේ එක් තැනෙක්හිදී වනාහී ප්‍රමාණ රහිත (යන අර්ථය) ද වේ. තවත් තැනෙක්හි දී කිසිවක් නැති බව (යන අරුත) ද, තවත් එක් තැනෙක්හිදී හිස් බව (යන අරුත) ද, යන මේ අයුරින් විවිධ ලක්ෂණ ඇත්තේ වේ.
8. නිගණ්ඨ සූත්‍ර වර්ණනාව