සුඤ්ඤතො ඵස්සො = යන මේ ආදිය එහි පවතිත් ස්වකීය ගුණයෙන්ද, අරමුණින් ද යුතුව කිව යුතුය. පවත්නා ගුණයන් සලකා කියන්නේ නම් ඵල සමාපත්තිය ශුන්ය භාවය (සුඤ්ඤතා) නම් වේ. ඒ (ශූන්ය භාවය) සමග එකට උපන් ස්පර්ශය සඳහා ශුන්ය භාවයෙන් වන ස්පර්ශය (සුඤ්ඤතො ඵස්සො) යයි කියන ලදී. නිමිත්තක් මත නො පිහිටි කල්හි වුවද මෙම පිළිවෙළම වේ. අරමුණ අනුව සලකන විට වනාහී නිවන රාගාදියෙන් ශූන්ය බැවින් එය ශූන්යතාවය (සුඤ්ඤතා) යයි නම් වේ. රාග නිමිති ආදිය නොමැති බැවින් “නිමිති රහිත බව (අනිමිත්ත) ය”යි නම් වේ. රාග ද්වේෂ මෝහ යන අපේක්ෂාවන් නැති බැවින් “ආශාවන්හි නොපිහිටි (හෙවත් අප්පණරහිත) නම් වේ. ශූන්යතාවය (ලෙසින් ද දැක්වුණ) නිර්වාණය අරමුණු කොට උපන් ඵල සමාපත්තින්ගේ ස්පර්ශය ශූන්යතාවය (සුඤ්ඤතා) නම් වේ. නිමිත්තක් (අරමුණක්) මත නො පිහිටි කල්හි වුවද මේ පිළිවෙළම වේ.
අනික නම් එළඹිය යුතු කථා වීමයි හෙවත් ප්රකාශ කළ යුතු අදහස් තවත් පවතී) ශූන්ය බව = (සුඤ්ඤත) නිමිති රහිත බව (අනිමිත්ත) ප්රාර්ථනා රහිත බව (අප්පණිහිත) යන මේවා විදර්ශනාවන්යයි ද කියනු ලැබේ. එහි යම් භික්ෂුවක් සංස්කාරයන් අනිත්ය වශයෙන් ගෙන අනිත්යතාවයෙන් නැඟී සිටියි ද ඔහුගේ නැඟී සිටීම් සහිත විදර්ශනාව නිමිති රහිත බව (අනිමිත්තා) නම් වෙයි. යමකු (දුක) දුක වශයෙන් ග්රහණය කොට දුක කෙරෙන් වෙන්ව නැඟී සිටිය ද ඔහුට ප්රාර්ථනා රහිත ය. (අප්පණිහිතා) යනුවෙන් යෙදේ. යමකු අනාත්ම වශයෙන් ග්රහණය කොට, අනාත්ම වශයෙන් අනාත්ම භාවයෙන් නැඟී සිටියි ද ඔහුට ශූන්යභාවය (සුඤ්ඤතා) යන නම යෙදේ. එහි නිමිති රහිත විදර්ශනාව සඳහා වූ මාර්ගය නිමිති රහිත වූ බව” (අනිමිත්තො) නම් වේ. නිමිති රහිත මාර්ගයාගේ ඵලය අනිමිත්ත නම් වේ. නිමිති රහිත ඵල සමාපත්තිය හා එක්ව උපන් ස්පර්ශය ස්පර්ශයට ලක් වන කල්හි නිමිති රහිත වූ ස්පර්ශය ස්පර්ශයට ලක් වේයයි කියනු ලැබේ. ආශාවන්හි නො පිහිටි ශූන්යතාවයන්හි ද මෙම පිළිවෙළට වේ. පැමිණිය යුතුව ඇති, නැවතී සිටින්නාහු විසින් ශූන්යතාවයෙන් හෝ වන ස්පර්ශය ද, නිමිති රහිත භාවයෙන් හෝ වන ස්පර්ශය ද, ආශාවන්හි නො පිහිටීමෙන් හෝ වන ස්පර්ශය ද යන විකල්පයක් පැමිණෙන්නේය. එබැවින් (ඒ ස්පර්ශයන් පිළිබඳව) ස්වකීය ගුණයෙන් ද, අරමුණින් ද යුතුව කිව යුතු වේ. මෙසේ වනාහී ත්රිවිධ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේයයි තීරණයට බැසිය යුතු වේ.
විවෙක නින්නං = මේ ආදියෙහි නිවන “විවේකය” නම් වේ. එම විවේකයෙහි නැඹුරු වූ, නැමුණ වූ යන අරුතින් “විවෙකනින්න” නම් වේ. විවේකයෙහි නැමුණ, අන් තැනෙක නො ගොස්, යම් තැනෙක විවේකය වේද එතැනට ම නැමුණාක් මෙන් වී සිටියේය යන අරුතින් විවේක පොණයයි යෙදේ. යම් තැනෙක විවේකය වේද එහි වැටී සිටිනු මෙන් සිටියේය යන අරුතින් විවෙක පබ්භාරං යි යෙදේ.
7. ගෝදත්ත සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි - නානත්ථාචෙම නානාබ්යාඤ්නා ච = අක්ෂර හෙවත් භාෂාමය ප්රකාශන විවිධ අර්ථ දෙයි. එහි දී ව්යඤ්ජනයේ (භාෂාමය ප්රකාශනයේ) විවිධත්වය ප්රකට ය. අර්ථය වනාහී අප්රමාණ වන්නේය. චිත්ත විමුක්ති තත්ත්වයන් අතුරෙන් රූපාවචර තත්ත්වය වඩා වැදගත් වේ. ආරම්මණයන් අතුරෙන් සප්ත ප්රඥප්ති ආරම්මණ වඩා වැදගත් වේ. එහි අරමුණු වශයෙන් කිවයුතු අරමුණක් නැත ශූන්යතා තත්ත්වයන් අතුරෙන් කාමාවචර තත්ත්වයන් වඩා වැදගත් වේ. එහි අරමුණු වශයෙන් සංස්කාර ආරම්මණ වඩා වැදගත් වේ. මෙහි ශූන්යතා (සුඤ්ඤතා) යනුවෙන් විදර්ශනාව අදහස් කෙරේ. තත්ත්වයන් (හෙවත් භූමීන්) අතුරෙන් (භූමන්තරතො) යනුවෙන් නිමිත්ත රහිත ලෝකෝත්තර තත්ත්වයන් ද, අරමුණු වශයෙන් (හෙවත් ආරම්මණතො) යනුවෙන් නිර්වාණාරම්මණයන් ද අදහස් වේ.
රාගොඛො භන්තෙ පමාණ කාරණෙ = යම් සේ පර්වතයක් පාමුල්හි කොල කුණු වීමෙන් කසට වර්ණ වූ ජලය කලු පැහැ වෙයි ද එය බලන්නවුන් හට බඹ සියයක ගැඹුරක් ඇති සේ වැටහේ. කෝටුවක් හෝ රැහැනක් ගෙනමැන බලන්නේ නම් ඔහුගේ පිටි පතුල වැසෙන පමණක්ම ජලය වෙයි. මෙසේම යම්තාක් රාගාදිය නුපදී ද, ඒ තාක් පුද්ගලයා හැඳින ගැනීමට නොහැකි වෙයි. සෝවාන් වූවකු මෙන් හෝ සකෘදාගාමි වූවකු මෙන් හෝ අනාගාමි වූවකු මෙන් හෝ වැටහෙයි. යම් විටෙක වනාහී ඔහු තුළ රාගාදිය උපදීද, එකල්හි ඔහු රාගයෙහි ඇලුනකුය, දුෂ්ටයකුය, මුළාවූවකුය යනුවෙන් පෙනෙයි. මෙසේ ඔව්හු මොහු මෙබඳු අයකු යයි පුද්ගලයාට මිම්මක් දක්වමින් මිම්මක් උපදවා ගනිත් යන අදහසින් “පමාණ කරණා” යන නම කියන ලදී.
යාවතාඛො භන්තෙ අප්පමාණා චෙතො විමුත්තියො = යම් තාක් අප්රමාණ වූ චිත්ත විමුක්තීහු වෙත්ද, ඒවා කෙතෙක් ද යත්: සතර බඹ විහරණය, සතර මඟය, සතර පලය යනුවෙන් දොළසෙකි. එහි බඹ විහරණ පැතිරීම ප්රමාණ රහිත බැවින් අප්රමාණ යන වචනයෙන් දැක්වේ. ප්රමාණ කාරක වූ ක්ලේශයන් නොමැති නිසා නිවන ද අප්රමාණම වේ. ඒ නිසා චේතො විමුක්තිය නො ගන්නා ලද්දේ වෙයි. අකුප්පා = අර්හත් ඵල චේතෝ විමුක්තිය එය වනාහී ඒ සියල්ලටම ජ්යෙෂ්ඨය. ඒ නිසා අග්රයයි ප්රකාශ කරනු ලැබේ යයි කියන ලදී. රාගො ඛො භන්තෙ කිඤ්චනං” රාගය ඉපදී පුද්ගලයා පීඩාවට පත් කරයි. මර්දනය කරයි. හිරිහැරයට පත් කරයි. එහෙයින් “පීඩාවක්ය (හෙවත් කිඤ්චනං) යි” කියන ලදී. මනුෂ්යයෝ ගොනුන් ලවා ගොයම් බැන මඩවමින් මඩිවු, මඩිවු යයි කියත් මෙසේ “මද්දන” යන්නෙහි අර්ථය “කිඤ්චන” යන්නෙහි අර්ථයම වේයයි දත යුතුය. දෝස මෝහයන්හිදීද මේ පිළිවෙළම වේ.