6. දුතිය කාමභූ සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - කතිනුඛො භන්තෙ සඞ්ඛාරා = මේ ගෘහපති තෙමේ වනාහී නිරෝධය වින්දනය කරයි (වැළඳගෙන සිටියි) ඒ නිසා නිරෝධය පාදක කරගත් සංස්කාරයන් විමසන්නෙමි”යි සිතා මෙසේ කීය. තෙරුන් වහන්සේ ද ඔහුගේ අදහස දැන, පුණ්යකර්ම රැස් කිරීම් ආදී වූ නොයෙක් සංස්කාරයන් පවත්නා කල්හිදු කාය සංස්කාරාදිය ම කියන්නෝ තයො ඛො ගහපති යන ආදිය කීහ. එහිදී කය හා බැඳී ඇති බැවින්, කය විසින් සකස් කරනු ලැබේ යයි ද, නිපදවනු ලැබේයයි ද යන අදහසින් “කාය සංඛාර” නම් වේ. වචනය හා බැඳී ඇති බැවින්, වචනය විසින් සකස් කරනු ලැබේ යයි ද, නිපදවනු ලැබේයයි ද යන අදහසින් “වචී සඞ්ඛාර” නම් වේ.
කස්මා පන භන්තෙ = මෙහිදී කුමක් (පිළිබඳව ප්රශ්න කරන්නේදු මේ සංස්කාරයෝ ඔවුනොවුනට ඊර්ෂ්යාවෙන් ඇලවනාහුය, සැඟවී පවත්නාහුය, දර්ශනය නොවන්නාහුය. එසේම කාය ද්වාරයෙහි අල්වා ගැනීම්, ග්රහණය කර ගැනීම්, මුදා හැරීම්, සෙලවීම් ආදී තත්ත්වයනට පමුණුවා උපන් කාමාවචර කුසල චේතනාවන් අට ද, අකුසල චේතනාවන් දොළසද යනුවෙන් මෙසේ කුසලා කුසල චේතනා විස්ස ද, ආශ්වාසයන් ද “කාය සමාචාර” යයි කියනු ලැබේ. කාය වාක් ද්වාරයන්හි චලනයකට නො පැමිණ රහසිගතව හිඳ සිතන්නහුට උපන් එකුන් තිසක් වූ කුසලා කුසල චේතනාවන් ද. සංඥා හා වේදනා යන මේ ධර්මයන් දෙක ද “චිත්ත සඞ්ඛාර” යයි කියනු ලැබේ. මෙසේ මේ සංස්කාරයන් ඔවුනොවුනට ඊර්ෂ්යාවෙන් ඇලළුණේ, සැඟවී පැවතුණේ, දර්ශනය නොවූයේ වෙයි. ඒවා ප්රකට කිරීම් හෝ හෙලි කිරීම් නො කොට කතා කරන්නෙමියි (සිතා) ප්රශ්න කළේය.
කස්මා පන භන්තෙ යන මෙහි “කාය සඞ්ඛාර” ආදී නාමයේ පදගතාර්ථය විචාරයි. එය විසඳීමෙහිදී කාය පටිබද්ධා = යනුවෙන් කර ඇති කල්හි කාය නිශ්රිතයන් නොපවතීය යිද කියවේ. දැන් කිමෙක් නම් මේ සංඥා වේදයිත නිරෝධය වැළඳ ගනී ද? වැළඳ නො ගනියි.
වසඟයෙහි පැවැත්වීමේ තත්ත්වය කෙසේදයත් එහිදී එබඳු පුරුද්දක් නොවේයයි දැනීම සඳහා විමසන්නේ කථං පන භන්තෙ සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති හොති = (ස්වාමීනි, සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තිය කෙසේ නම් සිදුවේද?) යනුවෙන් කීය. එය විසඳීමෙහි දී සමාපජ්ජිස්සං හෝ සමාපජ්ජාමි හෝ යන පද දෙකින් “නේවසඤ්ඤා නාසඤ්ඤායතන” සමාපත්ති කාලය කියන ලදී. සමාපත්තො පදයෙන් ඇතුළත නිරෝධය කියන ලදී. මෙසේ මුල් පද දෙකින් විතර්ක සහිත කාලය කියන ලදී. පසු පදයෙන් අවිතර්ක කාලය කියන ලදී.
පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති = නිරෝධ සමාපත්තියට පෙර දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ම මෙපමණ කාලයක් සිතීමෙන් තොරව වෙසෙන්නෙමියි දිග කාල පරිච්ඡේදයක් තුළ සිත පුරුදු කරන ලද්දේ වෙයි. යන්තං තථත්තාය උපනෙති = මෙසේ දියුණු කළ සිතක් යමකු හට වේද, ඒ පුද්ගලයා ඒ සිතේ දියුණුව සඳහා සිතින් තොර බවට පමුණුවයි. වචී සබ්බාරො පඨමං නිරුජ්ඣති = සෙසු සංස්කාරයන්හට පෙර දෙවන ධ්යානයෙහිදී ම නිරුද්ධ වේ. තතො පරං කාය සඞ්ඛාරො = ඉන් පසුව කාය සංස්කාරය සතරවන ධ්යානයෙහි දී නිරුද්ධ වේ. තතො පරං චිත්ත සඞ්ඛාරො = ඉන් පසුව චිත්ත සංස්කාරය අභ්යන්තර නිරෝධයෙහිදීම නිරුද්ධ වේ. ආයු = රූපය නමැති ජීවිතේන්ද්රියයේ පැවැත්ම විපරිභිනනානි = නසන ලද විනාශ කරන ලද.
එහි නිරෝධ සමාපත්තිගත වූවහුගේ චිත්ත සංස්කාරය ද නිරුද්ධ වූයේය යන කියමනෙන් පමණක් සිත නිරුද්ධ වූයේ යයි සිතිය යුතු නොවේ. එහෙයින් සිත් ඇත්තාහු ද මේ තත්ත්වයට සමාපත්තියයයි කියත්. ඔහුගේ වචී සංඛාරය ද නිරුද්ධ වීයයි යන කියමනෙන්ම වචනයද නිරුද්ධ වූයේ යයි සිතිය යුතු නොවේ. එහෙයින් ධර්මය කියන්නාවූ ද, සජ්ඣායනා කරන්නාවූ ද නිරෝධ සමාපත්තිගත පුද්ගලයා විසින් හිඳ ගැනීම (හෙවත් නැවත සිතා බැලීම) කළ යුතු වේ. යම්බඳුවූ මේ තෙමේ මරණයට පත්වූයේ. කලුරිය කළේ වේද ඔහුගේ ද චිත්ත සංස්කාරය නිරුද්ධවූයේය යන කියමනෙන් සිත නිරුද්ධ වූයේ යයි සිතිය යුතු නොවේ. එහෙයින් කලුරිය කළ මවුපියන් හෝ රහතුන් වහන්සේ හෝ දවන්නාවූ තමා විසින් (මවුපියන් හා රහතුන් දැවීමෙන්) ආනන්තර්ය කර්මයක් කරන ලද්දේ වන්නේ යයි (ආනන්තර්ය කර්ම දක්වන වචනවල ඇති) අකුරු මතම නො පිහිටා ආචාර්යවරුන්ගේ න්යායයෙහි පිහිටා අර්ථය විමසා බැලිය යුතුය. අර්ථයම පිළිසරණ වේ. අකුරු නොවේ.