7. හේතු සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “නත්‍ථිහේතු නත්‍ථි පච්චයා” යනු මෙහි ප්‍රත්‍යය, හේතුව යනු සමාන වදන්ය. මේ පද දෙකින්ම විද්‍යමාන වන්නක්ම කියැවේ. කායදුශ්චරිතාදියෙන් කිලිටි වන හේතුවත්, කාය සුචරිතාදියෙන් පිරිසිදුවන හේතුවත් ප්‍රතික්‍ෂේප කරන ලදී. “නත්‍ථිබලං” යනු යම්බඳු තමාගේ බලයෙහි-වීර්යයෙහි පිහිටි මේ සත්ත්‍වයෝ දේවත්‍වයට, මාරත්‍වයට, බ්‍රහ්මත්‍වයට, ශ්‍රාවක බෝධියට, පසේ බුද්ධත්වයට, සර්වඥත්වයට පැමිණෙත්ද ඒ බලය-වීර්යය ප්‍රතික්‍ෂේප කරන ලදී. “නත්‍ථි විරියං” ආදී පද සියල්ල අන්‍යොන්‍ය වශයෙන් සමාන වූ වචන වේ. මෙය අපගේ වීර්යයෙන්, මෙය පුරුෂ වීර්යයෙන්, මෙය පුරුෂ පරාක්‍රමයෙන් පැමිණි දෙයකැයි මෙසේ පවතින වචනයත්-ව්‍යවහාරයත් ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් මේ පද වෙන වෙනම යොදන ලදී.
“සබ්බෙ සත්තා” යනුවෙන් ඔටු, ගොන්, කොටළු ආදී සියලු සත්ත්‍වයෝ ඉතිරි නොකොට සම්පූර්ණයෙන්ම අදහස් කරයි. “සබ්බෙපාණා” යනු ඒකීන්‍ද්‍රිය ප්‍රාණීහු - ද්විතීන්‍ද්‍රිය ප්‍රාණීහු ආදී වශයෙන් පවසති. “සබ්බෙජීවා” යනු හැල්, යව, තිරිඟු ආදිය සඳහා කියන ලදී. ඒවායෙහි වර්ධනය වීම් අර්ථයෙන් “ජීවී” සංඥාව ඇති ජීවීහුය. “අවසා අබලා අවිරියා” යනු ඔවුන්ට තමාගේ වශයෙන් හෝ බලයක් හෝ වීර්යයක් හෝ නැත යනුයි. “නියති සංගති භාවපරිණතා” යන මෙහි “නියති” යනු නියත වශයෙනි. “සංගති” යනු සවැදෑරුම් නැවත ඉපදීම් ඇත්තවුන්ගේ (අභිජාතීන්ගේ) ඒ ඒ තැන යෑමයි. “භාවො” යනු ස්වභාවයමයි. මෙසේ නියත වශයෙන්ද සංක්‍රමණ වශයෙන්ද ස්වභාව වශයෙන්ද නන්වැදෑරුම් බවට, පරිණතියට පැමිණි. යමකින් යම්සේ විය යුතුනම් එය එසේ වෙයි. යමක් නොවිය යුතුනම් එය නොවෙයි” යනුවෙන් දක්වති. “ඡව්සෙවාභිජාතීසු” යනු සවැදෑරුම් වූම අභිජාතීන්හි සිට සැප ද දුක ද විඳිනු ලැබෙති. අනික් සුව-දුක් භූමියක් නැතැයි දක්වති.
8-10. මහාදිට්ඨි ආදි සූත්‍ර වර්ණනා
“අකටා” යනු නොකරන ලද යනුයි. “අකටවිධා” යනු නොකළ විධාන ඇති. “මෙසේ කරව”යි, “කිසිවකු විසින් කරවන්නෙකු නැත” යන අර්ථයි. “අනිච්චිතා” යනු ඍද්ධියෙන් නොමවන ලදී යනුයි. “අනිම්මාතා” යනු අන් අයුරකින්ද නිර්මාණය නොවූ යනුයි. “අනිම්මිතබ්බා” යන පාඨයද සුදුසුය. නොමවන ලද යන අර්ථයි. “වඤ්ඣා” යනු වඳ තිරිසන් - වඳ කල් ආදිය මෙන් ඵල නැති කිසිවක් නූපදවන යනුයි. පර්වත කූටයක් මෙන් සිටි බැවින් “කූටට්ඨා” නම් වේ. ඉන්‍ද්‍රඛීලයක් මෙන් නොසෙල්වී සිටින “ඵසිකට්ඨායීට්ඨිතා”. යම්සේ මනාව පිහිටවූ ඉන්‍ද්‍රඛීලය නිශ්චලව සිටියිද එසේ නොසෙල්වී සිටි යන අර්ථයි. “න ඉඤ්ජන්ති” යනු ඉන්‍ද්‍රඛීල ස්තම්භය මෙන් සිටි බැවින් නොසෙල්වෙති යනුයි. “න විපරිණමන්ති” යනු ප්‍රකෘති ස්වභාවය අත්නොහරිති යනුයි. “න අඤ්ඤමඤ්ඤං ව්‍යාබාධෙන්ති” යනු ඔවුනොවුන්ට බාධා නොවෙති යනුයි. “නාලං” යනු අසමත් වූ යනුයි. “පඨවී කායො” යනාදියේ පඨවි ධාතුවම, පඨවිකාය හෝ පඨවි සමූහය වේ. “සත්තන්නං ත්‍වෙවකායානං” යනු යම්සේ මුංඇට ගොඩකට ගැසූ සැක ඒ මුංඇට සමූහය අතුරින්ම පිවිසේද එලෙසින්ම සත්වැදෑරුම් කය අතරින් සිදුරකින්, විවරයකින් සැත පිවිසෙයි. එහි “මම මේ දිවිය තොර කරන්නෙමි”යි හුදෙක් එසේ හැඟීම් මාත්‍රයම වේයැයි දක්වති.
“යොනි පමුඛසතසහස්සානී” යනු උතුම් යෝනි, ප්‍රමුඛ යෝනි තුදුස් ලක්‍ෂයකි. “අන්‍ය වූ යෝනි සයදාහක් ද හයසීයක් ද වේ. කර්ම පන්සීයකි.”යි හුදෙක් තර්ක මාත්‍ර වූ නිරර්ථක දෘෂ්ටිය දක්වයි. “පඤ්ච කම්මානි තීණිච කම්මානී” යනාදියෙහි ද මේ ක්‍රමයම වේ. ඇතැම්හු (අභයගිරිකාදී) මෙසේ කියති. පඤ්ච ඉන්‍ද්‍රිය වශයෙන් පඤ්ච කර්මයන් ද කර්මාදිය වශයෙන් ත්‍රිවිධ කාය කර්ම ද ගනිති. “කම්මෙ ච අඩ්ඪකම්මෙ ච” යන මෙහි කාය-වාග් කර්මයෝ පූර්ණ කර්ම යැයි ද මනෝ කර්මය අර්ධ කර්මයකැයිද යන පිළිගැනීම (ලබ්ධිය). “ද්වට්ඨිපටිපදා” යනු දෙසැටක් ප්‍රතිපදාවෝ යැයි කියති. “ද්වට්ඨන්තරකප්පා” යනු එක් කල්පයක අතුරුකල්ප සැටසතරක් වෙති. මෙය වනාහී අනික් දෙක නොදක්නා බැවින් කියන ලද්දකි.
“ඡළාභිජාතියො” යනු කණ්හාභිජාතිය, නීලාභිජාතිය, ලොහිතාභිජාතිය, භළිද්දාභිජාතිය, සුක්කාභිජාතිය හා පරමසුක්කාභිජාතිය (කළු-නිල්-රතු-කහ-සුදු හා පරම සුදුසු උසස් ජාතීහු) යන මේ සයක් වූ උසස් ඉපදීම් යැයි කියති.