කෙසේද යත් - මෙහි වනාහි සතර මහා භූතයන් ද, අධ්‍යාත්මික වූ ආයතන පස ද, බාහිර වූ ආයතන පසද, ධර්මායතනයෙහි පසළොසක් වු සියුම් රූපයන් ද තම ශරීරයේ එක් කොටසක් වේ. මෙය රූප ස්කන්ධයයි. මනායතනය විඥාන ස්කන්ධයයි. ධර්මායතනයෙහි එක් කොටසක් වන්නේ (කාමොඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යන) ඕඝයන් සතරයි. මෙම අරූපී ස්කන්ධ සතර තම ශරීරයේ එක් කොටසක් වේ. එහි රූප ස්කන්ධය නම් රූපයයි. අරූප ස්කන්ධ නම් නාම යයි. මේ දෙක “නාම රූප” නම් වේ. එහි කාමය නම් සැඩ පහර ද, භවය නම් සැඩ පහර ද “නන්‍දිරාගය” නම් වේ. ධර්මායතනයෙහි එක් කොටසක් තමාගේ ශරීරයේ ද එක් කොටසක් වේ. මේවා (ඵලයන් සඳහා) හේතු වන්නේ ය, යනුවෙන් “සප්පච්චය “ නම් වේ. නාම රූපයන් වෙන් කොට දක්වා ත්‍රිලක්ෂණයට නඟා විදසුන් වඩා සංස්කාර (ධර්ම) යන් විමසා බලන තැනැත්තේ රහත් බවට පැමිණෙන්නේය යන මෙය එක් භික්ෂුවකගේ නිවනට යාමේ ප්‍රමුඛ මාර්ගය විය.
එහි සතර මහා භූතයෝ, පඤ්ච උපාදාන ස්කන්ධයෝ, ආධ්‍යාත්මික හා බාහිර ආයතන එකොළොස, ධර්මායතනයෙහි කොටසක්, දෘෂ්ටීන් (හෙවත් විශ්වාසයන්) නමැති ඕඝය, අවිද්‍යාව නමැති ඕඝය යන මේවා ස්වකීය ශරීරයේ කොටසක් වේ. මෙය “දුඃඛ සත්‍ය” යයි. නන්‍දිරාගය ද කොටසකි. කාම නමැති ඕඝය ද, භව නමැති ඕඝය ද ස්වකීය ශරීරයෙහි කොටසකි. මෙය සමුදය සත්‍යයයි. එ තෙර යයි කියනු ලබන නිවන නිරෝධ සත්‍යයයි. ආර්ය (අෂ්ටාංගික) මාර්ගය මාර්ග සත්‍යයයි. එහිදී සසරෙහි පැවැත්මට සම්බන්ධ සත්‍යයන් දෙකක් ද, නිවනට සම්බන්ධ සත්‍යයන් දෙකක් ද වේ. දෙකක් ලෞකිකය. දෙකක් ලෝකෝත්තරය යනුවෙන් සත්‍ය සතර සොළොස් අයුරකින් ද, න්‍යායයන් සැට දහසක් වන අයුරින් ද බෙදා දැක්විය යුත්තේය. දේශනාවසානයෙහි විපචිතඤ්ඤු (හෙවත් විස්තර කර දුන් පසු අවබෝධ කරගත හැක්කාවූ) පන්සියයක් භික්ෂූහු රහත් බැව්හි පිහිටියහ. සූත්‍රය වනාහි දුකෙහි ලක්ෂණ වශයෙන් කියන ලදී.
2. රථූපම සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - සුඛ සෝමනස්ස බහුලො - “මේ තැනැත්තාට කයෙහි සුවය ද, සිතුවිලිවල සොම්නස් බව ද බහුලව පවතී” යන අදහසින් “සුඛ සොමනස්ස බහුලො” යි යෙදිණ. යොනිචස්ස ආරද්ධා හොති - මොහුට (අදාල) කරුණු ද සම්පූර්ණ වූයේ වෙයි. ආසවානං ඛයාය = මෙහිදී ආසවක්‍ඛය (හෙවත් කෙලෙස් ක්ෂය කිරීම) යනුවෙන් අර්හත් මාර්ගය අදහස් කරන ලදී. ඒ සඳහා (හෙවත් අර්ථ මාර්ගය සඳහා) යන අරුත වේ. ඔධස්තපතොදො රථය මැද සරසට තබන ලද කෙවිට. යොනිච්ඡකං = යම් දිසාවකින් කැමති වේද. යදීච්ඡකං = යම් බඳු වු ගමනක් කැමති වේද, සාරෙය්‍ය = යවන්නේය. පච්චාසාරෙය්‍ය = ආපසු හැරෙන්නේය. ආරක්‍ඛාය = රැකවරණය පිණිස සඤ්ඤමාය = වේගවත් බව අඩු කිරීම සඳහා දමාය තමාගේ සතුට සඳහා ක්‍රියා කිරීම යටපත් කරනු පිණිස (හෙවත් දමනය පිණිස) උපසමාය = කෙලෙස් සන්සිඳවීම පිණිස
එවමෙව ඛො = යම් සේ අදාන්ත වූ (හෙවත් පුහුණු නො කරන ලද) අසුන් යොදා තැනිතලා නොවන මාර්ගයෙක්හි රථය රැගෙන යන්නා වූ අදක්ෂ රියැදුරුගේ රථචක්‍ර හෝ බිඳෙයි. චක්‍ර සම්බන්ධක නාරචය (හෙවත් ඇක්සලය) හෝ බිඳෙයි, අසුන්ගේ කුර හෝ බිඳෙයි, තමා හෝ විපතට පැමිණෙයි, රිසි රිසි සේ ගමන හැසිරවීමට නොහැකි වෙයි. මෙසේ ඉඳුරන් සයෙහි නොවැසූ දොරටු ඇති (හෙවත් ඉඳුරන් දමනය නොකළ) භික්ෂුවට රිසි රිසි සේ ශ්‍රමණ භාවයෙහි ඇලී සිටීමට, (ශ්‍රමණ සුවය) විඳ ගැනීමට නො හැකි වෙයි. යම් සේ වනාහී දක්ෂ වූ රියැදුරු දමනය වු අසුන් යොදා සම බිමෙකට රිය පමුණුවා නාස් ලණුව අල්වා ගෙන, අනුන්ගේ කුර පිළිබඳව සිහිය තබාගෙන, කෙවිට රැගෙන දමනය වූ අසුන් මෙහෙයවන්නේ රිසි රිසි සේ ගමනෙහි යෙදෙයි ද, මෙසේ ම ඉඳුරන් සයෙහි වැසූ දොරටු ඇති (හෙවත් ඉඳුරන් දමනය කළ) භික්ෂුව මේ සස්නෙහි රිසි රිසි සේ ශ්‍රමණ භාවයෙහි ඇලී එහි සුවය විඳියි. ඉදින් අනිත්‍යය නුවණින් විමසා බැලීමට නුවණ මෙහෙයවනු කැමැත්තේ වෙයි නම් නුවණ ඒ සඳහා යොමු වෙයි. “දුක්‍ඛය” නුවණින් විමසා බැලීම ආදියෙහිදී ද මෙසේම වේ.
භොජනෙ මත්තඤ්ඤු = ගතයුතු භෝජනයෙහි ප්‍රමාණය දන්නාවූ, එහිදී පිළිගන්නා ප්‍රමාණය ද, පරිභෝග කරන ප්‍රමාණය ද යනුවෙන් ප්‍රමාණයන් දෙකක් වේ. එහි පිළිගන්නාවූ ප්‍රමාණය යන්නෙහිදී දායකයාගේ කැමැත්ත දත යුතුය. දියයුතුදෙය පිළිබඳව (දායකයාගේ) කැමැත්ත දත යුතුය. (පරිභෝග කළහැකි ප්‍රමාණය පිළිබඳව) තමා වෙත ඇති අවශ්‍යතාවය (භික්ෂුව විසින්) දත යුතුය. මෙබඳුවූ භික්ෂුව වනාහී ඉදින් දිය යුතු දෙය අධික වේ නම් ද, දායකයා ස්වල්පයක් දෙනු කැමැත්තේ නම් ද දායකයාගේ කැමැත්ත අනුව ස්වල්පයක්ම භාර ගනියි. දියයුතු දෙය අල්ප වේ නම් ද දායකයා අධික ප්‍රමාණයක් දෙනු කැමැත්තේ නම් ද දෙනු ලබන්නාවූ දේ වශයෙන් ස්වල්පයක්ම භාර ගනියි. දිය යුතු දෙය අධික වේ නම් ද, දායකයාත් බොහෝ වූ කොටසක් දෙනු කැමැත්තේ නම් ද තමාගේ අවශ්‍යතාවය දැනගෙන ගත යුතු ප්‍රමාණයම (පමණක්) ගනියි. ඒ (භික්ෂු) තෙමේ පිළිගැනීමේ ප්‍රමාණය පිළිබඳ එම දැනුමෙන් නූපන් (හෙවත් ලැබී නොතිබුණු) ලාභය උපදවයි. (හෙවත් ලබාගනියි) උපන්නාවූ (හෙවත් ලැබුණා වූ) ලාභය ස්ථාවර කර ගනියි.
ධාර්මික වු තිස්ස නම් මහරජුගේ කාලයෙහි (විසූ) සත් හවුරුදු වියැති සාමණේරයන්ගේ සිද්ධිය මෙනි. (එනම්) රජතුමාට වනාහී ගැල් පන්සියයකින් උක්සකුරු ගෙන ආහ. සතුටට පත් වු රජතුමා (තමාට ලැබුණ) පඬුර (වන උක් සකුරු) ආර්යයන් වහන්සේ සමග මිස නොබුදින්නෙමි යි (කියා) ගැල් දෙසිය පනසක් මහා විහාරයට යවා තෙමේ ද උදෑසන අහර ගෙන (එහි) ගියේය. බෙර වාදනයෙන් දොළොස් දහසක් භික්ෂූහු රැස්වූහ. රජතුමා එකත් පස්ව සිටියේ අරමෙහි (කාර්යයෙහි) නියුතු අයකු කැඳවා “රජුගේ දානයෙහිදී නම් පාත්‍රය පිරෙන පමණටම ගනු ලබන භාජනයක් පුරවාම දිය යුතුය. ඉදින් යම් කිසි (භික්ෂූන් වහන්සේ) නමක් සීමිත ප්‍රමාණයක් පිළිගැනීමෙහි (අදහසින්) සිටින්නේ (පිරුණු බඳුන) පිළි නොගන්නේ නම් මට දක්වනු” යයි කීවේය.