2-4. ගමන වර්ගය
දෙවැනි ගමන දුක් වශයෙන් කියන ලදී. එයද අටළොස් ව්යාකරණයකි. ඉන් අන්ය වූ “රූපී අත්තා හොති” යනාදී අට ව්යාකරණයෝ ඒවා සමඟ ඒ දෙවැනි පෙය්යාලය යැයි කියන ලදී.
එහි “රූපී” යනු අරමුණම ආත්මයයැයි ගන්නා ලද දෘෂ්ටියයි. “අරූපී” යනු ධ්යානය ආත්මය යැයි ගත් දෘෂ්ටියයි. “රූපී ච අරූපී ච” යනු අරමුණද ධ්යානය ද ආත්මය යැයි ගත් දෘෂ්ටියයි. “නෙව රූපී නාරූපී” යනු තර්ක මාත්රයෙන් ගත් දෘෂ්ටියයි. “එකන්ත සුඛී” යනු ධ්යානලාභීන්ට, තාර්කිකයන්ට හා ජාති සිහිකිරීමේ නුවණ ලැබූවන්ට උපන් දෘෂ්ටියකි. ධ්යානලාභීහුද අතීතයේ ඒකාන්තයෙන්ම සැප ඇති අත්බවක් (ආත්ම භාවයක්) සිහිපත් කර මෙවැනි දෘෂ්ටියක් උපදවා ගනිති. තාර්කිකයන්ටද දැන් මම ඒකාන්තයෙන් සුවපත් වූවාක් මෙන් පරලොවදීද මෙසේම වන්නේ යැයි දෘෂ්ටියක් උපදියි. ජාති සිහිකරන්නවුන්ටද සැප සහිත සත්-අට භවයක් දැක මෙබඳු දෘෂ්ටියක් උපදියි. “එකන්ත දුක්ඛී” ආදියෙහි මේ ක්රමයමයි.
තෙවැනි පෙය්යාල වර්ගයේ ද අනිත්ය-දුක්ඛ වශයෙන් එයම විසිහයක් සූත්රවලින් විස්තර කරන ලදී. සතරවන පෙය්යාලය තිපරිවර්ත වශයෙන් දේශිතය.
දිට්ඨි සංයුත්තය නිමියේ ය.
4. ඔක්කන්ති සංයුක්තය
1. චක්ඛු වර්ගය
1-10. චක්ඛු ආදි සූත්ර වර්ණනා
ඔක්කන්තික සංයුත්තයේ - “අධිමුච්චති” යනු ශ්රද්ධාවෙන් විමෝක්ෂය ලබයි යනුයි. “ඔක්කන්තො සමත්තනියාමං” යනු ආර්ය මාර්ගයට පිවිසි යනුයි. “අභබ්බො ච තාව කාලං කාතුං” යනු මෙය උපන් මාර්ගයේ ඵලයට අනතුරුව දක්වයි. උපන්නා වූ මාර්ගයෙහි ඵලයට අනතුරක් කිරීමක් නම් නැත. එලෙසින්ම - “මේ පුද්ගලයා සෝවාන්ඵල සාක්ෂාත් කිරීමට පිළිපන්නාහු. මේ කල්පයේ දැවෙන වේලාවෙහිදී. යම්තාක් මේ පුද්ගලයා සෝවාන්ඵලය සාක්ෂාත් නොකරයිද ඒතාක් කල්පය නොදැවේමැයි. මෙය පුද්ගල ස්ථිතකල්පී යැයි කියනු ලැබේ.a “මත්තසො නිජ්ඣානං චමන්තී” යනු ප්රමාණ වශයෙන් බැලීම ඉවසයි යනුයි. සෙසු පද අර්ථ ප්රකටය.
ඔක්කන්ති සංයුත්තය නිමියේය.