4. පමාදවිහාරී සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - අසංවුතස්ස = නොවසන ලදුව, ආවරණය නො කොට, මුවහ නොකොට තබන ලද්දක්හුගේ බ්යා සිච්චති = කෙළෙස් දියෙන් තෙමෙයි, කෙළෙස් ජලයෙන් තෙමී පවතී. පාමුජ්ජං = දුබල සතුට පීති = බලවත් සතුට පස්සද්ධි = පීඩාවෙන් මිදී ශාන්ත භාවයට පත් වීම. ධම්මානු පාතුභවන්ති = සමථ විදර්ශනා ධර්මයෝ නො උපදිත්. මේ සූත්රයෙහි පුද්ගලයා පිළිබඳව (අවබෝධකර ගනු සඳහා කරුණු) දක්වනු ලැබේ.
5. සංවර සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි - කථඤ්ච භික්ඛවෙ අසංවරො = මාර්ගය දන්නා තැනැත්තහුට. වම අත්හැර දකුණ ගණුවයි පළමුව අත්හළ යුතු මඟ කීම මෙන්. උපදෙස් දීමේ ක්රමයෙන් නොකියන දේශනාවෙහි දක්ෂතාවය නිසා පළමුව අත් හළ යුතු ධර්මයන් කියා දීම වශයෙන් මෙය කියන ලදැයි දත යුතුය. මෙහි දහම් විමසා ධර්මය බෙදා දක්වන ලදී.
6. සමාධි සූත්ර වර්ණනාව
සය වැන්නෙහි සමාධි = සිතෙහි එකඟ බව සිතේ එකඟ බව පිරිහෙන්නවුන් දැක සිතෙහි එකඟ බව ලබන මොවුන්ගේ කමටහන් දියුණුව කරා යන්නේ යයි දැන මේ සූත්රය දේශනා කරන ලදී.
7. පටිසල්ලාන සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි පටිසල්ලාන = කාය විවේකය කාය විවේකයෙන් පිරිහෙන්නවුන් දැක, කාය විවේකය ලබන්නාවූ මොවුන්ගේ කමටහන් දියුණුව කරා යන්නේ යයි දැන මේ සූත්රය දේශනා කරන ලදි.
8-9. න තුම්හාක ආදි සූත්ර වර්ණනා
අට වැන්නෙහි - උපමාවන්ගෙන් වටකොට. අවබෝධ කර ගන්නවුන් සඳහා කියන ලදී. නව වැන්නෙහි පිරිසිදු වශයෙන් මෙන් ම අවබෝධ කර ගන්නවුන්ගේ අදහස් වශයෙන් ද කියන ලදී. මේ දෙකෙහිම අර්ථය වනාහී “ඛන්ධක වග්ගයෙහි” කියන ලද ක්රමයෙන්ම දත යුත්තේය.
10. උද්දක සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - උද්දකො සුදං මෙහි “සුදං” යනු නිපාත මාත්රයකි. “උද්දක” යනු ඒ තැනැත්තාගේ නාමයයි. ඉදං ජාතු වෙදගු = මෙහි “ඉදං” යනු නිපාත මාත්රයකි. නැතහොත් මාගේ මේ වචනය අසන්නහු යයි දක්වමින් මෙසේ කීය යනුයි. “ඡාතු වෙදගු” (හෙවත් ඒකාන්ත වශයෙන්ම දතයුතු සියල්ල අන්තයටම දැන ගත්තාවු) යනු මම ඒකාන්තයෙන් ම (සසරෙහි) පවත්නා සියල්ල දැනගෙන, (සසර) මැඩ පවත්වා ගෙන සිටින්නෙම් වෙමියි යනුවෙන් කියති (යන භාවයයි) අපළිඛතං ගණ්ඩමුලං = උගුල්වා ඉවත් නොකළ දුක පළිඛණිං = මා විසින් උගුල්ලා දමන ලදී. (ශරීරයේ ගෙඩිය) හාරා ඉවත් කොට සිටින්නෙම් වෙමි යි (මෙයින්) දක්වයි.
මාතා පෙත්තික සම්හවස්ස මවු විසින් ද පිය පසින්ද නිපදවුණ මාතෘ පිතෘක ශුක්ර ශ්රෝණීතයන්ගෙන් හටගත්තාවු ඔදන කුම්මා සුපචයස්ස - බත් පිට්ටු වැනි දෙයින් (ශරීර මාංස ආදිය) රැස් කළා වූ, අනිච්චුච්ඡා දන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස = මෙහි මේ කය ඇති වී නැති වන්නේය යන අරුතින් අනිත්ය ස්වභාවය ඇත්තේ (හෙවත් අනිච්ච ධම්මො) වේ. දුගඳ නැසීම පිණිස සුවඳ විලවුනෙන් පිරිමදින ස්වභාවය (හෙවත් උච්ඡාදන ධම්ම) ඇත්තේ වේ. අඟ පසඟ වල පීඩාවන් දුරු කිරීම පිණිස ජල සම්බාහන (හෙවත් උදක සබ්බාහන) ක්රමයෙන් පිරිමදින ස්වභාවය ඇත්තේ වේ. මවු කුස තුළ විසීමේදී විකෘති වී පිහිටියාවු (අවයවයන් ඇත්නම්) ඒ ඒ අවයවයන්ගේ මනා සැකසීම පිණිස ළදරු කල්හි උකුල මත තබා ඖෂධ ගැල්වීම් අතගෑම් ආදී වශයෙන් කෙරෙන පිරිමැදීම් ස්වභාවය (හෙවත් පරිමද්දන ධම්මො) ඇත්තේ වේ. පරිහරණය කරනු ලබන්නේ නමුදු (ශරීරය) මෙසේ බිඳෙන නැසෙන ස්වභාවයකින් යුක්ත වෙයි. බිඳෙන්නේ ද කැබලි වශයෙන්ම විසිරෙන්නේද වෙයි. මෙබඳු ස්වභාවයක් පවතී යන අර්ථය වෙයි.
ඉහළින් (විස්තරාර්ථ) දැක්වූ “මාතා පෙත්තික සම්භව ඔදන කුම්මාසුපචය පරිමද්දන” යන පදවලින් ශරීර වර්ධනය කියන ලදී. “අනිච්ච භෙදන විද්ධංසන” යන පදවලින් ශරීර පරිහානිය (කියන ලදී) මුල් කොටස්වලින් හටගැන්ම (හෙවත් සමුදය) ද, පසු කොටස් වලින් විනාශයට යාම ද (කියන ලදී) මෙසේ සතර මහා භූතයන් හට අයත් ශරීරයේ වෘද්ධිය, පරිහානිය. උත්පත්තිය යන භේදයෙන් දක්වන ලද්දාහුය. සෙස්ස පහසු අරුත් ඇත්තේ වේ.
පස් වන ඡළ වග්ගය නිමි.