7-9. එජා ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි - එජා = තණ්හාව චලනය වේය යන අරුතින් එයට “එජා” යයි කියනු ලැබේ. බාධා කිරීම යන අදහසින් රෝග යයි යෙදේ. අභ්‍යන්තරය දූෂ්‍ය වීම යන අදහසින් “ගණ්ඩ” යයි යෙදේ. (අයහපත්ය යන අදහසින් හෝ) යටට හාරා කපා දැමීම යන අදහසින් “සල්ලං” යි යෙදේ. තස්මා = යම් හෙයකින් තෘෂ්ණා, රෝග, ගණ්ඩ, සල්ල යන මේවා ඇති වේද ඒ නිසා තස්මා යි යෙදේ. “චක්‍ඛුං න මඤ්ඤෙය්‍ය (ඇස පිළිබඳව නොසිතයි) යන ආදිය පෙර කියූ පිළිවෙළින්ම දත යුතුය. මෙහිදී සබ්බං යනුවෙන් ඉහතදී ගනු ලැබූ දෙයට ගෙන හැර දක්වන ලදී. අටවැන්න කියන ලද පිළිවෙළ අනුවම වේ. නව වැන්නෙහි - මයං කොටස් දෙකක් යනුයි.
10. දුතිය ද්වය සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - ඉත්‍ථෙතං මයං - මෙසේ මෙම දෙකය, යුගලයය. චලඤ්චෙව ව්‍යධඤ්ච = තමාගේ ස්වභාවය අනුව, චලනය නොකරන්නේ මුව ද සෙලවෙයි, ඉදිරියට යයි. යොපිහෙතු - යොපි පච්චයො = ඇසෙන් රූප හඳුනා ගෙන අරමුණු ගැනීම හේතුව ද ප්‍රත්‍යය ද වේ. කුතො නීච්චං භවිස්සති = කුමන කරුණකින් නිත්‍ය වන්නේද? යම් සේ දාසයකුට දාව දාසියකගේ කුසෙහි උපන් පුත්‍රයා මත්තෙහි දාසයෙක් ම වේ ද (යනු නිත්‍ය නොවේ) මෙසේ නිත්‍ය නොවේමය යන අරුත ඇත්තේ වේ. සඞ්ගති = එක්වීම සන්නිපාත එක තැන රැස් වීම. සමවාය = එකට එක්තැන් වීම. අයං වුච්චති චක්‍ඛු සමථස්සෙන = (පෙර දැක් වූ මෙම සඞ්ගති, සන්නිපාත. සමචාය යන පච්චයෙන් (හෙවත් හේතුවෙන්) උපන් බැවින් පච්චය යන නාමයෙන් ම සඞ්ගති (එක්වීම) සන්නිපාත (එක තැන රැස් වීම) සමවාය, (එකට එක්තැන් වීම) යන මෙය චක්‍ඛු සම්ඵස්ස (හෙවත් චක්ෂු ස්පර්ශය) යයි කියනු ලැබේ.
යොපි හෙතු = ස්පර්ශයේ වස්තු අරමුණ සමග උපදින ස්කන්ධ තුන මෙම හේතුවයි. ඵුට්ඨො = සම්බන්ධ වීම යන අර්ථයෙහි - වෙන් වෙන් වශයෙන් ස්පර්ශේන්‍ද්‍රියයෙන් ස්පර්ශ කරන ලද්දාවූ ම අරමුණ වින්දනය නම් එය විඳ ගනියි, අරමුණ චේතනාව නම් එය සිතයි. අරමුණ සංඥාව නම් එය හඳුනා ගනියි යන අදහසයි. වුට්ඨො = ස්පර්ශයෙහි යෙදුණ පුද්ගලයාය. ස්පර්ශයට ලක් වූ අරමුණ ම වේදනා ආදියෙන් විඳ ගනියි, හැඳින ගනියි, සිතයි ආදී වශයෙන් ද කියන ලද්දේ වෙයි. මෙසේ මේ සූත්‍රයෙහි ස්කන්ධ තිහක් පිළිබඳව කියන ලදී. කෙසේද යත්? ඇස නමැති දොරටුව හා බැඳුණු වස්තුව ද අරමුණ ද රූපස්කන්ධය වෙයි. ස්පර්ශ කරනු ලැබූ ඒ රූප ස්කන්ධය වින්දනය කෙරේ යනු වේදනා ස්කන්ධයයි. ඒ පිළිබඳව සිතයි යනු සංස්කාර ස්කන්ධයයි එය හඳුනා ගනියි යනු සංඥා ස්කන්ධයයි. එය දැන ගනියි යනු විඥාන ස්කන්ධයයි. (කන්, නාසා ආදී) සෙසු දොරටු පිළිබඳව ද මෙම පිළිවෙළම වන්නේය. මනෝ ද්වාරයෙහි ද වස්තු රූප ඒකාන්ත වශයෙන් රූපස්කන්ධය වෙයි. රූපයෙහි අරමුණ ඇති වූ විට එම අරමුණ ද රූපස්කන්ධය වෙයි. පහක් බැගින් වූ හය (ස්කන්ධ 5 x ඉන්‍ද්‍රිය 6=30) තිහක් වෙයි. සැකෙවින් කියතහොත් මේවා (ඇස්, කන් ආදී) දොරටු සය බැඳුණ පංචස්කන්ධයන්ය. හේතූන්ගෙන් උපන් පංචස්කන්ධයන් අනිත්‍යයයි සවිස්තරව කියනුයේ අවබෝධ කරවීමේ අදහසිනි. ඒ අදහසින්ම මේ සූත්‍රය දේශනා කරන ලදී.
සිවුවන ඡන්න වග්ගය නිමියේය.
10. ඡළ වර්ගය
1. ඡ ඵස්සායතන සූත්‍ර වර්ණනාව
ඡළ වග්ගයේ පළමුවැන්නෙහි - අදන්තා = දමනය නො වූවාහු. අගුත්තා අනාරක්ෂිත වූවාහු. අරක්ඛිතා = ආරක්ෂිත නොවූවාහු, අසංවුතා = නොවසන ලද්දහු දුක්‍ඛාදිවාහා හොන්ති = නිරය ආදී විවිධ තන්හි අධික දුක් විඳින්නාහු වෙති. සුඛාධිවාහා හොන්ති = ධ්‍යාන, මාර්ග ඵල ආදී විවිධ ආකාරයෙන් අධික සැප විඳින්නාහු වෙති, සැප උසුලන්නහු වෙති. අධිම්හා යයි ද පාඨයක් වෙයි. එම අරුතමය.
ඡළෙව = සයක්ම අසංවුතො යත්‍ථ දුක්‍ඛං නිගච්ඡති = (ඇස්, කන් ආදී) යම් ආයතනයන්හි සංවර විරහිත වීමෙන් දුකට පැමිණේ තෙසඤ්ච යෙ සංවරණං අවෙදිසුං = යමෙක් එම ආයතනයන්ගේ සංවර බව විඳ ගත්තාහු ද, ලබාගත්තාහු ද (වුහ) විහරන්තීනි වස්සුතා = කෙළෙස් රහිතව ද තෘප්තිමත්ව ද වාසය කෙරෙති.
සා දිතඤ්ච සාදුවා = ප්‍රිය වූ වින්දනයක් ඇත්තේ ද මිහිරි වූයේ ද වෙයි. ඵස්සද්වයං සුඛදුක්‍ඛෙ උපෙක්‍ඛෙති සුව දනවන ස්පර්ශයක් හෝ. දුක දනවන ස්පර්ශයක් හෝ යන මෙය “ඵස්ස මය” (හෙවත් ස්පර්ශ දෙවර්ගය) වන්නේය. “උපෙක්‍ඛෙ” යන මෙහි උපේක්ෂාවම උපදවන්නේය යන අර්ථයයි. ඵස්සයං සුඛ දුක්‍ඛං උපෙක්‍ඛො යනුවෙන් ද පාඨයක් වේ. ස්පර්ශය හේතු කොට ගත් සැප, දුක, උපේක්ෂාව, සැපයෙහි දී එකඟ වීම, දුකෙහිදී විරුද්ධ වීම (යන මේ හැඟීම්) නො උපදවන උපේක්ෂා සහගත වූවෙක් වන්නේය යනු ද (එක්) අර්ථයක් වේ. අනානුරුද්ධො අවිරුද්ධ කෙනචි = කිසිවකු සමග එකඟ නොවන්නේ ද විරුද්ධ නොවන්නේ ද වේ.
පපඤ්ච සඤ්ඤා = කෙළෙස් යන සංඥාවෙන් පපඤ්ච සඤඤා නම් වී. ඉතරිතරා නරා = ලාමක අලාමක වූ සත්ත්වයෝ පපඤ්චයන්තා උපයන්ති = කෙලෙස් නිසා ප්‍රමාද වන්නෝ සසරෙහිම සැරිසරති. සඤ්ඤිනො = සංඥා සහිත වූ සත්ත්වයෝ මනොමයංගෙහ සිතඤ්ච සබ්බං = පඤ්චකාම ගුණයෙන් හා කෙළෙස්බරින් යුත් සියළුම මානසික විතර්ක පනුජ්ජා = දුරු කොට නෙක්ඛම්ම සිතං ඉරීයති = බුද්ධිමත් බව ඇති භික්ෂුව කෙළෙසුන්ගෙන් වෙන් වීමෙහි යෙදෙයි.