5-6. පුණ්ණ ආදි සූත්‍ර වර්ණනා
පස් වැන්නෙහි - තඤ්චෙව යනු එය ඇසද රූපය ද වෙයි නන්‍දි සමුදයා දුක්ඛ සමුදයො : තෘෂ්ණාවගේ රැස් වීමෙන් පඤ්චස්කන්ධ දුඃඛයන්ගේ රැස්වීම සිදු වේ. මෙසේ (ඇස්, කන් ආදී) දොරටු සය කෙරෙහි තෘෂ්ණාව ඉපදීමෙන් සිදු වන සසරෙහි පැවැත්ම දුකය, දුක ඉපදීමය යන මෙම දෙවැදෑරුම් සත්‍යයන්ගේ වශයෙන් මස්තක ප්‍රාප්ත කොට දැක්වීය. දෙවන න්‍යායයෙහිදී නිරෝධයය මාර්ගයය යන දෙවැදෑරුම් සත්‍යයන්ගේ වශයෙන් (සසරෙහි) පැවැත්ම මස්තකප්‍රාප්ත කොට දැක්වීය. ඉමිනා ත්‍වං පුණ්ණ : මෙසේ. නැවතීම හා නිරුද්ධ වීම වශයෙන් දේශනය අර්හත් භාවය තුළට යොමු කොට පුණ්ණ තෙරුන් ලවා ස්ථාන සතකදී සිංහ නාද පැවැත්වීම පිණිස “ඉමිනා ත්‍වං” යන ආදිය කීහ.
චණ්ඩා = දුෂ්ටක්‍රියා කරන්නී. නපුරු ක්‍රියා කරන්නී. ඵරුසා නපුරු තැනැත්තිය. අක්කොසිස්සන්ති = දශවිධ ආක්‍රෝශ කථාවන්ගෙන් අපහාස කරති. පරිභාසිස්සන්ති: කිම ශ්‍රමණයෙක් නම් වේද? ඔබට මේ මේ දෙය කරන්නෙමුයි තර්ජනය කෙරෙති. එවමෙත්‍ථ මා හට මෙහිදී මෙසේ සිදුවන්නේය. දණ්ඩෙන සිවුරියන් දඬුවකින් හෝ කිහිරි මුගුරකින් සත්‍ථෙන = එක් තලයක් ඇති ආයුධයෙන් සත්‍ථහාරකං පරියෙසන්ති = දිවි තොර කරන අවියක් සොයති. තෙවන පාරාජිකා වස්තුවෙහි අසුභ වූ මෙම කථාව අසා ආත්මභාවයෙන් පිළිකුල් වූ භික්ෂූන්ගේ ආයුධ ගෙනයාම පිරික්සීම සඳහා තෙරණුවෝ (මෙය) කීහ. දමුපසමෙන මෙහි “දම” යන මේ නාමය ඉන්‍ද්‍රිය සංවර ආදිය සඳහා යෙදේ
“සච්චෙන දන්තො දමසා උපෙතො - වෙදන්තගූ වුසිත බ්‍රහ්ම චරියො” (සත්‍යයෙන් දමනය වූයේ සංවරයෙන් යුතුවූයේ දතයුතු දෙයෙහි අන්තයට පැමිණියේ, වැස නිම කළ බ්‍රහ්ම චර්‍ය්‍යය ඇත්තේ) යන
මෙහි දී ඉන්‍ද්‍රිය සංවරය “දම” යයි කියන ලදී. “යදි සච්චා දමා චාගා ඛන්න්‍යා භීයො න විජ්ජති” (යම් සේ සත්‍යය ප්‍රඥාව. ත්‍යාගය, ඉවසීම යන මේවා බහුලව නො පවතී ද) යන මෙහි ප්‍රඥාව “දම” යයි කියන ලදී. “දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවාචෙන” (දානයෙන්, සීලයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන්) යන මෙහි උපොෂථ කර්මය හෙවත් සීල සමාදානය “දම” යයි කියන ලදී. මේ සූත්‍රයෙහි දී ක්ෂාන්තිය “දම” යන්නෙන් දත යුත්තේය උපසම යනු එයටම පර්යාය පදයකි.
අථඛො ආයස්මා පුණ්ණො - මෙම පුණ්ණ නම් කවරෙක් ද? කවර හේතුවක් නිසා මෙහි යාමට කැමති වූයේද? මේ තෙමේ සුනාපරන්තයෙහි වැසියෙක්මය. සැවැත් නුවර වූ කලී වාසයට නොගැලපේ යයි සලකා එහි (සුනාපරන්තයෙහි) යනු කැමැත්තේ විය.
මේ එහි අනුපිළිවෙළ කථාවයි. සුනාපරන්ත රටෙහි වනාහී එක් වෙළඳ ගමෙක්හි මේ දෙබෑයෝ විසුහ. ඇතැම් විටෙක ඔවුන් අතුරෙහි දෙටු බෑයා ගැල් පන්සියයක් ගෙන ජනපදයකට ගොස් බඩු ගෙන එයි. (තවත්) ඇතැම් විටෙක කණිටු බෑයා එය කරයි. මෙ කියන අවස්ථාවෙහි කණිටු බෑයා නිවසෙහි රඳවා, දෙටු බෑයා ගැල් පන්සියයක් ගෙන ජනපද චාරිකාවෙහි යන්නේ අනුපිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට නුදුරෙහි ගැල් සාත්තුව නවතා උදෑසන අහර වැළඳූයේ සේවක ජනයා විසින් පිරිවරන ලදුයේ පහසු තැනෙක්හි හිඳගත්තේය.
එවේලෙහිම සැවැත් නුවර වාසීහු උදය අහර වළඳා සීල සමාදානයෙහි අංගයන් පිළිබඳව අදිටනින් සුදු උතුරු සලු දරමින්, සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව, බුදුන්, දහම්, සඟුන් යම් දිසාවෙක් හි ද, ඒ දෙසට යොමු වීමෙන්, ඒ දෙසෙහි සිත් අලවා ගෙන, ඒ දෙසට නැමී ගෙන, දකුණු දොරටුවෙන් නික්ම දෙව්රම යති. ඒ (වෙළඳ) තෙමේ (යන්නාවූ) ඔවුන් දැක මොවුන් කොහි යෙත් දැයි එක් මිනිසකුගෙන් විචාළේය. “උතුමාණනි, ඔබ නො දන්නෙහිද? ලෝකයේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නයෝ පහළවූහ, මේ මහා ජනතාව ධර්ම ශ්‍රවණය සඳහා ශාස්තෲන් වහන්සේ වෙතට යතියි හෙතෙම පිළිතුරු දුන්නේය. “බුද්ධ” යන වචනය ඔහුගේ උඩුහම, යටිහම, ආදිය විනිවිදගොස් ඇට මිඳුළුවල ගැටී සිටියේය. හෙතෙම තම පිරිස පිරිවරා, (යමින් සිටි) ඒ පිරිස ද සමග විහාරයට ගොස් මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන ශාස්තෲන් වහන්සේගේ පිරිස කෙළවර සිටිමින්ම දහම් අසා පැවිදි වීම සඳහා සිත යොමු කළේය. ඉක්බිති තථාගතයන් වහන්සේ විසින් (සුදුසු) කල් දැන පිරිස යවනු ලැබූ කල්හි (වෙළඳ තෙමේ) ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ පසු දිනය සඳහා (දානයට) ආරාධනා කොටා දෙවන දිනයෙහි මණ්ඩපයක් කරවා අසුන් පනවා බුදුන් ප්‍රමුඛ සංඝයාට මහ දන් දී තමා එදින පළමු අහර වැළඳූයේ සීල සමාදානයෙහි අංගයන් පිළිබඳව අදිටන් කොට භාණ්ඩාගාරික කැඳවා “මෙපමණ ධනය වියදම් විය, මෙ පමණ ධනය වැය නොවී ඇත” යනුවෙන් සියල්ල කියා “මේ වස්තුව මාගේ මළණුවනට දෙව”යි (කියා) සියල්ල භාර දී ශාස්තෲන් වහන්සේ සමීපයෙහි මහණ වී කමටහන්හි පිහිට පතන්නේ වූයේය.
එසේ වුවද කමටහන් මෙනෙහි කරන්නාවූ ඔහුට කමටහන් නොවැටහෙන්නේ වෙයි. එහෙයින් “මේ ජනපදය මා හට ගැළපෙන්නේ නොවෙයි. මා ශාස්තෲන් වහන්සේ සමීපයෙහි කමටහන් (ඉගෙන) ගෙන මා අයත් ස්ථානයට ම යන්නෙම් නම් සුදුසුය යි සිතීය. (එසේ සිතා) පෙරවරු සමයෙහි පිඬු පිණිස හැසිර, සවස් කල්හි විවේකයෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ කමටහන් කියවා ගෙන සිංහනාද සතක් නාද කොට පිටත්ව ගියේය. එහෙයින් අථඛො ආයස්මා පුණ්ණො -පෙ- විහරති යනුවෙන් කියන ලදී.
කත්‍ථපනායං විහාසීති = මේ තෙමේ කොහේ විසුවේද යත් - සිවු තැනෙක්හි වාසය කළේය. සුනාපරන්ත නම් වු රටට පිවිස අබ්භහත්‍ථ නම් පර්වතය (වළාකුළු හැපෙන කන්ද) ට පැමිණ වෙළඳ ගමට පිඬු පිණිස පිවිසියෝය. එහිදී (තෙරුන්ගේ) කණිටු සොහොයුරා ඔහු හැඳින දන් දී “ස්වාමීනි අන් තැනෙක නොගොස් මෙහිම වසනු මැනව” යි කියා ප්‍රතිඥා කරවා ගෙන එහිම වාසය කරවීය.