7. චිත්ත සංයුක්තය
1. චිත්ත වර්ගය
1. සංයොජන සූත්‍ර වර්ණනාව
චිත්ත සංයුත්තයේ පළමු වැන්නෙහි - මච්ඡිකා සණ්ඩෙ - එම නමින් යුත් වන රොදෙහි අයමන්තරා කථා උදපාදි = පැරණි තෙරවරහු ශිෂ්ට කථා ඇත්තාහු වෙති. නොදන්නා අය හුන් තැනදීම ප්‍රශ්න මතු කොට විමසති. දන්නා අය (ඒවා) විසඳති. ඒ අනුව ඔවුන් අතර මේ කථාව මතු විය. මිග පථකං තමාගේ මේ නම ඇති ගොදුරු ගම එය ඇඹරැල්ල වනයට පිටු පසෙහි පිහිටියේ වෙයි. තෙනුපසඞ්කමි = තෙරවරුන්ගේ ප්‍රශ්න විසඳා පහසු වාසස්ථානයක් කොට දෙන්නෙමියි සිතා පැමිණියේය. ගම්භීරබුද්ධවචනෙ = අර්ථයෙන් ගැඹුරු වූ ද, ධර්මයෙන් ගැඹුරු වූ ද බුද්ධ වචනයෙහි පඤ්ඤා චක්‍ඛු කමති = නුවණැස දරා සිටියි. පවත්වා ගනියි.
2. ඉසිදත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ආයස්මන්තං ථෙරං - ඒ තෙරවරුන් අතරෙහි ජ්‍යෙෂ්ඨ වූ මහ තෙරුන් තුණ්හී අහොසි – දැන සිටින්නේ නමුදු විශාරද නොවන බැවින් කිසිවක් නො කීවේය. බ්‍යාකරොමහං භන්තෙ = “මේ ස්ථවිර තෙමේ තමා ද ප්‍රකාශ නො කරයි, අන් කෙනකුට ආරාධනා ද නො කරයි, උපාසක තෙමේ ද භික්ෂූ සංඝයා වෙහෙසට පත් කරයි, මම මෙය විසඳා (ප්‍රකාශ කොට) පහසු විහරණයක් ඇති කොට දෙන්නෙමි” යයි සිතා අසුනින් නැඟිට තෙරුන් වෙතට ගොස් මෙසේ අවසර ගැනීම කළේය. කරන ලද අවසර ගැනීම් ඇත්තේ තම අසුනෙහි හිඳ විසඳීය. (ප්‍රකාශ කළේය)
සහත්‍ථා = තමාගේ අතින් සන්තප්පෙසි = කැමති තාක් දෙමින් මනාව තෘප්තිමත් කළේය. සම්පවාරෙසි = ඇත, ඇත යනුවෙන් අතින් සන් කිරීමෙන් ද, වචනයෙන් ද ප්‍රතික්ෂේප කළේය. ඔනීත පත්ත පානිනො = අත්ලෙන් ඉවත් කළ පාත්‍ර සෝදා. පැසෙහි බහා, උරහිසෙහි එන ලද පාත්‍ර ඇති යන අරුතයි.
3. දුතිය ඉසිදත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - අවන්තියා = අවන්තිය පිහිටි දකුණු දෙසට යන මාර්ගයෙහි කල්‍යාණං වුච්චති = උපාසකවරුනි, සිවු පසයෙන් උපස්ථාන කරන්නෙමි”යි යන වචනය ඔබ විසින් නිදොස්ව නිවැරදිව කියන ලදී යන අදහසින් කල්‍යාණං වුච්චති”යි කියන ලදී.
4. මහක සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - සෙසකං විස්සජ්ජෙථ = තෙරණිවරුන් සමගම එකතු වී ලෝහ තැටිය පිරිසිදු කොට කිරිබත් බෙදා ඔහුට දුන් හ. ඔහු කිරිබත් බෙදා ඔහුට දුන් හ. ඔහු කිරිබත් අනුභව කොට තෙරවරුන් සමග යනු කැමැත්තේ මෙසේ සිතීය. නිවසෙහි දී වනාහී උවැසිය ඉතිරි (ප්‍රමාණ) ය ගැන විමසයි. මෙහි වනාහී මා විසින් යමක් කියන ලද්දේ නම්, මේ දාස මෙහෙකරුවෝ (ඒ ගැන) නො විමසන්නෝ ය. මෙසේම මේ ප්‍රණීත කිරිබත විනාස වන්නේ යයි ඔවුන්හට දීමට කැමති වන්නේ මෙසේ කීය. කුට්ඨි තං = ඉතා රත් වූ, යටින් රත්වූ වැල්ලේද, උඩින් අව්වෙන් ද ඉතා තියුණු ලෙස රත්වූ යන අරුතයි. මේ වනාහී ත්‍රිපිටක බුද්ධවචනයෙහි නො වෙනස්ව එන පදයකි. පවෙලිය මානෙන = සැඟ වී, ඉවත් ව පවතින සාධුඛ්වස්ස භන්තෙ = ඔවුන් හට පහසු වාසස්ථානයක් කරන්නෙමියි සිතා මෙසේ කීය.
ඉද්ධාභි සංඛාරං අභි සංඛරි = මෙහි මන්දගාමී ලෙස ශීත වාතය හමා යේවා, වළාකුළු රැස් වී එකිනෙකෙහි ගැටේවා ය අධිෂ්ඨාන ඍද්ධියක් කළේය. නොයෙක් අයුරින් වාතය හමමින් වැසි වසීවා යි යනුවෙන් ද අධිෂ්ඨානයක් කළේය. හුදෙක් වාතය සහිතව වැසි වසීවා යි යනු ද තවත් අධිෂ්ඨානයකි. විවිධ අයුරින් මඳ මඳව ශීත වාතය මගින් වළා කුළු එක් රැස් කොට වැස්ස වසීවා යයි ද, වළාකුළු එකිනෙක ගැටේවා යිද එක් අධිෂ්ඨානයකි. මෙසේ විවිධ වූ අධිෂ්ඨානයන් විය. කියන ලද පිළිවෙලින්ම නානා විධ ක්‍රියාවන් සඳහා එක් අධිෂ්ඨානයක් ද වශයෙන් වූයේ මය. තමා විසින් පාදක කොට ගත් ධ්‍යානයෙන් නැගී මූලික කටයුතු ඇති ව කරන ලද ක්‍රියාවන්හි යෙදීමෙන් විවිධ අයුරින් ක්‍රියාකරන්නහුගේ මහග්ගතවූ (හෙවත් උසස් තත්ත්වයේ වූ) අධිෂ්ඨානයන් ඉෂ්ට වේමය. ඔතාසෙධී = විසුරුවා හළේය.