2. මාලුඞ්ක්‍යපුත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - මාලුඞ්ක්‍ය පුත්තො = මාලුඞ්ක්‍ය නම් බැමිණියගේ පුත්‍රයාය. එත්‍ථ = මෙහි දී ඔබගේ අවවාද ඉල්වීමෙහි යන අදහස සඳහා යෙදේ. මෙයින් තෙරුන් අප්‍රසාදයට ද, නිග්‍රහයටද පත් කරයි. කෙසේද යත් - මේ තෙමේ වනාහි බාල කාලයෙහි රූප දර්ශන ආදියෙහි යෙදී ප්‍රමාද වී පසුව මහලු කල ආරණ්‍ය වාසයට පැමිණෙනුයේ කමටහන් ඉල්වයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන් හට කුමක් කියම්දැයි යනුවෙන් සිතා මාලුඞ්ක්‍ය පුත්‍රමෙන් ඔබ ද තරුණ කාලයෙහි රූප දර්ශන ආදියෙහි යෙදී ප්‍රමාද වී, පසුව මහලු කල අරණට පිවිස මහණ දම් කරන්නාහු යයි යන මේ අදහසින් කථා කරන්නාහු තෙරුන් වෙත ප්‍රසාද රහිත බවක් දක්වති.
යම් හෙයකින් වනාහී ස්ථවිර තෙමේ මහලු කල්හිද අරණට පිවිස මහණදම් කරනු කැමැත්තේ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන්හට කුමක් කියම් ද යනුවෙන් සිතා අපගේ මෙම මාලුඞ්ක්‍ය පුත්‍ර තෙමේ මහලු කල්හිද අරණට පිවිස මහණදම් කරනු කැමැත්තේ කමටහන් ඉල්වයි ඔබ වනාහී තුරුණු වියෙහි දු වීර්යය නොකරන්නහුය, යන මේ අදහසින් කථා කරන්නාහු තෙරුන් හට අප්‍රසාදයක්ම පෙන්වති.
යත්‍ර හි නාම = යමෙක් වනාහී. කිඤ්චා පිහං කෙසේ වුවද මම භාග්‍යවතුන් වහන්සේ මා මහල්ලකුයයි දනිති. යම් සේ මම මහල්ලෙක් වන්නෙම් වුව ද මහණදම් කිරීමට හැකි වන්නෙමි, භාග්‍යවතුන් වහන්සේ මට (කමටහන්) දේසනා කරත්වා, යන අදහසින් ස්ථවිර තෙමේ මහලු බවට අනුග්‍රහ ලබමින්, අවවාදය ද පසසමින් මෙ සේ කීය.
අදිට්ඨා, අදිට්ඨ පුබ්බා = මේ අත්බැව්හි නො දක්නා ලදි. අතීතයෙහි ද නො දක්නා ලදී. නච පස්සති = මෙකල්හි ද නොදක්නෙහිය. නච තෙ හොන්ති පස්සෙය්‍යං = මෙසේ සිත එකඟ කර ගත්තේ වුව ද ඔවුන් යම් තැනක නොවෙත් ද, එසේ නම් ඡන්ද ආදිය උපදවන්නේ දැයි විමසයි.
දිට්ඨෙ දිට්ඨ මත්තං = රූපය නම් ආයතනයෙහි චක්‍ඛු විඤ්ඤාණයෙන් දකින ලද දෙයෙහි දුටුබව පමණක්ම පවත්නේය. චක්‍ඛු විඤ්ඤාණය වනාහී රූපයෙහි රූප මාත්‍රයම දකියි. අනිත්‍ය ආදී ස්වභාවය නොදකියි. සෙසු විඤ්ඤාණ ආදියෙහි ද මෙසේමය. මෙහි දුටු බව පමණක්ම වන්නේය යන අරුතයි. නොහොත් දුටු දෙයෙහි දකින ලද දෙය නම් වූ චක්‍ඛු විඤ්ඤාණය යනු රූපයෙහි රූපය දැන ගැනීමය යන අරුතයි. මත්තා = ප්‍රමාණයයි. දැකීම් මාත්‍රය පමණක් සිදු වේ යන අරුත සඳහා “දිට්ඨමත්ත” යි යෙදේ. (එවිට මතු වන) සිත “දිට්ඨ මත්තං චිත්තං” නම් වේ. මේ චිත්තයම චක්‍ඛු විඤ්ඤාණ මාත්‍රයම වන්නේය යන අරුත වේ.
මෙය (මෙසේ ද) කියන ලද්දේ වෙයි. ඉදිරිපත් වූ (හෙවත් ඉන්‍ද්‍රිය විෂය වූ) රූපයෙහි චක්‍ඛු විඤ්ඤාණය නො ඇලේ ද, දූෂ්‍ය නොවේද, මුලා නොවේ ද. මෙසේ රාගාදියෙන් වෙන් වූ කල්හි චක්‍ඛු විඤ්ඤාණයේ ප්‍රමාණයෙන්ම ජවන් සිත වන්නේය. චක්‍ඛු විඤ්ඤාණයේ ප්‍රමාණයෙන් ම ජවන සිත පිහිටුවන්නෙමි යයි කියයි. නැතහොත් “දිට්ඨං” යනු චක්‍ඛු විඤ්ඤාණයෙන් දකින ලද රූපයයි. දුටු දෙයෙහි ඇත්තේ දුටු බව පමණක්ම (හෙවත් දෘෂ්ටිමාත්‍රයම) වෙයි. එහිම උපන්නාවු ද, අනුමත වූ ද, තීරණය වූ ද, නියෝග ලැබුණාවූ ද යන වශයෙන් පවත්නා චිත්ත ත්‍රයෙහි එය යම් සේ නො ඇලේ ද, දූෂ්‍ය නො වේද, මුලා නොවේද මෙසේ වූ රූපය ඉන්ද්‍රිය ගෝචර වූ විට, එම අනුමත ප්‍රමාණයන්ගෙන්ම ජවන් සිත උපදවමි, ඔහුට ඒ ප්‍රමාණය ඉක්මවා ඇලීම් ආදී වශයෙන් ඉපදීමට ඉඩ නො දෙමි යි යනු මෙහි අර්ථයයි. (කන්, නාසා, දිව, ශරීරය යන) සුත මුත ඉඳුරන් පිළිබඳවද මේ පිළිවෙලම වේ.
විඤ්ඤා තෙ විඤ්ඤාත මත්තං = මෙහි වනාහි විඤ්ඤාත (හෙවත් දැනගත් දෙය) යනු මනසෙහි මෙනෙහි කිරීමෙන් දැනගත් අරමුණයි. එම දැනගත් දෙයෙහි. එය දැනගත් කල්හි (තමා විසින්) දැන ගන්නා ලද ප්‍රමාණය යයි ආවර්ජනා කෙරෙන ප්‍රමාණය යම් සේ පවතීද, ආවර්ජනය නො ඇලේ ද, දූෂ්‍ය නොවේද, මුළා නොවේද, මෙසේ ඇලීමේ ආදී වශයෙන් ඉපදීමට (අවස්ථාව) නොදී ආවර්ජනය වන ප්‍රමාණයෙන් ම සිත තබාගන්නෙමි යනු මෙහි අර්ථය වේ.
යතො = යම් කලෙක තතො = එකල්හි තෙන = එම රාගයෙන් රත්වූයේ හෝ දෝෂයෙන් දූෂිත වූයේ මෝහයෙන් මුළාවූයේ හෝ නොවන්නෙහිය. තතො ත්‍වං මාලුඞ්ක්‍ය පුතත න තත්‍ථ = යම් කලෙක ඔබ එම රාගයෙන් හෝ දෝසයෙන් හෝ මෝහයෙන් හෝ (පිළිවෙළින්) රත්වූයේ හෝ දූෂිත වූයේ හෝ මුළාවූයේ හෝ නො වන්නෙහි ද, එකල්හි ඔබ එහිදී දුටු දෙයෙහි හෝ කණ, නැහැය, දිව, සම යන ආයතන විසින් හඳුනා ගන්නා ලද අරමුණුවල හෝ බැඳුනේ, ඇළුනේ, පිහිටියේ නම් නො වන්නෙහිය. තෙවිධා = පෙර කියු අරුතමය.
සතිමුට්ඨා = සිහි කල්පනා නැති වූ තඤ්ච අජ්ඣො සාය = ඒ අරමුණ ගිල දමා අභිජ්ඣාව විහෙසාච = දැඩි ලෝභයෙන් ද හිංසාවෙන් ද (යනුවෙන් අදහස් වේ.) එසේ නැතහොත් වඩ්ඪන්ති යන්න පදයක් පාසා යෙදිය යුතුයි. දැඩි ලෝහය හා හිංසාව යන මේ තත්ත්වයන් දෙක ඔහු හට වර්ධනය වේ යන අරුත ඇත්තේ වේ.
චිත්ත මස්සුපහඤ්ඤති = දැඩි ලෝභය හා හිංසාව ඔහුගේ සිත පීඩාවට පත් කරයි. ආචිනතො = රැස් කරන්නහුගේ ආරා නිබ්බාණං වුච්චති = මෙබඳු පුද්ගලයාට නිවනනම් ඇත යයි කියනු ලැබේ. ඝාත්‍වා = ආඝ්‍රාණය කොට භොත්‍වා = අනුභව කොට, රස බලා, ලෙව කා ඵුස්සා = ස්පර්ශ කොට පටිස්සතො = පටිස්සති යයි හැඳින්වෙන සිහියෙන් යුක්ත බව සෙවතොචාපි වෙදනං = සතර මඟ හා එකට යෙදුණ. ඉපද වූ ලෝකෝත්තර වින්දනය සේවනය කරන්නා හට ඛීයති = දුක ද කෙළෙස් රැසද ක්ෂය වෙයි. අඤ්ඤතරො අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙන් එක් ශ්‍රාවක නමක්, මෙසේ මේ සූත්‍රයෙහි ගාථාවලින්ද සසරෙහි පැවැත්ම මෙන්ම සසරෙහි නැවැත්ම ද කියන ලදී.
3. පරිහානධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - පරිහාන ධම්මං - පරිහාන ධම්මං = පිරිහීම් ස්වභාවයයි. අභිභා යතනාති අභිභවනය කළ හෙවත් ජය ලබාගත් ආයතන සර සඞ්කප්පන = මෙහිදී. චාරිකා කරති යි යන අදහසින් “සරා” නම් වේ. එයින් “දුවති” යන අරුත ලැබේ. “සරා” (හෙවත් චාරිකා කරන්නෝ) ද. “අදහස්” (හෙවත් සඞ්කප්පයෝ) ද ඔව්හුමය යන වශයෙන් “සර සඞ්කප්පා” යන පදය සැකසේ. සඤ්ඤො ජනීයානි = බඳිනු ලැබීය යුත්තාහු, බන්ධනයට හේතුවන්නාහු තඤ්චෙ භික්‍ඛු = එය මෙසේ උපන් ක්ලේශය හෝ වෙයි, අරමුණ හෝ වෙයි. අධිවාසති = සිතට නංවා ගෙන වාසය කරයි. නප්පජහති = ඡන්ද රාගය ඉවත් වීමෙන් (මෙය) ඉවත් නොවේ. සියළු පදයන්හිම මෙසේ යෙදිය යුතුය. අභිභායතනං හෙතං වුත්තං භගවතා = භාග්‍යවත් බුදුන් වහන්සේ විසින් මෙය අභිභාවිත (හෙවත් අභිභවනය කළ) ආයතනය කැයි කියන ලදී. මෙහිදී දහම් විමසා බෙදා දක්වන්නාවූ පුද්ගලයකු විසින් ධර්මය දක්වන ලදී.
4. පමාදවිහාරී සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - අසංවුතස්ස = නොවසන ලදුව, ආවරණය නො කොට, මුවහ නොකොට තබන ලද්දක්හුගේ බ්‍යා සිච්චති = කෙළෙස් දියෙන් තෙමෙයි, කෙළෙස් ජලයෙන් තෙමී පවතී. පාමුජ්ජං = දුබල සතුට පීති = බලවත් සතුට පස්සද්ධි = පීඩාවෙන් මිදී ශාන්ත භාවයට පත් වීම. ධම්මානු පාතුභවන්ති = සමථ විදර්ශනා ධර්මයෝ නො උපදිත්. මේ සූත්‍රයෙහි පුද්ගලයා පිළිබඳව (අවබෝධකර ගනු සඳහා කරුණු) දක්වනු ලැබේ.