8-10. මහාදිට්ඨි ආදි සූත්‍ර වර්ණනා
“අකටා” යනු නොකරන ලද යනුයි. “අකටවිධා” යනු නොකළ විධාන ඇති. “මෙසේ කරව”යි, “කිසිවකු විසින් කරවන්නෙකු නැත” යන අර්ථයි. “අනිච්චිතා” යනු ඍද්ධියෙන් නොමවන ලදී යනුයි. “අනිම්මාතා” යනු අන් අයුරකින්ද නිර්මාණය නොවූ යනුයි. “අනිම්මිතබ්බා” යන පාඨයද සුදුසුය. නොමවන ලද යන අර්ථයි. “වඤ්ඣා” යනු වඳ තිරිසන් - වඳ කල් ආදිය මෙන් ඵල නැති කිසිවක් නූපදවන යනුයි. පර්වත කූටයක් මෙන් සිටි බැවින් “කූටට්ඨා” නම් වේ. ඉන්ද්‍රඛීලයක් මෙන් නොසෙල්වී සිටින “ඵසිකට්ඨායීට්ඨිතා”. යම්සේ මනාව පිහිටවූ ඉන්ද්‍රඛීලය නිශ්චලව සිටියිද එසේ නොසෙල්වී සිටි යන අර්ථයි. “න ඉඤ්ජන්ති” යනු ඉන්ද්රඛීල ස්තම්භය මෙන් සිටි බැවින් නොසෙල්වෙති යනුයි. “න විපරිණමන්ති” යනු ප්‍රකෘති ස්වභාවය අත්නොහරිති යනුයි. “න අඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති” යනු ඔවුනොවුන්ට බාධා නොවෙති යනුයි. “නාලං” යනු අසමත් වූ යනුයි. “පඨවී කායො” යනාදියේ පඨවි ධාතුවම, පඨවිකාය හෝ පඨවි සමූහය වේ. “සත්තන්නං ත්වෙවකායානං” යනු යම්සේ මුංඇට ගොඩකට ගැසූ සැක ඒ මුංඇට සමූහය අතුරින්ම පිවිසේද එලෙසින්ම සත්වැදෑරුම් කය අතරින් සිදුරකින්, විවරයකින් සැත පිවිසෙයි. එහි “මම මේ දිවිය තොර කරන්නෙමි”යි හුදෙක් එසේ හැඟීම් මාත්‍රයම වේයැයි දක්වති.
“යොනි පමුඛසතසහස්සානී” යනු උතුම් යෝනි, ප්රමුඛ යෝනි තුදුස් ලක්ෂයකි. “අන්‍ය වූ යෝනි සයදාහක් ද හයසීයක් ද වේ. කර්ම පන්සීයකි.”යි හුදෙක් තර්ක මාත්‍ර වූ නිරර්ථක දෘෂ්ටිය දක්වයි. “පඤ්ච කම්මානි තීණිච කම්මානී” යනාදියෙහි ද මේ ක්රමයම වේ. ඇතැම්හු (අභයගිරිකාදී) මෙසේ කියති. පඤ්ච ඉන්ද්රිය වශයෙන් පඤ්ච කර්මයන් ද කර්මාදිය වශයෙන් ත්‍රිවිධ කාය කර්ම ද ගනිති. “කම්මෙ ච අඩ්ඪකම්මෙ ච” යන මෙහි කාය-වාග් කර්මයෝ පූර්ණ කර්ම යැයි ද මනෝ කර්මය අර්ධ කර්මයකැයිද යන පිළිගැනීම (ලබ්ධිය). “ද්වට්ඨිපටිපදා” යනු දෙසැටක් ප්‍රතිපදාවෝ යැයි කියති. “ද්වට්ඨන්තරකප්පා” යනු එක් කල්පයක අතුරුකල්ප සැටසතරක් වෙති. මෙය වනාහී අනික් දෙක නොදක්නා බැවින් කියන ලද්දකි.
“ඡළාභිජාතියො” යනු කණ්හාභිජාතිය, නීලාභිජාතිය, ලොහිතාභිජාතිය, භළිද්දාභිජාතිය, සුක්කාභිජාතිය හා පරමසුක්කාභිජාතිය (කළු-නිල්-රතු-කහ-සුදු හා පරම සුදුසු උසස් ජාතීහු) යන මේ සයක් වූ උසස් ඉපදීම් යැයි කියති.
එහි බැටළුවන් මරන්නෝ, ඌරන් මරන්නෝ, කුරුල්ලන් මරන්නෝ, මුව වැද්දෝ, වැද්දෝ, මාළු මරන්නෝ, සොරු, චෝර ඝාතකයෝ, බන්ධනාගාරිකයෝ ආදී යම්කිසි දරුණු ක්‍රියා කරන සැමදෙන කණ්හාභිජාති නම් වෙති. භික්ෂූහු නීලාභිජාති වේ යැයි කියති. ඔවුහු වනාහි සිවුපසය කටුවක දමා කති, භික්ෂූන්ද කණ්ටක පැවැතුම් ඇතැයි පාළියේ කියැවේ. නැතිනම් කණ්ටක පැවතුම් ඇත්තෝම පැවිද්දෝ යැයි කියති. ඒකසාටික නිගණ්ඨයෝ ලෝහිතාභිජාතීහු නම් වෙති. මේ මුලින් කී දෙපිරිසට වඩා සුදුම සුදු වූ, ගිහි සුදුවත් හැඳගත් අචේලක ශ්‍රාවකයෝ භළිද්දාභිජාතීහු නම් වෙති. මෙසේ තමාට ප්රත්යදායක වූ නිගණ්ඨයන්ට ද වඩා ජ්‍යෙෂ්ඨ වූවෝත් කරති. ආජීවකයෝ හා ආජීවිකාවෝ මේ සුක්කාභිජාතීහු යැයි කියති. ඔවුහු වනාහි මුලින් පැවසූ සිවු පිරිසට වඩා සුදුම සුදු වේ. නන්ද, වච්ඡ, කිස, සංකිච්ච හා මක්ඛලී ගෝසාල යන සැමදෙන පරම සුක්කාභිජාතීහු වෙත් යැයි කියති. මොවුහු වනාහි සියල්ලන්ට ම වඩා සුදු වූවෝය.
“අට්ඨපුරිස භූමියො” යනු මන්දභූමි, චිඩ්ඩා භූමි, වීමංසක භූමි, උජුගත භූමි, සෙඛ භූමි, ශ්‍රමණ භූමි, ජානන භූමි හා පන්න භූමි යන මේ අටවැදෑරුම් වූ පුරුෂ භූමියෝ යැයි කියති.
එහි උපන්දිනයේ පටන් සත්දිනක් තුල සම්බාධ-කරදර සහිත තැනින් නික්ම යන සත්ත්වයෝ ‘මන්ද’ නම් වෙති. මේ මුළාවූවෝ “මන්ද භූමි” යැයි කියති. යමෙක් දුගතියෙන් පැමිණියෝ වෙත්ද ඔවුහු නිතර හඬති. එමෙන්ම කෑගසති. සුගතියෙන් පැමිණියෝ එය සිහිකර සිනාසෙති. මේ “විඩ්ඩා භූමි” නම් වේ. මවුපියන්ගේ අත හෝ පය හෝ ඇඳ හෝ පුටු හෝ ගෙන බිම පා තැබීම “වීමංසක භූමි” නම් වේ. පියවර තබා යෑමට සමත් වූ අවස්ථාව උජුගත භූමි නම් වේ. ශිල්ප උගන්නා කාලය සේඛභූමි නම් වේ. ගෙදරින් නික්ම පැවිදිවන අවස්ථාව සමණ භූමි නම් වේ. ගුරුවරු සොයමින් කරුණු දැනගන්නා අවස්ථාව ජානන භූමි නම් වේ. භික්ෂුවද පහතට වැටුනේ, දිරාගියේ කිසිවක් නොලබයි. මෙසේ නොලබන ශ්‍රමණයා පන්නභූමි නම් වේ.
“එතූනපඤ්ඤාස ආජීවසතෙ” යනු ආජීව වෘර්ති හාරදහස් නවසීයකි. “පරිබ්බාජක සතෙ” යනු පරිබ්‍රාජක පැවිද්දෝ හාරදහස් නවසීයකි. “නාගාවස්සතෙ” යනු නාගමණ්ඩල ද එබඳු සංඛ්‍යාවකි. “වීසෙ ඉන්ද්රියසතෙ” යනු ඉන්ද්රිය එකසිය විස්සකි. “තිංසෙ නිරය සතෙ” යනු නිරය එකසිය තිහකි. “රජොධාතුයො” යනු දූවිලි වැගිරෙන ස්ථාන. අත් පිට, පා පිට ආදිය සඳහා කියන ලදී. “සත්ත සඤ්ඤී ගබ්භා” යනු ඔටු ගොන්-කොටළු-එළු-ගව-මුව-මී ආදීන් සඳහා කියන ලදී. “සත්ත අසඤ්ඤී ගබ්භා” යනු හැල්, යව, තිරිඟු, මුං, තණහාල්, වරක, කුරක්කන් සඳහා කියන ලදී. “සත්ත නිගණ්ඨි ගබ්භා” යනු පුරුකෙහි හටගත් ගැබ් ඇති උණ, උක්, බට ආදිය සඳහා කිය ලදී. “සත්ත දිබ්බා” යනු බොහෝ දෙවියෝ. “දේව ගර්භ සතකි”යි කියයි. “සත්ත පෙසාච” (පිසාචා) “මහත් මහත් වූ පිසාච ගර්භ සතකි”යි කියයි. “සරා” යනු මහවිල්ය. කණ්ණ, මුණ්ඩ, රථකාර, අනෝතත්ත, සීහප්පපාත, ඡද්දන්ත, මුචලින්ද, කුණාලාදී වැව්-මහවිල් සඳහා කියන ලදී.